සුනඛ පෙම

‘රෝ’ අපේ ගෙදර ඇවිත් තිබුණෙ මම සරසවියෙ ඉගෙන ගන්න දවස්වල. නිවාඩුවට ගෙදර ගියාම සාලෙ තිබුණු වේවැල්වලින් ගොතපු පුටු හතරෙන් එකක් යටට වෙලා දඟකාර ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්කා. තනි කළුපාට ඇස්වල ලියවිලා තිබුණෙ “මම ඔයත් එක්ක සෙල්ලම් කරන්න එන්නද වගේ අදහසක්. මම ටිකක් බයෙන් තමයි අලුත් අමුත්තා දිහා බැලුවේ. කොහොමටත් මම ඔය වෘක කුලයේ අයට ටිකක් විතර බයයි.

මමත් සැකෙන් බලනකොට එයත් සැකෙන් බලපු නිසා අපේ යාළුකම ඇතිවෙන්න ටිකක් විතර කල්ගියා. කොහොමත් සෙල්ලම් කරන්න මමත් ටිකක් විතර හොර නිසා එයා හොයපු සෙල්ලම් යාළුවව මගෙන් හොයාගන්න රෝට අමාරු වෙන්න ඇති.

‘රෝ’ අපේ ගෙදරට ආපු විදිහෙත් ලස්සන කතාවක් තියෙනවා.

තාත්තට බලු පැටියෙක් හදන්නට සෑහෙන්න උවමනාවක් තිබුණත් අම්මගේ අනුමැතිය ලබාගන්නට අමාරු වුණා. අල්ලපු ගෙදර බලු අම්මා කෙනෙක් ට පැටව් ලැබුණු ආරංචියට තාත්තා බලන්න ගිහින් තියෙන්නෙ එක්කෙනෙක් ගෙදර ගේන්නත් හිත ඇතුළෙ අදහසක් තියාගෙන. තාත්තා ගිහින් එතන හිටපු බලු පැටවුන්ට අතපානකොට එක පැටියෙක් එක පාරටම අතට ඇවිත්. තාත්තා අම්මගේ අනුමැතියත් අරගෙනම ‘රෝ'ව ගෙදර ගෙනල්ලා.

‘රෝ’ අපේ ගෙදර කෙනෙක් පවුලෙ කෙනෙක් බවට පත් වුණේ තාත්තා පෙලපත් නම ‘රෝ'ට තෑගි දීපු නිසා වගේ ම ‘රෝ'ට මල්ලි කියලා කතා කරන්න පටන් ගත්ත නිසා. 'රෝ’ අපේ සුරතලෙක් වුණා වගේ ම වෙලාවකට අපි ‘රෝ'ගෙ සුරතලුන් වුණාද කියලත් හිතෙනවා.

‘රෝ’ හරිම කෙළිදෙලෙන් අපේ ගෙදර හැදුණා. දවසකට සැරයක් නෑවා. බඩ පිරෙනකල් බත් කෑවා. මම ගෙදරින් ගියාම මගෙන් ඇතිවුණ හිස්තැනත් සම්පූර්ණයෙන් ම නැතත් පිරෙව්වා. හදිසියේ ගෙදර යනකොට මම ‘රෝ'ට ‘බලු පැටවුන්ට දෙන 'අ‍ෙමරිකාවේ නිපදවුන කෑම ගෙනියන්න පුරුදු වුණෙත් හිතේ තිබුණු ආදරේට.

‘රෝ’ ලංකාවේ සම්භවය ලබපු ලංකාවට ආවේනික ජාතිකයෙක්.

ළඟදි ඉදලා ‘රෝ’ ආදරවන්තියෙක් හොයාගෙන. තාත්තා කියන විදියට නම් කසාදත් බැදලා. ඩොබමන් වගේ උසස් පෙලපතකින් කසාද බැදපු නිසා ගෙදරට ආවම එලව ගත්තත් ‘මාගා'ට අපේ අම්මගේ හිත ඇතුලෙත් කැමැත්තක් තියෙනවා කියලා මට තේරිලා තියෙනවා.

‘කූන්..කූන් 'ගාගෙන අමුතු විදියට සද්ද කරන ‘රෝ’ , ‘මාගා'ගෙ ආදරේ හොයන බව අපිට තේරෙනවා. මාගා ඉන්න ගේ දිහා වත්ත පහළට ගිහින් බලාගෙන ඉන්නවා. 'මාගා'ත් අපේ ගෙදර දිහා බලන් ඉන්නවා මම දැකලා තියෙනවා.

තමන්ගෙ කෑම පිගානෙන් ඉස්සර ඉතුරු කරපු නැති විදිහට බාගයක් ඉතුරු කරන්නත් ‘රෝ'පුරුදු වුණේ මේ අලුත් ආදර කතාවෙන් පස්සෙ. තමන්ගෙ ප්‍රියම්බිකාවගෙ කුසගින්න නැති කිරීමත් තමන්ගෙ වගකීමක් කියලා ‘රෝ’ට හිතෙනවා ඇති.

හැමදාම රෑට දම්වැලෙන් බැන්දට පස්සෙ ‘හූ'කියලා කියන රාත්‍රී සුබ පැතුමට ‘මාගා'ත් ඒ ආකාරයෙන්ම සුබ පතනවා. ඊට පස්සෙ හිතේ සැහැල්ලුවෙන් නිදාගන්නට යනවා.

අපි විවාහයක දී කොයිතරම් නම් දේවල් හොයනවද? කුලය ,ජාතිය ,ආගම,කේන්දර....සමහරු පෙම් කතාවක් පටන් ගන්න කලින්ම කේන්දර බලනවා. ඒ පරිණත ප්‍රේමයේ ලක්ෂණයක් විදිහට හුගක් අය සලකනවා. ජාතිය ,ආගම වගේම කුලයත් ගළපනවා. ඒ සියල්ල ම ගැළපෙන වෙලාවට පුද්ගලයන් නො ගැළපෙන අවස්ථා සුලබයි. ඉන් පස්සෙ කුලය ,ජාතිය ,ආගම සහ කේන්දරය කසාද බදිනවා. දියණියකගෙන් ලැබෙන දෑවැද්ද, ‘අනේ අපි නම් දෑවැදි හොයන් නෑ'කියලා අහක බලාගෙන අතට ගන්නවා.

කසාද බදින්න කලින් පිරිමියෙකුට ගෙයක් තියෙනව ද වාහනයක් තියෙනව ද කියලා හොයනවා. කසාදයේ නාමයෙන් මිලට ගත් ගෙදර මනාලිය කුළුදුලේ පදිංචියට යනවා.

නොගැළපීම් හටගන්නේ හැමදේම ගැළපුනායින් පසුව. කන බොන අඳින පළඳින විදිහේ ඉදලා නොගැළපීම් කරලියට බසින්නට පටන් ගන්නවා. “ඔය ඇඳුම ගන්න එපා ඕකෙ අත් නෑනෙ.. කියලා ඇදුම් සාප්පුවක දී සැමියා කියනවා.

“ඔය ගෑනු ළමයට ආයෙ කතා කරන්න එපා. බිරිඳ වෙන වෙලාවක වාඩුව ගන්නවා.

සුළු සුළු මත ගැටුම් සමහර වෙලාවක දික්කසාදයටත් පාර කියනවා.

මගේ යහළුවෙක් තමන්ගේ හයමසක් වුණු විවාහයට තිත තැබුවේ දත් බෙහෙත් ටියුබයක් නිසා. සැමියා පිළිවෙළකට දත් බෙහෙත් ටියුබයේ කොනක ඉදලා දත් බෙහෙත් ගන්න හුරු වුණත් බිරිඳ ටියුබයේ මැදින් මිරිකමින් දත් බෙහෙත් ගන්න හුරු වුණ තැනැත්තියක්. සුළු මත ගැටුම දික්කසාදයක් දක්වා දුර දිග ගියා.

දැන් යාළුවා ආපහු ගෙදර ඉන්නවා. මවුපියො නැවතත් ගැළපෙන කේන්දර හොයනවා. කේන්දරවල පුරුදු ගැන සටහනක් නැහැ. ඒ සියල්ලම එකිනෙකා තේරුම් ගැනීම මත රදාපවතිනවා. කුලය, ජාතිය, ආගම යනාදියෙහි ගැළපීම් සොයනවාට වඩා එකිනෙකා අතර ගැළපීම් සෙවීමට යුවලකට ඉඩ සැලසීම වටිනවා.

බිරිද කෑවා බීවාදැයි සොයන, සුබ රාත්‍රියක් පතා නිදන්නට යන, අනෙකා ගැන වදවෙන ‘රෝ'ගේ ප්‍රේමය කොයිතරම් නම් චමත්කාර ජනකදැයි මට සිතෙනවා.