කඩු හරඹ

මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය හැත්තෑ පහ හෝ හැත්තෑ හය විය යුතු ය. ඒ වන විට මා නවවන ශ්‍රේණියේ හෝ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නට ඇත. කෑගලු නගරයේ නිවෙසක නතර වී පාසල් යමින් සිටි මම සති අන්තයක රෙදිපෙරදි අඩංගු ගමන් මල්ලක් රැගෙන ගෙදර යමින් සිටියෙමි. මා ඔබට හඳුන්වා දෙන අපූරු ආගන්තුකයා මට හමුවූයේ බස්රියේදී ය. පාසලට අඳින නිල් පැහැ කොට කලිසම ද, සුදු කමිසය ද හැඳ සිටි මා අසුන් ගෙන සිටි අසුනේ රිය කවුළුව අසල වාඩි වී සිටි ඔහු වයසින් මෙන් ම, කෙස් වැටියෙන් ද පැසුණු අයෙකි. කලිසම්, කමිස හැඳ උපැස් යුවලක් පැළඳ ඉංගිරිසි පත්තරයක් හතරට නවා අතේ තබා ගෙන සිටි හේ වරින් වර මදෙස බැලී ය.

හදිසියේ ම ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසී ය.

“ ළමයා කොහෙද යන්නෙ?” සිංහලෙන් නොවේ. ඉංගිරිසියෙනි. මම දන්නා හැටියට පිළිතුරු දුනිමි. ඉන් අනතුරුව පිළිතුරු දෙන හැටියට ප්‍රශ්න ද එකින් එක නැඟිනි. මගේ පිළිතුරුවලින් සෑහීමට පත් හේ අනතුරුව සිංහලෙන් කතා කළේ ය.

ඉංගිරිසි කතා කළ නිසා හොඳයි. ඉංගිරිසි බැරි අයට කලිසම් අඳින්න අයිතියක් නෑ. ඉස්සරහට දිග කලිසම අඳින්න කල්පනා කරනව නම් තව හොඳට ඉංගිරිසි ඉගෙන ගන්න. දැන් ඉංගිරිසි වචනයක් කියා ගන්න බැරි උනුත් කලිසම් අඳින්න පටන් අරගෙන.”

ඔහු කතා කළේ ඉංගිරිසි කතා කරන්නට නොදැන කලිසම් හඳින අපරාධකාරයන්ට ශාප කරන්නා සේ ය. එතකොට සිංහල පමණක් දන්නා ළමයින්ගේ නිල ඇඳුම කුමක් විය යුතු ද? අමුඩය ද? නැත්නම් සරම ද? මේ මිනිහා කීවේ නැත. ඒ ප්‍රශ්නය සිතට නැඟුණත් ඔහුගේ පෞරුෂය හමුවේ ඔහු ප්‍රශ්නයට බඳුන් කරන්නට කුඩා මට ධෛර්යයක් නොවී ය.

අප ළමා විය ගෙවූ දවස්වල ඉංගිරිසි ජාතිකයන් සේ සිතන්නට හුරුව සිටි මෙවන් කළු සුද්දෝ බහුල වූහ. ඒ අයට අවශ්‍ය වූයේ සමාජයට ඉංගිරිසි දැනුම ලබා දෙන්නට නම් නොවේ. ඉංගිරිසි නොදත් අය හෙළා දකිමින් සිය මහන්තත්තකම රැකගන්නටය. මේ අය ඉංගිරිසි ජාතිකයන්ගේ හරය නොව පිට පොත්ත පමණක් ලබා ගත් පිරිසක් බව වැටහුණේ අප කෙමෙන් වැඩී සමාජ අවබෝධය ලැබෙන්නට වූ විට ය.

අප පාසල් නිල ඇඳුමට සුදු දිග කලිසම අඳින්නට පටන් ගත් පසු අපේ ගුරුවරයෙක් අපට මෙසේ කීවේ ය.

“ ඔයාල ඉංගිරිසි කතා කරන්න පුරුදු වෙන්ට ඕනෑ. කලිසම ඇඳල ඉංගිරිසි කතා නොකළොත් පරණ වයසක මහත්තුරු ඔයාලව අමාරුවෙ දමාවි.”

ඉංගිරිසි ගණන්කාරකම මෙකියන වයසක මහත්වරුන්ට සීමා වූයේ නැත. අප පාසල් යන සමයේ කාකි ඇඳුමින් සැරසුණු බස් කොන්දොස්තරවරයෙක් කෑගල්ලේ සිට වරකාපොල බලා ධාවනය වන බස්රථයක සේවය කළේ ය. ඉංගිරිසි බස වහරන්නට සාමාන්‍ය හුරුවක් තිබූ ඔහු යම් පමණකට දෙමළ බස ද දැන සිටියේ ය. නිරතුරුව ම පාසල් සිසුන් හා බස් මගීන් සමඟ සණ්ඩු සරුවල් ඇති කරගන්නා මෙකියන කොන්දොස්තර සිය භාෂා ඥානය උපයෝගී කර ගත්තේ රැකියාවේ උන්නතිය සඳහා නම් නොවේ. පසමිතුරන් දමනය කරන්නට ය.

දිනක් මම රෑ බෝ වෙමින් තිබුණු වෙලාවක ඔහුගේ බස් රියෙන් කෑගල්ලේ සිට වරකාපොල බලා ගමන් කරමින් සිටියෙමි. එදවස රජයට අයත්ව තිබූ තුල්හිරිය පෙහෙකම්හලේ සේවයට යන තරුණයෙකුගේ වැඩිහිටි සීසන්පත අරබයා මේ මනුස්සයා ඔහු සමඟ වාදයක් ඇති කරගත්තේ ය. (පෞද්ගලික බස් රථ ජනප්‍රියව නොතිබුණු එකල සීසන්පතින් ගමන් කරන්නන් අපරාධකරුවන් සේ සලකන්නට ඇතැම් කොන්දොස්තරවරු පුරුදුව සිටියහ.) තරුණයා ද කොන්දොස්තර මහතා සමඟ හරිහරියට වාද කළ බැවින් කලහය ඇවිල ගියේ ය. එක්වර ම කොන්දොස්තර ඉංගිරිසියෙන් කතා කරන්නට පටන් ගත්තේ ය. ඉංගිරිසිය නුහුරු තරුණයා බා ගිය බව පෙනිණි.

“ මහ ලොකුවට කලිසම් කට්ටක් ගහගෙන ඉන්නව. ඒත් ඉංගිරිසි වචනයක් වත් බෑ.” කොන්දොස්තර සමච්චල් හඬින් කීවේ බසයට ම ඇහෙන්නට ය.

ඉංගිරිසියට ඇතැමුන් කඩුව යයි ව්‍යවහාර කරන්නේ එහි අසමත් අය සැණින් කපා දැමිය හැකි ආයුධයක් සේ භාවිත කළ හැකි නිසා විය යුතුය.

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ‘ දැනුම හා දැකුම’ කෘතියෙහි මෙසේ සඳහන් කරයි.

“ රෙද්ද හා කලිසම, සිංහලය හා ඉංගිරිසිය සංස්කෘතික උපකරණයෝ ය.... ඒවාට වටිනාකමක් ලැබෙන්නේ අපගේ සකස්වීම හෙවත් හික්මීමට අප ඒවා වහල්කොට ගන්නා සැටියෙනි. අප එයින් ලබන හික්මීම අනුව ඒවා උසස් පහත්කම් ලබයි. එහෙයින් ඒ උපකරණ ගැන සංස්කෘතිය ගරු කරන්නෝ කලහ නොකරති.”

මා ඉහතින් සඳහන් කළ බස්රියේ හමු වූ වැඩිහිටි මහතා මෙන් ම කොන්දොස්තරවරයා ද අයත් වන්නේ ඉංගිරිසිය හා කලිසම කේන්ද්‍ර කර ගනිමින් කලහ කරන්නන්ගේ ගණයට ය.

කලකට පෙර ඉංගිරිසි පුහුණු ගුරුවරු හා ඉංගිරිසිය හොඳින් දත් ගුරුවරු කලිසම් කමිස ඇඟලූහ. එහෙත් සිංහල වහරන සාමාන්‍ය පුහුණු ගුරුවරු ඇන්දේ රෙදි බැනියම් ය. රෙදි අඳින්නෝ “ රෙද්දන්” යනුවෙන් කලිසම්කාරයන්ගේ අවඥාවට ලක්වූහ. තමන්ට ඉතා හිතවත් ජාතික ඇඳුම අඳින උප ගුරුවරයා නැති තැන ඔහු “ රෙද්දා” යනුවෙන් හැඳින්වූ විදුහල්පතිවරයෙකු ගැන මම දනිමි. ( අද වන විට ජාතික ඇඳුම දේශපාලකයනගේ ඇඳුම බවට පත් වී ඊට වෙනස් ආකාරයේ වටිනාකමක් එක්ව ඇත.)

අද ඉංගිරිසි අධ්‍යාපනය එදාටත් වඩා වැදගත් කමක් දරයි. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් ඇති නූතනයේ ඉංගිරිසි භාෂාව අන් කවදාකටත් වඩා අගයෙන් වැඩිය. එබැවින් එදා තිබුණු පටු ආකල්පවලින් තොරව එය ඉගැන්වීම වැදගත් වෙයි.

ඉංගිරිසි භාෂාව පහුරක් වැන්න. එමඟින් පහසුවෙන් ම විශ්ව දැනුම නැමැති සයුර තරණය කළ හැකි වෙයි. එහෙත් අපේ මිනිස්සු පහුර කර මත ගෙන යන්නට වෑයම් කරති. වැරැද්ද ඇත්තේ එතැන ය.