රතු පැහැ පුසුඹ

අප සාමාන්‍යයෙන් කතන්දර අහුලා ගන්නෙමු. මේ දන්නා හඳුනන අයෙකුගේ හදවත මත තිබී අහුලාගත් කතාවකි. සත්‍ය කතාවකැයි කතන්දරයේ ලේබලයේ සදහන්ව තිබිණ.

ඇය වියපත්ව සිටියා ය. අක්බමරුවන් කෙස් කලඹ තැනින් තැන අළු සහ සුදු පැහැති පින්සල්වලින් කාලයා විසින් වර්ණ ගන්වා තිබිණි. දෑත් දැන් කරගැටවලට හුරුව ඇත.

අවුරුදු පහළොවක්. ඔව් ඇත්තෙන් ම විශාල කාලයක් යැයි තමන්ට ම කියාගත්තී ඇය අතීතයට පිවිසීමට නොහැකිවන සේ හදවතේ වසා තිබූ දොරටු කොහෙන්දෝ අහුලාගත් යතුරකින් විවරකර ගත්තා ය.

දෑත් නෑඹිලියේ සහල් අතර සැඟවෙද්දී සිත ඇරුණු දොරටුවෙන් පිටවී අතීතයට පියාඹා ගියේ අසුරු සැණකිනි. ඒ කාලය රතුපාට කාලයයි. හැමතැනකම දකින්නට ලැබුනේ රතු පැහැයයි. ඒ විප්ලවයේ පැහැයයි. ඈ නාඹර ළමිස්සියක්ව සිටියා ය. සහෝදර සහෝදරියන් අතර නීති පොතේ කෙටුම්පත් කොට නැති රීතිවලට යටත්ව යහපත් සුවඳැති මලක් වී පිපුණා ය.

ඒ ජීවිතය කවියක් වී දැනෙන සමයයි. කවිය ගයන්නට තාල තියන්නට කෙනෙකුගේ අඩුව සිතට දැනෙන සමයයි. කවියකට අනුරූප වන තාල බොහොමයක් ඇත. හදිසියේ ඇයට තාලයක් හමුවිය. මේ කවිය ගයන්නට සුදුසුම තාලයයයි ඇයට සිතිණ. ඇය තාලය ඇහිඳ තිබුණේ වැරදි තැනකිනි. ඔහු මවුපියන්ගේ ඉඩමේ කුරුදු තලන්නට පැමිණියෙකි.

අවිඳුර දෘෂ්ටිකත්වය ඇතැයි දොස්තර මහත්මයා කීවේ ළගදී ය. ඇස්වලට බලපාන රෝගී තත්ත්වය එකල හිතට බලපා තියෙන්නට ඇතැයි ඇයට සිතෙන්නේ දැන් ය.

ඔහුත් ඇයත් එක්ව ජීවිතයේ කවිය, ආදරය තනුව කොට ගයද්දී හදිසියේ ගින්නක් හටගත්තේ ජීවිත දෙකම මැදිකොට ගෙන ය. කොහොමටත් ප්‍රේමයේ ගිනිසිළු ඇවිලෙද්දී දැවෙන්නේ තම තමන්ගේ ජීවිතයයි කාටවත් නොතේරේ. ප්‍රේමයේ ගිනිසිළු කරණ කොට කුස ඔත් සජීවී යයි හැගෙන වස්තුව ඇයට කිසිසේත් බරක් නොවී ය. අටවාගත් පැල්කොටයට ඔවුන් කූඩුවන්නේ හිත් හදාගෙන ය.

ප්‍රේමයේ ගින්නේ දුම් රොටු ඇගේ මහගෙදර දෙසටත් පැතිර ගොස් ඇතිබව හැඟෙන්නේ, අයියලා ඇයට එරෙහිව අවි අමෝරා ගත්විට ය. ජීවිතයේ කවියට තාල සැපයූ “ඔහු” හදිසියේ ඇගේ ජීවිතයෙන් මෙන් ම ඔහුගේ ජීවිතයෙන් ද නික්ම ගොස් තිබු‍ණේ නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකිනි. හැමදේකට ම හේතුව විප්ලවයේ “රතු පැහැය” වූ එදවස ඔහුගේ මරණයට ද “රතු පැහැති ලේබලයක් ඇලවිණ. එහෙත්, එක බඩවැල කඩාගෙන මෙලොව එළිය දුටු “අයියලා” ළඟ ද හොර තුවක්කු ඇති බව ඇය දැන උන්නා ය.

“ඔහු නික්ම ගිය දා දැඩිකරගත් හිතට නැඟුණු කදුළු දෙනෙත් ඔස්සේ ගලානොයනට වගබලාගත්ත ද ,ඔහුගේ ම අනුරුවක් වූ කිරිකැටියා කිරි උරාබී අහවරව දෙතන උණුසුමට ගුලිවෙද්දී සඟවාගෙන හුන් කදුළු දෙනයනින් පිටතට වන් අයුරු ඇයට මතක ය.

මවකගේ රුධිරයේ රක්තවර්ණය විප්ලවයේ රතුපැහැයට වඩා වෙනස් ය.රුධිරයේ රතුපැහය සුවඳ ය. විප්ලවයේ රතුපැහය සුවඳක් නොමැති පැහැයකි. ළයෙහි රක්තවර්ණය තනපුඩු ඔස්සේ දරුවෙකුගේ මුවට ගලන්නේ සුදු පැහැතිව ය. ඒ ස්වාභාවධර්මයෙහි ආශ්චර්යවත් වර්ණ වෙනසකි. නමුත් ඒ සුදු පැහයෙහි සැඟව ඇත්තේ ද රක්තවර්ණයයි.

දරුපැටියාට සදාකාලික උණුසුමක් දෙන්නට ඇයට වත්කමක් නොම විය. මවුපියෝ ද ඇය දුටු තැන අහක බැලුවෝ ය. දරුවා “ලොකු තැනකට හදාගන්නට දී වෙන “ලොකු” තැනක බැලමෙහෙ කරන්නට ඇය හිත හදාගන්නේ ඉන් අනතුරුව ය.

දැන් ඒ තීරණයට අවුරුදු පහළොවකි. එදා සිට අදවනතුරු ම මුළුතැන්ගෙයින් පිටත බැලුවේ නම් ඒ බොහොම කලාතුරකිනි. මේ ගෙදර මහත්තයා බොහොම කරුණාවන්ත ය. මහත්තයාගේ මව මියගොසින් දැන් කිහිප දවසකි.

හදිසියේ ම ප්‍රධාන ගේට්ටුව විවරවන ශබ්දය ඇසී ඇය ගේට්ටුව දෙසට දිවගියේ මහත්තයා පැමිණ ඇති යයි සිතමිනි. ඒ මහත්තයා නොවේ. වෙන මහත්තයෙකි.

“මහත්තයා අපේ මහත්තයව මුණගැහෙන්න ද?”

“නෑ”

“එහෙනම්”

“අම්මව බලලා යන්න...”

ඇය මේ අලුත් මහත්තයා දෙස විමසිල්ලෙන් බැලුවා ය.

“අම්මේ යන හඬත් සමඟ දිවගෙන එන දෙපයක හඬ සහ කරවටා වෙලෙන දෑත්.

“අම්මට බොහොම පින්. ලෙහෙසියෙන් ම මරලදාන්න තිබුණු මට ජීවත්වෙන්න වාසනාව දුන්නට. මගේ මේ ජීවිතේ අයිතිකාරයා ඔයයි. ඔව් ඒ මගේ අම්මා විතරමයි”

රතු පැහයට ඊටම ආවේනික වූ පුසුඹක් තිබේ. ලෝකයේ කොයි ඉමක සිටිය ද ඒ පුසුඹ හදවත විනිවිද දැනේ. එය විසින් හදවත් අල්වා එකින් එක ගැටගසා තබනු ලැබේ. රතු පැහැය මරාදමන්නේ හදවත් නොමැති මිනිසුන් ය. මිලක් නොගෙවා විඳින්නට හැකි සුවඳ විදිනට වාසනාවක් නොලදවුන් ය.