හිර ගෙදර කවිකාරයා

හැත්තෑ එකේ කැරැල්ලේ සැකකරුවන් ලෙස සිටි අප විද්‍යෝදය කඳවුරේ සිට මාස හතරකට පමණ පසු ගෙන ගොස් දැමුවේ පොලොන්නරුවේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය හා භූමිය වටකොට කටුකම්බි ගසා පිහිටුවා තිබූ එළිමහන් සිරකඳවුරට ය. විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ එම කඳවුර දැඩි ආරක්‍ෂා රැකවල් මත සකස් කොට තිබූ එකකි. විද්‍යෝදය කඳවුරට වඩා ඉඩකඩ සහිත වූ එහි කඳවුර තුළ ඇවිදීමටත්, ක්‍රීඩා කිරීමටත් හොඳ පරිසරයක් තිබීම අප කාගේත් සතුටට හේතුවක් විය.

දෙන දෙයක් කා, බී ක්‍රීඩා කරනවා හැරෙන්නට වෙනත් කිසිදු වැඩක් කඳවුර තුළ නොවූ හෙයින් ඉගෙනුම ලබන්නන්ට හා කලා කටයුතුවල නියැලෙන්නන්ට එය කදිම තෝතැන්නක් විය. සමහරෙක් පොත් ලියූහ. තවත් සමහරෙක් නාට්‍ය පුරුදු වූහ. මෙම කඳවුරේ දී පුරුදුවෙන ලද “වණ්ණුපත” නාට්‍ය කඳවුරින් නිදහස් වූ සමහරුන් විසින් සමස්ත ලංකා නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කොට තිබුණා මට මතක ය.

පාසල් අවධියේ සිට ම කෙටිකතා හා කවි ලිවීමට පුරුදුව සිටි මට කඳවුරේදී ද එම පුරුද්ද අතහැර දැමීමට නොහැකි විය. අඩුපාඩුවකට තිබුණේ ලිවීමට අවශ්‍ය තරම් කඩදාසි නොමැති වීම ය. මාගේ ඉල්ලීම පරිදි මගේ මිතුරකු විසින් අභ්‍යාස පොත් කීපයක් තැපෑලෙන් එවා තිබූ නිසා මට මගේ කාර්ය කරගෙන යාම පහසුවක් විය.

මාතෘකා කීපයක් යටතේ කවි පොතක් ලිවීමට මා ආරම්භ කළේ මෙම පොත් ලැබීමෙන් පසුව ය. එහෙත් මොන දේ ලිව්වත් ලිවීමට සිදුවූයේ බන්ධනාගාර නියාමකයිනට හොර රහසේ ය. පොත්පත් ළඟ තබාගැනීමත්, ලිවීමත් වරදක් කොට මුල් කාලයේ දී සැලකූ හෙයින් එවැනි දේවල් ඔවුනට අසුවුවහොත් රැගෙන ගොස් විනාශ කිරීම සම්ප්‍රදාය විය. එය ඔවුනට ඉහළින් ලැබුණු අණක් විය හැකි ය.

කවි තිස්පහක් පමණ ලියූ පසු මගේ මිතුරන් එකිනෙකා එය රැගෙන ගොස් බන්ධනාගාර නියාමකයනට හොරෙන් එය කියවීමට පුරුදු වූයේ කඳවුර තුළ වෙනත් දෙයක් කියවීමට නොතිබූ හෙයිනි. සමහරුන් කවි පොතක් කියවන බව නියාමකයිනට දැනගැනීමට ලැබී ඇත්තේ අපේ ම අයගෙන් ඔවුනට ඔත්තුවක් ලැබීම නිසා ය.

කෙසේ හෝ එක්තරා දිනයක හොර රහසේම පැමිණි නියාමකයන් පොත උදුරාගත් අතර එය කාගේදැයි විමසූවිට වෙනත් කරන්නට දෙයක් නොමැති මිතුරා පවසා ඇත්තේ එය මගෙන් ඉල්ලාගත් පොතක් බවයි.

නියාමකයන් වහාම මේ පොත හා මා ගැනත් එවකට පොලොන්නරුව පුනරුත්ථාපන කඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයා වූ ඇලන්ද සා බණ්ඩාරනායක මහතාට රපෝර්තු කරන ලදී. කවිපොත මගේ දැයි විමසූ ඔහු මා එසේ යැයි පැවසූ විට ඔහුගේ මේසය අසල මට දණගැසීමට නියම කළේ ය. ඔහු වඩාත්ම කෝපයට පත්ව සිටියේ මෙම කවිය නිසා ය. එහි ඉතිරි පද මට දැන් අමතක ය.

“දෙන්නට හදනමුත් දැන් නිල ඇඳුම් මසා

පාලකයන් ගහන හැඩයකි කොළය වසා”

“උඹ මට විරුද්ධවයි මේව ලියල තියෙන්නේ. උඹ තවමත් ත්‍රස්තවාදී වැඩ කරනවා. උඹ දැම්මම යාපනේ හිරගෙදරට අරිනවා” ඔහු මට තර්ජනය කරමින් පැවසුවේ ය.

මා කාර්යාල බිමේ දණගසාගෙන සිටිනු දුටු මනා රූ සපුවකින් හෙබි ජේලර්වරයකු මා අසලට පැමිණ කාරුණිකව මට කතා කළේ මා විශ්වවිද්‍යාල සිසුවකු බව කාගෙන් හෝ දැනගෙන ය. නමින් කුලතුංග වූ ඔහු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකු වූ අතර ඔහු ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වීම නිසා මගේ නිදහස වෙනුවෙන් සහකාර බන්ධනාගාර අධිකාරි හා කතාකොට සහනයක් සලසන බවට පොරොන්දු විය.

ඔහු ඒ ලෙසින් ම ඇලන්ද සා බණ්ඩාරනායක මහතා හා කතාකොට මා දැන් පැරණි දේශපාලන අදහස් පිළිකෙව් කරන බව දැන්වීමට මාගේ කව්පොතේ වූ පහත සඳහන් කවිය තාලයකට ගායනා කොට මගේ නිදහස ලබා දුන්නේ ය.

දහස් ගණන් තරුණයන් නොමඟට යැව්ව

හිරගෙයි ලගින්නට අපහට සැල සෙව්ව

ජනතාවගෙ නමින් ජනතාවට රැව්ව

මිනිසුන් හටත් තව පායන වද අව්ව

මා කව් ලිවීමත් බන්ධනාගාර නිලධාරීන්ට ඒවා අසුවීමත් නිසා කවියකු ලෙස මා ප්‍රසිද්ධියට පත්වීමෙන් විවේකයක් නැතිවන තරමටම බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් කව් ලියන්නට සිදුවීම අනපේක්‍ෂිත සිද්ධියකි. බන්ධනාගාර නිලධාරීන් වැඩිදෙනකු එවකට අවිවාහක තරුණයන් වීම නිසා මට තම පෙම්වතියන් ගැන රහසින් විස්තර පවසා ඔවුන්ට කවියෙන් ලිපි ලියා දෙන ලෙස පැවසීම මට ඉමහත් කරදරයක් වීම පුදුමයක් නොවේ. කවි ලිවීම මගේ ආශාව නිසාත් ඔවුන්ගෙන් සැලකිලි ලැබෙන නිසාත් මම එය කරදරයක් කොට නොසලකා හැකිතාක් කවියෙන් ලිපි ලියා දුනිමි.

විශේෂ සැලකිල්ලක් යැයි මා සඳහන් කළේ අපට කෑම බෙදන ස්ථානයෙහි මා කවි ලියාදුන් නියාමකයකු සිටියේ නම් මට වැඩිපුර බත් ටිකක්, මස් කෑල්ලක් හෝ මාළු කෑල්ලක් බෙදන ලෙස පැවසීමට තරම් ඔහු කාරුණික වීම ගැන ය.

මට කියා වැඩිපුරම කවි ලියාගත් නියාමකයකු මීරිගම ප්‍රදේශයේ බව මට මතක ය. ඔහුගේ නම මට මතකමුත් මා එය සඳහන් නොකරන්නේ ඔහුට එය අපහාසයක් වේ යැයි සිතන හෙයිනි. දැනටමත් ඔහු සේවයෙන් විශ්‍රාමගොස් සිටින්නට බොහෝ දුරටම ඉඩකඩ ඇත.

ඔහුගේ පෙම්වතියගේ නම පියසීලි ය. ඔහු වෙනුවෙන් ඇයට කව්පෙම් හසුන් කීපයක් ම ලියාදුන් පසු ඊළඟ වාරයේ ඔහු මට රහසින් කතාකොට තම පෙම්වතිය ඉතාමත් සතුටට පත්ව ටොපි පාර්සලයක් එවූ බව පවසා මට ද ටොපි කීපයක් දී “දැන් ඉතින් කැඩපතක් ඉල්ලා” කව් ලිපියක් ලියන්න යැ”යි ඉල්ලා සිටියේය. ඔහුගේ කතාවෙන් මම පුදුමයට පත්වීමි. ඒ නිසාම මම ඔහුට කැඩපතක් අවශ්‍ය ඇයිදැයි විමසීමි.

“යාළු කෙල්ලගෙ ලස්සන කැඩපතක් තියනවනම් කොච්චර ෂෝක්ද? ඔහු පැවසුවේ ය.

කැඩපත යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි මට වහා වැටහුණේ ය. ඔහු කැඩපත යනුවෙන් පවසා තිබුණේ පෙම්වතියගේ සේයාරුවකට ය. මම ඔහුට ඒ බව මෙසේ පැවසුවෙමි.

“සර්ට මොකටද කැඩපතක්. කැඩපත කියන්නේ මූණ බලන කණ්ණාඩියකට නේ.”

බලාසිටිද්දීම ඔහුගේ මුහුණ රත්පැහැ ගත්තේ ය. මගේ මූණ දෙසවත් නොබැලූ ඔහු වහා එතැනින් නික්ම ගියේ ය. ඊට මාස කීපයකට පසු අප පොලොන්නරුවේ සිට මයියංගනය කඳවුරට ගෙන ගොස් දමන තුරු ම ඔහු යළිත් මා හමුවට පැමිණියේවත් කවි ලිපි ලියන්න යැයි පැවසුවේත් නැත.