සුජාත දියණියගේ රිදී සීනු හඬ

ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා
යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
සුජාත දියණියත් ඔබයි

මේ බිම ඔබගේ
සැඟව සිනාසෙනු මැන හසරැල්ල ද තහනම්
ඊතලේ යුක්තිය නෑ
යුක්තිය යුතුකම ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී
ආදරේ කුමරී ඔබයි
සතුට ද සුසුම ද ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී

දෙවැනි පන්තියේ ඉගෙනුම ලබන මගේ කනිටු දියණියගේ මුවගින් නිබඳ ගලා හැලෙන උක්ත ගීය මේ දිනවල අප රටේ බො‍හෝ දරුවන් අතර ජනප්‍රිය ම ගීයක් වී ඇතැයි මම සිතමි.

'මචං මට අද කලින් යන්න ඕනෑ. වෙන දවසක සෙට් වෙමු.'

පසුගිය දා බොරැල්ලේ අවන්හලක දී මා සමඟ දොඩමලු වී සිටි මිතුරෙක් හදිසියේ ගසා බසා දමා නැඟිටිමින් කීවේ ය.

'තව කොහෙ හරි සෙට් වෙනව ද?' මම ඇසීමි.

'නෑ මචං චංගුමීගෙ කතාව බලන්ඩ ගෙදර යනවා.'

ම'මිතුරා සඳහන් කළේ සුජාත දියණී ටෙලි නාට්‍යය පිළිබඳ ව ය. මේ දිනවල නොයෙකුත් ආයතනවල රාජකාරි කරන සේවකයන්ගෙන් බොහෝ දෙනකු තැන් තැන්වල රස්තියාදු නොවී 'චංගුමීගේ කතාව' නැරඹීම සඳහා නිවෙස්වලට පැමිණීම නිවැසියන්ගේ ප්‍රීතියට ද හේතුවක් වී තිබේ. මගේ අත්දැකීම ද මීට බොහෝ සෙයින් සමාන බව කිව යුතු ය.

මා ජීවත් වන කිරිගම්පමුණුව ගම්මානයට පැමිණීම සඳහා මත්තේගොඩ බස් නැවතුම් පළෙන් බැස පර්චස් 10ට කොටු වූ මධ්‍යම පාන්තික නිවාස අතරින් දිවෙන පිරිසුදු වීථි දිගේ සැතපුම් බාගයක් පමණ දුර පයින් ම යා යුතු ය. බිං කරුවල වැටෙන යාමයේ කඩිනමින් මා ඇවිද යන විට එම නිවාස අතරින් සුජාත දියණියගේ ගීය ඇසීම මියුරු අත්දැකීමකි. මීට මාස කිහිපයකට පෙර එහි පැවතුණේ නිහැඬියාවකි‍.

කොරියානු නිෂ්පාදනයක් වූ සුජාත දියණී කතා මාලාව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සිදු වූයේ එහි සභාපති මො‍හාන් සමරනායක සහෘදයාගේ මැදිහත් වීමෙන් බව දැන ගන්නට ඇත. අත්දැකීම් බහුල මාධ්‍යවේදියකු වන ඔහු රූපවාහිනී තිරයෙන් දිස්වන ටෙලිනාට්‍ය නමැති කබල් කතන්දර වෙනුවට මෙවැනි හරවත් නිර්මාණයක් ඉදිරිපත් කිරීම පැසසුම් ලැබිය යුත්තකි. රූපවාහිනී මහ ගෙදරට පිවිසෙන ඕනෑ ම අයකුගේ සිතෙහි ඇති වනුයේ තමන් මාධ්‍ය ආයතනයකට ගොඩ වූ බවක් නොව වෙනත් හැඟීමකි.

අඳුන් උලාගෙන කිසි බිසි ගා එහෙ මෙහෙ දිය යන ළමිස්සින්ගේ හා තඩිස්සි වූ කම්මුල් ඇති වත්සුනු ඉහිරුණු මැදිවියේ කාන්තාවන්ගේ රඟපෑම් තිරයෙන් මෙ පිට ද පෙනේ. මා එය සඳහන් කරනුයේ අපහාස කිරීමේ අරමුණින් නොව රසිකයකු හැටියට ය!

රජ ගෙදර කුමන්ත්‍රණකරුවන් අතින් මරණයට පත් වන මවකගේ දියණියක් බොහෝ දුක් පීඩා සහ අභියෝගවලට මුහුණ දෙමින් අවසන රජගෙදර ප්‍රධාන පාලිකා තනතුරකට පත් වන කතා තේමාව සහිත 'සුජාත දියණිය' තල කිහිපයකින් කියවීමේ හැකියාව සහිත මනරම් නිර්මාණයකි. කොරියානු ආහාර සංස්කෘතිය, වෙදහෙදකම් සම්ප්‍රදාය සහ සිරිත් විරිත් පිළිබඳ සුහද හැඟීමක් ද මේ කතා මාලාව රසවිඳීමෙන් සහෘදයන්ට ඇති වේ.

අනෙක් අතට රජගෙදර පුරෝහිතයන්ගේත් විවිධ නිලධාරීන් හා බිසෝවරුන්ගේත් අමනාපකම් සටකපටකම් සහ කුමන්ත්‍රණවලින් පිරුණු වැඩවසම් චින්තාවලිය ද මෙයින් විශද කෙරෙයි. චංගුමී සහ ඇගේ ආදරවන්තයා වන උප ඇමැතිවරයා අතර ඇති වන දෙබස් යොවුන් හදවත්හි උපදින ආදර හැඟුම් සම්ප්‍රදායයට එහා ගිය අපූර්ව පරිකල්පනයකි. එ පමණක් නොවේ; ධීර වීර ගුණැති සෘජු ප්‍රතිපත්ති අගයන රජ කුමරා සහ චංගුමී අතර, කතාව අවසාන භාගයේ හුවමාරු වන අදහස් උදහස් අර්ථ පූර්ණ ය; සියුම් ය; සංවේදනශීලී ගුණයෙන් අනූන ය. දුරාතීතයේ ආසියාකරයේ රජ ගෙදරක වෘත්තාන්තය මේ කතා මාලාවට විෂය වුව ද මෙහි ඇතුළත් වන කෲර සිදුවීම් මාලාව සර්වකාලීන සත්තාවක් හෙළි කරයි.

වැඩවසම් බලකොටු වනාහී නවීන චින්තනයට සැමදා සතුරුකම් කරන ප්‍රජා පීඩක ආයතන වෙත්. ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවරින් තවමත් ඇතැම් රටවල ක්‍රියාත්මක වනුයේ මෙකියන දුෂ්ඨ බල රටාවම නොවේ ද? සුජාත දියණී කතා මාලාව පිළිබඳ සති අන්ත විකල්ප පුවත්පතකට ලිපියක් සම්පාදනය කළ රචකයකු, සුජාත දියණී විකාශය කිරීම මහ ජනතාවගේ ප්‍රශ්න යටපත් කර ඔවුන් ගොනාට ඇන්දවීමකැයි ලියා තිබෙනු දුටුවෙමි.

විකල්ප මුහුණුවරින් පෙනී සිටින මෙවැනි බක පණ්ඩිතයන්ගේ අදහස්වලින් පෙනෙනුයේ සර්ව අසුබවාදී දෘෂ්ටියකි. නරුමවාදී දැක්මකි. මේ කතා පුවත රසවිඳීම ඔස්සේ රසිකයා වින්දනයක් ලබන අතර ම රජ පවුල් ආශ්‍රිත කෲර සම්ප්‍රදායන් පිළිබඳ නව ඥානයක් ද ලබා ගනී.

ඇතැම් විට නිර්මාණකරුවාගේ අරමුණ එය නොවන්නට ද පුළුවන. එහෙත් සත්‍යය එය යි. කලා කෘතියක ස්වභාවය ද එයයි. පසුගිය දිනවල සුජාත දියණියගේ ඡායාරූප පදික වේදිකාවේ අලෙවියට තබා තිබෙනු දුටුවෙමි. සෑම පුවත්පතක ම මේ කතා මාලාව පිළිබඳ විශේෂාංග පළ විය. 'ටයිටැනික්' චිත්‍රපටිය ප්‍රදර්ශනය වූ අවස්ථාවෙහි ද මෙ වැනි තත්ත්වයක් ඇති විය.

'බොඳ මීදුම්' වැනි විසූක දස්සන හා කුණු කන්දල් දෝරෙ ගලා යන රූපවාහිනී නාළිකාවල ප්‍රධානීන් විසින් යළි සලකා බැලිය යුතු කරුණක් තිබේ. එනම් ප්‍රේක්ෂකයන් කුණු කන්දල් බලන්නේ වෙන බලන්නට දෙයක් නැති නිසා බව ය. මම ද සුජාත දියණිය හා ඇය නිර්මාණය කළ රසවතුන්ට ආදරය කරමි.