ගේ කුරුල්ලෝ

පහු ගිය දවස්වල මගේ කාලයෙන් වැඩිපුර ගත වුණේ අපේ ගෙදෙර බිත්තිවල තීන්ත ගාන්න. “පට් පට් ගාල වේලෙන, නෝනට ඕනේ පාට ඕනේ” කියලා තීන්ත විකුණන දැන්වීමවල පෙන්නුවට ගෙදෙරක තීන්ත ගාන්න ගියාම ඒ කරණා දෙකම සම්පූර්ණ කරගන්න අමාරුයි. ගෙදර ඉන්න නෝනා මම විතරක් වුණාට ගෙදෙර ජීවත් වෙන හැමෝම කැමති පාට කොහොම හරි තෝරගෙන ආලේප කළාට මේ දවස්වල අපිට සීතල නිසා වේලෙන්න ටිකක් විතර වෙලාවක් යනවා.

අපි මේ නිවස මිල දී ගත්තේ මීට මාස කිහිපයකට කලින්. මිල දී කිව්වට අමෙරිකාවේ සමාන්‍ය මිනිස්සු නිවෙස් හිමියන්ට වඩා නිවෙස් හිමි ණය කරුවන් කියලයි මගේ සැමියා විහිළුවට කියන්නේ. බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් නිවෙසක් මිලට ගෙන අවුරුදු 15ත් 30ත් අතර කාලයක් තිස්සේ ගෙවා දැමිම තමයි වැඩ කරන මධ්‍යම පාන්තික පවුලකට තමන්ගේ කියා නිවසක් ලබා ගැනීමට ඇති ක්‍රමය. නමුත් මේ ක්‍රමය නිසා සෑම කෙනෙකුටම තමන්ට ගැළපෙන නිවසක් හිමිකර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.

නමුත් පහුගිය කාලයේ නිවෙස් වෙළෙඳ පොළ බිඳ වැටෙන්නට හේතුව වුණේ මිනිස්සු ගෙවන්න පුළුවන් තරමට ණය නොගෙන දෙන තරමක් අරන් තමන්ගේ පවුල්ට ප්‍රමාණවත් නිවෙස් වෙනුවට ඉතා සුඛෝපභෝගී විසල් නිවෙස් ණයට ගන්නට යෑම නිසා බව ආර්ථික විද්‍යඥයෝ දැන් කියනවා.

දැන් ඉතින් ප්‍රමාද වැඩියි. ආර්ථික පසු බෑම නිසා රැකියා විරහිත වීමෙන් ණය ගෙවා ගනු නොහැකිව බැංකු විසින් නිවෙස් නැවත පවරා ගැනීම නිසා බොහෝ නිවාස අත් හරින්නට මිනිසුන්ට සිදු වුණා. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇදගන්න බෑ කියල අපේ ආච්චිලා සීයලා අපිට කියල තියෙනවනේ. ඒ වගේම බැරි වැඩ නොකරන් අබරෝ කියලත් කියල තියෙනවා.

ඉතින් ඒ වගේ උපදෙසුයි, අනිත් මිනිස්සුන්ට වෙච්ච කරදරයි ඔක්කොම පාඩමට අරන් අපි ගෙවල් හොයන්න යද්දි අපිට නොයෙකුත් ආකාරයේ ගෙවල් දකින්න ලැබුණා. ඒවා ඇතුළට ගිහිල්ල ඒ තැන් අපිටත් හොඳ කියල බලන එක ටිකක් අමාරු වැඩක්. අනුන්ගේ ගෙවල් නේ. සමහර නිවෙස් ඇතුල් ඉතාම ප්‍රිය ජනකයි. නිර්මාණශීලි අදහස්වලින් ඒවා විසිතුරු කරලා. සමහර නිවෙස් හරිම සරල සුන්දර ඒවා ලෙස පෙනෙද්දි සමහර නිවෙස් ඉතාම සුඛෝපභෝගි භාණ්ඩවලින් පිරිලා. ඒවාට අමතරව පිරිසුදු නොකරන ලද ගෙවල්, තමන්ගේ සුරතල් බලු බළලුන්ගේ ලොම්වලින් පිරී ඉතිරී ගඳ ගහන නිවෙස් පවා අප දුටුවා.

මේවා අතරින් මා දකින්නම අකමැති තත්ත්ව වූයේ රැකියා අහිමි වීමෙන් ණය ගෙවා ගනු නොහැකි වූ විට බැංකුව මගින් විකුණන නිවාස සහ දෙන්නා දෙමහල්ලන් දික්කාසද වීම නිසා විකිණීමට තීරණය කරන ලද නිවාසයි. මිනිසුන් ගොඩ ගසන ලද බලාපොරොත්තු තැන් තැන්වල බිඳ වැටී එවැනි නිවෙස් ඇතුළේ දෝංකාර දෙනවා වගේ මට දැනුණා.

තමන්ගේ දූ පුතුන් විවා පත් වී තම තමන්ගේ නිවෙස් තනා වෙන් වී ගිය, උස් මහත් වූ මුණුපුරු මිනිපිරියන් පවා දුටු මහලු අයට ඔවුන්ගේ නිවෙස් පවත්වා යෑමට පමණක් නොව තමන්ගේ කටයුතු පවා කර ගත නොහැකි තැනට පත් වූ විට ද, නිවෙස් විකුණා වයසක අයටම වෙන් වූ විශ්‍රාමික සුවෙන් ගත කළ හැකි කුඩා නිවාස සංකීර්ණවලට හෝ තමන්ගේ දුවා දරුවන්ගේ රැකවරණය පතා යනවා.

දිනෙක අප එවැනි මහලු යුවළක් විසින් විකිණීමට දමා තිබූ නිවෙසක් බලන්නට ගියා. එහි කාමර ගොඩ ගසා තිබුණේ පොත් පත්වලින්. තමන්ගේ බිරිය අමාරුවෙන් රෝද පුටුවක වාඩි කරවා තමන්ගේ පුතාගේ උපාකාරයෙන් මෝටර් රථයට ගොඩවී අපට නිවස රිසි ලෙස බලන්නට ඉඩ දී ගෙහිමියා පිටත් වී ගියා.

ඒ පොත් ඔහු හෝ ඇය විසින් කියවූ ඒවා විය හැකියි. කලක් පුරා දැනුම එකතු කළ ඒ අය දැන් නම් තමන්ගේ බෙහෙත් බෝතලයේ නම වත් කියවා ගන්න බැරි තරමට මහලුයි. මා මෙය ලියද්දී ඔවුන් ජීවත් වේදැයිත් සැකයි. ඒ නිවස තුළ ක්‍රිස්ටල් වීදුරු භාණ්ඩ එකතුවක් ද තිබුණා. එම නිවසේ විසූවෙක් ඒවාට අශා කරන්නට ඇති.

ඉතින් කොහොම හරි බලලා බලලා අප නිවෙසක් මිලට ගත්තා. එය කලකට පෙර තැනූවක්. එහි බොහෝ දේ පැරණි පන්නයේ නිසා ඒවා නැවත අලුත් වැඩියා කරවා අපේ කැමත්තට රිසි ලෙස වෙනස් කරගන්නට අප උත්සාහ කරනවා. බිත්තිවල අලවා තිබූ රටා සහිත වෝල් පේපර් ගලවා තීන්ත ගෑමට තීරණය කෙරුවේද ඒ නිසා. තව කලක් ගත වී අපද මහලු වෙනු ඇත.

අපේ දුවා දරුවන් උස් මහත් වී ඔවුන්ගේ නිවෙස් තනා වෙන් වී ගිය පසු වාරු නැති අප විශ්‍රාම නිවෙස්වලට නික්මී යද්දී තවත් නව පවුලක් පැමිණ අප නිවෙසට ලංසුවක් දී එය මිලදී ගනිවී. ඔවුන් අප විසින් කර ඇති හැඩ ගැන්වීම්, මෝස්තර, වර්ණ ආදිය පැරැණි පන්නයේ කියා වෙනස් කරනු ඇති. ජීවිතේ රවුමක් ව ගලා යනු ඇති.