මනුසත් සිදුහත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

ලිබර්ටි සිනමා ශාලාව අඳුරින් පිරිලා. සම්පූර්ණයෙන් ම වගේ පිරුණු ශාලාවේ හැම අසුනක් ම බොහොම නිශ්ශබ්දව. සිනමා තිරය සුවිසල්ව දිස්වෙනවා. ලස්සන කුමාරිකාවක් මල් අතුරවපු යහනක සිනාමුවින් සයනය කරනවා. පුංචි ඇත් පැටියෙක් සුදු නෙළුමක් හොඩින් ගෙනැවිත් කුමාරිය දෑතට පත් කරනවා. කුමාරිය සිහිනයෙන් පිබිදෙනවා. ඒ මහාමායා දේවියයි...

'ප්‍රජාපතී මම සිහිනයක් දුටුවා.' ඇය කියනවා....

සිහින කියවන්නන් මාලිගාවට කැදවෙනවා.. සිහිනයේ අරුත නක්ෂත්‍රකරුවන් මහරජුට පවසනවා.

“ශාක්‍ය වංශයේ රජකමට සුදුසු සුපින්වත් කුමරෙක්”...රජුගේ සිත සතුටින් පිරෙනවා.

මහාමායා දේවිය දරු ප්‍රසූතියට තම මවුපියන් දකින්නට යන අතරමඟ ලුම්බිනි සල් උයනේ දි ,මලින් සපිරුණු සල් අත්තකට වාරුවෙලා සුපින්වත් කුමාරයාට උපත දෙනවා.

ඒත් සමහර දේවල් සිද්ධ වුණේ බුද්ධාගම පොතේ නොතිබුණු විදිහට.

බුද්ධාගම පොතේ තිබුණු විදිහට නෙළුම් මල් හතක් සුපිපුණේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ඒ පියුම් පිටින් ඇවිද ගිහින් එතුමන් ගේ උදාන වාක්‍ය ප්‍රකාශ කළේත් නැහැ.

ඒ වගේ ම ගිහිගෙය හැරයද්දී ඒ අග්‍ර වූ කුමරුවාගේ දෙනෙතේ කදුළු බින්දු දිලිසෙනවා. ඔහුට තම ප්‍රියම්බිකාවත් අලුත උපන් පුතනුවාත් හැරයාම හිතට වේදනාවක් වෙනවා. බුද්ධාගම පොතේ කවදාවත්ම සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැරයද්දී කදුළු සැලුවා කියලා කියැවෙන්නේ නැහැ.

ඉතිහාසයේ සදහන් නොවන පරිදි සිනමාපටයේ දී කුමරු ගිහිගෙය හැරයන්නට සමීපතමයන්ගෙන් අවසර පතනවා. යශෝධරා දේවියගේ ඉල්ලීම පරිදියි කුමරුන් රාත්‍රී කාලයේ දී ගිහිගෙය හැර යන්නේ. ඇයට අවශ්‍ය වෙනවා තමන්ට නොපෙනී කුමරුන් ගිහිගෙය හැරයන්න. එසේ නොමැති නම් එය දරාගත නොහැකිවනු ඇතැයි ඇය කුමරුට පවසනවා.

ඉතිහාසය විකෘති කිරීමක්...මෙයට විරුද්ධව නැගී සිටිය යුතුයි...එහෙම හිතුණද?

ඔව්, එහෙම හිතුණා නම් පුදුමයකුත් නැහැ. ඒත් මට එහෙම හිතුණේ නැහැ.

සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට මනුසත් බවක් ආරෝපණය කිරීමකුයි මා එයින් දුටුවේ. ඇත්තටම සිද්ධාර්ථ කියන්නෙත් මනුස්සයෙක්. මනුසත්වයෙක් තුළ තිබිය යුතු සියලු ම ගුණාංග එතුමන් තුළ තිබුණා. එතුමා මවු කුසකින් උපත ලැබුවා. පෙම් කළා. විවාහ දිවියට ඇතුළත් වූණා. තමන්ට දාව රාහුලයන්ට උපත දුන්නා. බුද්ධත්වයට පත්වීමෙන් පසුව වුවත් මහලු වූණා. රෝගී වූණා. මරණයට පත් වූණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මිනිසෙක් වූණා.

වෙනසකට තිබුණේ ඔහු ඉතාමත් ධෛර්යවන්ත මිනිසෙක් වීමයි. තමන්ට ඇවසි වූ බුද්ධත්වය ලබාගැනීම තෙක් වූ අප්‍රතිහත ධෛර්යය එතුමන් සතු වුණා. එතුමන් පිදිය යුතු වන්නේ එබැවිනුයි.

නමුත් උපතින් බෞද්ධයන් වන අපි ඒ සාමාන්‍ය මනුෂ්‍යත්වය පිළිගන්නට සූදානම්ද?

ඔව්....බොහොම දෙනෙක් එහෙම කියාවි. 'බුදු හාමුදුරුවො මනුෂ්‍යයෙක් කියලා අපි දන්නවනෙ. ඒකෙ අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නැහැනේ.'

ඒ වුණත්, අපේ ඒ පිළිගැනීම කොයිතරම් දුරට ප්‍රායෝගිකද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවසානයි.

එතුමන් වදාල ධර්මය අනාගතයට රැගෙන යෑම උදෙසා කැපවී කටයුතු කරන්නේ මහා සංඝරත්නයයි. නමුත් අපි මහා සංඝරත්නය දෙස මානුෂිකත්වයක් ආරෝපණය කොට බලනවාද?

අපි ඔවුන් දෙස බලන්නේ ගෞරවයෙන්. ඔබ එහෙම කියාවි.

ඔව් ඔබ නිවැරැදියි. ඒත් මහා සංඝරත්නය ලෙයින් මසින් සැදුණු මිනිසුන්යයි, මානුෂික ගුණාංග ඔවුන් සතුව ඇතැයි මොහොතකටවත් සිතුවාද?

ගමේ නිවසට යාබද පන්සලේ සවස් යාමයේ ක්‍රිකට් තරග පැවැත්වෙනවා. ඒ ලොකු හාමුදුරුවන් සැතපෙන බවට ඉගිදෙමින්. සිමෙන්ති තාප්පය මත ඉදගත් පඩු පැහැ සිවුරු තරගය නරඹනවා.

පිත්තකින් පහර කෑ ටෙනිස් බෝලය බෝ ගස පාමුලට දිව ගොස් නවතිනවා. බෝලය පසුපසින් දිවගිය කුඩා දෙපතුල් බෝ ගස අසල නැවතෙනවා. හොරාට බෝගස දිහා බලනවා. වරදක් කරනවාදෝ යන හැඟීමෙන් බෝලය විකට්ටුව දෙසට යොමු කරනවා. දැවීයාමක්...ඔල්වරසන් හඬ නැ‍ඟෙනවා.

බුද්ධ වන්දනාවට මල් නෙළන කාන්ති නැන්දා මල් නෙළීම ටිකකට නවත්තලා කම්මුලේ අත තියාගෙන අනේ කාලේ...දැන් හැදෙන පොඩි හාමුදුරුවන්ගේ හැටි…” කියලා කියනවා.

ගුවන් විදුලියේ බණ කියනකොට 'දෙව්දත් තෙරුන් බුදු රජානන් වහන්සේගේ හිස මතට ගලක් පෙරළු සේක' කියලා කිව්වාමත්, කාන්ති නැන්දා සාදු...සාදු ...කියනවා. එයා “බුදු රජාණන් වහන්සේ” කියුවම කොහොමටත් “සාදු” කියලා කියනවා.

බුදුන් වැඩ ඉන්නා සමයෙහි විශාකා මහා උපාසිකාව පන්සල් යනවිට කුඩා සාමණේරයන් වහන්සේලාට පැණි රස කෑම රැගෙන ගියේලු. උන්වහන්සේලා ඇය එනතෙක් මඟ බැලුවේලු. මා දකින විදිහට සැබෑ අවබෝධය නම් එයයි. බෞද්ධාගම පසුපස සැඟව ඇති සැබෑ මානුෂිකත්වය අවබෝධකර ගැනීමයි.

කොහොම නමුත් ක්‍රිකට් තරගය තවම පැවැත්වෙනවා.

වෙනදාට උපාසක උපාසිකාවන්ට පන්සිල් දෙන සැදැහැවත් මුවගකින් විස්තර විචාරයක් කෙරෙනවා.

“පින්වතුනි, ඒ හයේ පහරක්...”

මගේ මුවගට සිහින් සිනාවක් නැ‍‍ඟෙනවා...