වැඩකාරයෝ හා මහප්‍රාණකාරයෝ

නොයෙක් ආකාරයේ ක්‍රියාකාරකම් හා රැකියා කරන්නෝ සිංහල ජනවහරේ දී අපට හමුවෙති. පාන්කාරයා, කිරිකාරයා, කරත්තකාරයා, බයිසිකල්කාරයා, රික්ෂෝකාරයා ද මේ අතර වෙති. “කාර” සංස්කෘත “කෘ” ධාතුවෙන් හැදෙන නාම පදයකි.

සිංහලේ දී ඒක වචන කිරීම සඳහා “ආ” ප්‍රත්‍ය එකතු වී කාර යන්න “කාරයා” බවට පත්වේ. සිංහල භාෂාවේ දී යමක් කරන්නා 'කරුවා' ලෙස හැඳින්වෙයි. කම්කරුවා මෙන් ම ලිපිකරුවා ද කම්කරු පංතිය බවට පත් වී මැයි දින රැලිවල මෙන් ම පෙළපාලිවල ද එකට ගමන් කරයි.

ඉංග්‍රීසි වචනයක් වූ මෑන් (man) යන්නෙහි ද මේ අර්ථය ඇතුළත් වෙයි. ඉංග්‍රීසි භාෂාව ඉන්දියාවේ මෙන් ම අප්‍රිකාවේ බොහෝ රටවලට හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන තන්ත්‍රයේ අංගයක් ලෙසිනි. මෙරටට පැමිණි ටොප් හැට් හා ටයිකෝට් පැළඳි කලු සුද්දෝ තවමත් මාන්නක්කාරයෝ ලෙස ශිෂ්ටාචාරය දිගේ ගමන් කරති. ගැලවුම්කාරයාණෝ බයිබලයේ බහුමානයට පාත්‍රවන පදයකි. ක්‍රිස්තුස් වහන්සේ තම එකම ගැලවුම්කාරයාණෝ යන්න කිතුනු ඇදහිල්ලයි.

කෝඩුකාරයා සිරිපා කරුණා කරමින් හෙලේ නගින විට හමුවන්නෙකි. තොරෙම්බල්කාරයා අප කුඩා කාලයේ වෛවාරණ බඩු වෙළඳාමට පැමිණි අයෙකි. ඔහු හිස මත තබාගෙන ආ තොරෙම්බල් පෙට්ටිය තහඩුවෙන් නිමකළ එකකි.

තට්ටු කීපයකින් සමන්විත මෙහි තට්ටුවෙන් තට්ටුවට ගෘහණියට අවැසි හරනෙල් කටුවේ සිට හවරිය දක්වා වූ බඩු භාණ්ඩ මෙන්ම සැලෝලයිඩ් වළලු මෙන්ම පබළු වළලු මාල ද පිරී පැවතුණි. කුඩා ළමයින් නොඉවසිල්ලෙන් බලා සිටියේ තොරොම්බල් පෙට්ටියේ අවසන් තට්ටුව ඇරෙනතුරු ය. දරු කැල මෝහනයට පත් කළ ජපන් බෝනික්කෝ ඇස්පිල්ලම් ගසමින් බලා සිටියහ. වයින් කළ පමණින් දුව පැන යන හා පැටවුන් මෙන් ම සෙල්ලම්කාර් ද තොරම්බල්කාරයා බිම තැබුවේ දරුවන්ගේ ඉවසිල්ල බිඳිමින් එකින් එකට ය.

පොට්ටනිකාරයා එදවස ගෙයක් ගානේ රෙදි විකිණීමට පැමිණි වෙළෙන්දෙකි.

බර්ට්‍රම් රසල් මහතා පසුගිය සියවසේ විසූ දාර්ශනිකයෙක් මෙන් ම මහා ගණිතඥයෙක් ද වෙයි. ඔහු ගණිතය පිළිබඳ කෙල පැමිණියෙකි. එසේ වුව ද ඔහු ගණන්කාරයෙක් නම් නොවේ. ජනවහරේ පෙනී සිටින ගණන්කාරයා හන්දියක් ගානේ දැකගත හැකි වූ රස්තියාදුකාරයෙක් ද විය. එවැන්නෝ කීප විටක් වරදට හසු වී හිරේ වැටුණු පසු අයි. ආර්. සී. (IRC) කාරයෝ බවට පත්වෙති.

ටැක්සිකාරයා නගරබදව ගැවසෙන බොහෝ විට කොළඹ හාදයෙකි.

එම්. එස්. ප්‍රනාන්දුගේ වැනුම් ගීයක ටැක්සිකාරයාගේ ගති සිරිත වනන්නේ “ටැක්සිකාරයා කොළඹ හාදයා - මම ඇරල යන්න හරිම සූරයා” යනුවෙනි.

නාඩගම්කාරයා මෙන් ම කෝලම් කාරයා ද එදවස සිට මෙදවස දක්වා ජන වහරේ ජීවත්වන්නෝ වෙති. ගම්බද නාට්‍ය වර්ග අතර අංගසම්පූර්ණ රංග ශෛලියක් ඇත්තේ නාඩගම්වලට පමණ යැයි සරච්චන්ද්‍ර මහතා පවසයි. නාඩගමේ දී - කෝලම් නාට්‍යයේ දී මෙන් ම දහඅට සන්නියේ දී හා සොකරි නැටුමේ දී ද බෙරකාරයාට ලැබෙන්නේ වෙසෙසි තැනකි.

චිත්‍රපටි පැමිණීමත් සමඟම බයිස්කෝප්කාරයා ද සමාජයට එක්වුණි.

සබය හිනස්සන නාඩගම්කාරයා, කෝලම්කාරයා, බයිස්කෝප්කාරයා ද ජනවහරේ දී වරෙක උපහාසය ද, වරෙක අපහාසය ද ධ්වනිත කරයි. මතුපිට අර්ථයට වඩා අතිශයින් චමත්කාරජනක වූ අර්ථයක් ඇතැම් විට මේවායින් ධ්වනිත වෙයි.

යමක් කරනවාට වඩා කෙරුවා යැයි පෙන්නුම් කරන වැඩකාරයා ද – පුරාජේරුකාරයා ද පූචානම් කාරයා ද ජනවහරට එක්ව ඇත්තේ හැම සමාජයකම උනුන් පරයා කැපී පෙනීමට උත්සාහ දරන පුද්ගලයන් නිසා ය.

සංගීතකාරයා සංගීත මාස්ටර්ට වඩා වෙනස් චරිතයකි. සංගීතකාරයාගේ ස්වභාවය ජෝන් ද සිල්වා සූරීහු ශ්‍රී වික්‍රම රාජසිංහ නාටකයේ දී ඉලංගෙයි මොහොට්ටාල ලවා මෙසේ පවසයි.

පිනවන්ට සවන් ඇතිවන්නෙ සොදින්

සංගීත සිංහල ද්විපේ

මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත

ඊට දුර්ජන කෝපේ

මහ මෝඩකමක් තව ඇද්ද රටේ

මා එක්ක අනේ ඇයි කෝපේ

ඇන්නෑ ඊර්ෂ්‍යා මුන්ගේ මෝඩකම් පේනා

(පිනවන්ට – ද්වීපේ)

සංගීතකාරයෝ බෝමැයි

පුප්පන්ට ඉතා සමතෝමැයි

දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මැයි

නොදකින් නරිවාදන් පෙරෙන්නා දැන්

පුරා පල්ලෙන් ඉලංගෙයිරංගේ මාගෙන් බේරේ

හින්දුස්ථානි සංගීතය ඉගැන්වීමේ දී භාවිත කරන “වාග්ගේයකාර” යන වචනය අල්ලාගෙන ගීතය නමැති කලාංගය හැඳින්වීමට “ගේය පද, ගේය කාව්‍ය” යන්නක් වහරට දැමීමේ හාස්‍යජනක උත්සාහයක ඇතමෙක් යෙදී සිටිති. මෙය අනවශ්‍ය මහප්‍රාණයක් සේ දැක්විය හැකිය. ගී පද රචනය, ගීත ප්‍රබන්ධ, ගී පද බැඳුම් යන යෙදුම් තිබියදී ගේය පද යන්න ආයාසයෙන් වහරට දමන නිවේදකයා දෙස අසන බලන ශ්‍රෝතෘන් මුවින් නොබැණ සිටින්නේ බොරු මහප්‍රාණකාරයකුගේ හාස්‍යජනක ක්‍රියාවක් හාස්‍ය රසයෙන් යුතුව විඳගැනීම නිසා විය හැකි ය.

“ගේය පද රචකයා” යන්නෙන් ගීත පද රචකයා හැඳින්වීමට උත්සාහ දරන බොරු මහාප්‍රාණකාරයා ගීතය ගයන ගායකයා හැඳින්වීමට “ගේයකාරයා” යන්න නොයදන්නේ කුමක් නිසාද යන්න ප්‍රශ්නයකි.

මීළඟ ගායන ශිල්පියා අහවලා යන්න වෙනුවට මීළඟ ගේයකාරයා අහවලයා යන්න යෙදෙන දවස වැඩි ඈතක නොවන බව මේ අනුව සිතාගත හැකි ය.

“පුරුතුගීසි කාරයා - රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න සූරයා”

යන ගීතය අරිසෙන් අහුබුදු වියතාණන් ලීවේ සංදේශය චිත්‍රපටිය සඳහා ය.

පුරුතුගීසිකාරයා ලිස්බන් නගරයෙන් නැව් නැඟ කොළඹට පැමිණ අපට නුහුරු නුපුරුදු නොයෙක් දේ පුරුදු පුහුණු කළේය. පුරුතුගීසිකාරයා රැගෙන ආ බයිලා, කපිරිඤ්ඤා තාලයට නටන, ගයන බයිලා කාරයා ද අපේ සමාජයට වැද්ද ගනු ලැබී ය. බයිලා සාහිත්‍යයක් ද මේ අනුව ක්‍රමයෙන් දියුණු විය.

“පළමු බුදුන්ටයි

දෙවනුව දෙමාපියන්ටයි

තුන්වෙනුව සබේටයි

මම අද බයිල කියන්නයි”

බයිලාකාරයෝ දෙකොන බයිලා, තුන්කොන බයිලා, සිව්කොන බයිලා, අටකොන බයිලා, තරඟ බයිලා හා වාද බයිලාවලදී ගැයූහ.

සම්මා සම්බුදු රජුන්ගෙ පායුග වැඳලා

නම්මා සිත බයිලා කියමි අද පද බැඳලා

අම්මා කියන ඒ උත්තම සුමිහිරි බසට

සම්මා සම්බුදුන් පවා ගරු කලෙ යසට

කෙසේ වුවද බයිලාකාරයා යුගයෙන් යුගයට අපට ප්‍රහර්ෂය ගෙන ආවේ ය.

“කවිකොළකාරයා” එදවස ගම්බද පොළේ දී මෙන් ම නගරබද කඩමණ්ඩියේ හා බස් නැවතුම්පොළේ දී ද දක්නට ලැබුණු චරිතයකි. හාරලක්‍ෂයේ මංකොල්ලය, ඇඩලින් විතාරණ මිනීමැරුම, සතාසිවම් නෝනා මැරුවේ වංගෙඩිය ද යන්න ගැන කවි කොළකාරයා කවි පද බැන්දේය.

විරිඳුකාරයා වැව්ගම්පත්තුවේ වැව් කණ්ඩියක් දිගේ යන අයුරු මට දැකගත හැකිවූයේ මෑත භාගයේ එක් දිනකදීය.