මාලිංග වැහිලා

මාලිංග අංකල්ගේ පන්දුව වගේ ම කටත් හරිම හිතුවක්කාරයි. පහුගිය සතියේ ටී. වී, රේඩියෝ, වගේ ම පත්තර තට්ටු අස්සෙනුත් එබිකම් කෙරුවේ මාලිංග අංකල්ගේ නොහික්මුණු මුහුණත් තහඩුවයි. අඹ ගහ යට පුංචලා පැංචිලා ටිකත් හරිම උභතෝකෝටියකට තමයි මුහුණ පෑවේ.

රටක් වෙනුවෙන් සෙල්ලම් කරපු වීරයා කේන්තියෙන් කීව වචන දෙක තුනක් හින්දා එක පැයකින් හමාරකින් ඔහුව ද්‍රෝහියෙක් කරනවාද? එහෙමත් නැත්නම් ඈත දුෂ්කර ගමකින් කොළඹ ඇවිත් හිත හොඳ මහත්තුරුයි, මාධ්‍ය ආයතන ටිකයි හින්දා ඉණිම‍ඟේ ඉහළට නැංග මාලිංග අංකල් ඉණිමඟට පයින් ගැහුවාම ආයෙමත් මුල මතක් කරලා දෙනවාද? කියන ප්‍රශ්න දෙක අඹ ගහ යට පුංචලාට ඒ විදිහට ම දැනුණා. කොහොම වුණත් පුංචලා වගේ ම පැංචිලාත් මේ ප්‍රශ්නෙදි නම් හරිම උනන්දුයි. ඉස්සරලාම ඉස්සරහට පැන්නෙත් රෝස පැංචියි.

“මොනව වුණත් මං මාලිංග අංකල්ගේ පැත්තේ..එයා ට කේන්ති ආවම ඒ කේන්තිය පිට කරන්න අයිතියක් තියෙනවා.”

“ඔය විදිහට..කිසිම ශීලාචාර කමක් නැතුව. අනික මේ මාධ්‍යවේදීන්ට. වෙන කාටවත්නම් කමක් නෑ” රෝස පැංචි දිහා ඔරොප්පුවට බලපු මදටිය පුංචා කීවා.

“හරි වැඩක්නේ. කෙනකුට කේන්තියක් ආවම ඒක පිටකරන්න ඕන මොන විදිහටද කියලා පොතක ලියැවිලා තියෙනවද? අනික මේ විදිහට කතා කරන්න, මෙහෙම බලන්න කියලා, කේන්තියක් ආවමත් හිනාවෙලා ශීලාචාර විදිහට කියන්න.. කියලා නියමයක් තියෙනවද?”

රෝස පැංචිත් ඇරියේ නෑ.

“ඒ මිනිස්සු ඔය තැනට ගෙනාවේ මේ මිනිස්සු. අනික ඒ මිනිස්සු ලක්ෂ ගණන් පඩි ගන්නේ රටේ ජනතාවගේ සල්ලිවලින්. එතකොට රටේ මිනිස්සුත් ඒ මිනිස්සු ගැන දැන ගන්න ඕන. මාධ්‍යයටත් එතනදී යුතුකමක් තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත වීරයොයි කාඩ් බෝඩ් වීරයොයි කවුද කියලා තේරුම් බේරුම් කරලා දෙන්න.”

වෙනදාට වැඩි කතා බහක් නැති අළු පුංචත් කතාවට පැටළුණා.

” යකෝ..මාධ්‍යයට ඒ අයිතියයි යුතුකමයි පැවරුවෙ කවුද?” දුඹුරු පුංචත් රෝස පැංචිට හුරේ දැම්මා.

ඔන්න ඔය විදිහට දෙපැත්තට බෙදිලා පුංචලා පැංචිලා වාද කර කර ඉඳිද්දී ලොකු පුංචා පාරේ එහා කෙළවරින් මතුවුණා. ලොකු පුංචා මෙතෙක් වෙලා හිටපු නැති විත්තිය පුංචලාට මතක් වුණෙත් ඒ වෙලාවෙමයි. මේ තරම් පරක්කු වුණේ මොකුත් කරදරයක් ද දන්නෙත් නෑනේ. පුංචලා පැංචිලා කසු කුසු ගෑවා. නිල් පුංචා ලොකු පුංචගේ පෙරමඟට දුවගෙන ගියා.

” අයි මං මීට ඉස්සරල දැකල නැද්ද?”

ලොකු පුංචා ඇහුවා. නිල් පුංචා පස්සට වුණා. අනිත් පුංචලාටත් පැංචිලාටත් ටිකක් ග්‍රීක් වගේ. ඒත් ඉතිං මේ මොකද කියලා බලාගෙන හිටියා මිසක් කවුරුවත් කාටවත් මොකුත්ම කීවේ නෑ.

” යනවා මනුස්සයෝ යන්ඩ”

ලොකු පුංචා කෑගැහුවා. නිල් පුංචා පස්සට වීසිවුණා. ඊට පස්සෙ ඔහු පුංචලා පැංචිලා අතරේ අතුරුදහන්වුණා. මොකකින් මොකක් සිද්ධ වුණා ද කියන කාරණය තෝරා බේරාගන්නට බැරි වුණත් ‍මොකක් හෝ සිද්ධ වී ඇති බව නම් හැමෝටම තේරුණා. ලොකු පුංචා හෙමින් හෙමින් අඹ ගහ යට ගලට ගොඩවුණා.

” මං ඈත ගමකින් ආව බව ඇත්ත. අපි පුංචි කාලේ එදාවේල හොයාගත්තේ දවස ගෙවා ගත්තෙ සෑහෙන අමාරුවෙන් බවත් ඇත්ත. මට අත දුන්නු මහත්තුරු හින්දයි මගේ දක්ෂතා හින්දයි තමයි මං මේ ගමන ආවේ. දැන් මං පොළොවේ පය ගහලා අනුන්ට අතනොපා ජීවත්වෙන්න තරම් පෝසත්. හැබැයි ඒ වෙන වෙන බිස්නස් කරලා, යටි මඩි ගහලා නෙවෙයි. සෙල්ලම් කරලා. ඒක මගේ රස්සාව. මං කේන්තියක් ආවම පිට කරන්නේ ගමේ චණ්ඩියෙක් වගේ වෙන්න ඇති.

ඒ මට බොරු මධ්‍යම පාන්තික සදාචාරයක් නැති හින්දා. අනිත් අය ළඟට එන්න කියලා කන්න බොන්න දුන්නම ,බොරුවට හිනාවෙලා ඔළුව අතගෑවම ලොකු තැන්වලට ඕන හඬට ඕන විදිහට ඕන තරම් වෙලාව දෙන, ඕන දේ ලියාදෙන මහත්තුරුනේ.. මං ඒ විද්‍යාව ඉගෙන ගෙන නෑ..”

ලොකු පුංචා හැඟීම් බරව කීවා. මේ මොකද මේ..? හැමෝ‍ටම ප්‍රශ්නයක්. ටික වේලාවකින් ලොකු පුංචා වෙව්ල වෙව්ලා ක්ලාන්තය දාලා වැටුණා. ළඟ හිටිපු කහ පුංචයි තවත් දෙතුන් දෙනෙකුයි බිමට වැටෙන්නට නොදී යාම්තම් අල්ලා ගත්තා. ඒ වෙලාවෙ එතනින් යන්න ආව සියාතු සීයා ලොකු පුංචගේ අත අල්ලා නාඩි පරීක්ෂා කළා.

” ලොකු පුංචට මාලිංග වැහිලා..” සියාතු සීයා කීවා.

“මොකක්.. මිනිස්සුන්ට යක්කු මිසක් මිනිස්සු වැහෙන්නෙ නෑනේ..” කහ පුංචා ඇහුවා.

” මිනිහෙක් යකෙක් කෙරුවම. ඒකා වැහෙන්න පුළුවන්..”

සියාතු සීයා එහෙම කියාගෙන ඇප නූලක් ජප කරන්නට පටන් ගත්තා.