බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු

ඒ අතුරු පාර පටන් ගන්නෙත් ප්‍රධාන පාරකින්, ඉවර වුණෙත් ප්‍රධාන පාරකින්. මේ දෙකට මැදිවෙච්ච අතුරු පාරෙ දෙපැත්තෙතම තිබුණෙ සල්ලි බාගෙ තියන උදවියගේ ගෙවල්. වැඩිහරියක් ගෙවල් කාටවත් පෙනන හින්දද මන්ද උසට තාප්ප බැඳලා තිබුණා.

බල්ලෙකුට බළලෙකුටවත් එන්න බැරි විදිහට ලොකු ගේට්ටුවක් දාලා තිබුණා. වැඩි හරියක් තිබුණෙ තට්ටු ගෙවල්. ඒවාහි උඩ තට්ටු පාරට පේනවා. ඒ උඩ තට්ටුවල ඉදලා හිටලා මනුස්සයෙක් පේන්න ඉන්නවා. එ්කෙන් විතරයි හිතාගන්න පුළුවන් ඒවාහි මනුස්සයො පදිංචියි කියලා. සමහර ගේට්ටුවල බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු කියලා බෝඩ් එකක් ගහලා. හැබැයි ඒ බෝඩ් නොතිබුණත් ඒ ගෙවල්වලට බල්ලකුටවත් යන්න විදිහක් තිබුණෙ නැහැ‍. ඒ තරමට ඒවා‍හි ඉක්ක මිනිස්සු සමජයෙන් ඈත්වෙලා හිටියෙ. ඇයි කියලා දන්නෙත් නෑ. සමහර විට වෙනත් මිනිස්සු යන එන එකට ඒ මිනිස්සු අකමැති ඇති.

ඒ පාරෙ යන එන අයට නිතර දකින්න කෙනෙක් හිටියා. ඒ ගුරු පාට අතරින් තැන තැන සුදු පාට තිබුණ පොහොර බැල්ලියක්. මෙයාව අඳුනන්නේ නැති කෙනෙක් ඒ පාරෙ ආවෙ ගියෙ නෑ. ඒ කියන්නෙ ඒ පාර පාවිච්චි කරන හැමෝම මෙයාව අඳුනනවා. එහෙම හිතුණෙ පාරෙ යන හැම කෙනෙක් එක්කම මෙයා වල්ගෙ වනලා ඔළුව නමලා හිනා වුණ හින්දා. පාරෙ යන අයත් මෙයාව දැක්කම මොනව හරි කියලමයි යන්නෙ. අඩුම තරමෙ මොකද බං කියලවත් අහනවා.‍

ඒ පාරටම තිබුණෙ එකම එක කඩයයි. පාර දෙපැත්තෙ පදිංචි අයට ඕනෑ දෙයක් ගන්න ඒ කඩේ තිබුණා. මේ බැල්ලිගෙත් ස්ථිර පදිංචිය තිබුණෙ ඒ කඩේ ළඟ. කඩේ මුදලාලි දාපු නම වෙන්න ඇති මෙයාට කිව්වෙ පොහොරි කියලා. පොහොරිට කඩේ මුදලාලි කන්න බොන්න දෙන්න පුරුදු වෙලා හිටියා. රෑටත් නවාතැන් ගත්තේ කඩේ ඉස්සරහ හින්ද මුදලාලි හිතන්න ඇති මෙයාගෙන් කඩේට ආරක්ෂාවත් ලබා ගන්න. එයාට කන්න බොන්න නං අඩුවක් වුණේ ම නෑ. අහළ පහළ අය කඩේට ආවමත් මොනවා හරි අරං මෙයා ළඟින් තියලා යනවා. බනිස් ගෙඩියක්, ස්වීට් එකක්, බිස්කට් දෙක තුනක් සමහර අය පඩි දවසට වැඩිපුර මුදලක් තියෙන වෙලාවට යෝගට් එකක් එහෙමත් අරං දෙනවා.

මෙයාව දැක්කම කාට වුණත් ආදරයක් හිතෙනවා. ඒකට මුදලාලි කිව්වේ සිරියාවන්ත පාට කියලා. ඒකත් පෙර ආත්මෙක කරපු පිනක් වෙන්න ඇති. ඒ සිරියාවන්ත පාට තවත් වැඩි වුණා වල්ගෙ වනලා ඔළුව පාත්කරලා හිනා වෙන කොට. එහෙම හිනාවෙන කොට ඕනෑ කෙනකුට හිතෙනවා අතගාන්න. අතගාන්න බය හින්ද හුඟ දෙනෙක් කළේ කන්න මොනවා හරි අරන් දීපු එක.

ඔහොම ඉන්න අතරෙ මෙයාගෙ වෙනසක් පේන්න පටන් ගත්තා. ඒක අමුතු වෙනසක් නෙමෙයි. මේ ලෝකේ ඕනෑම ගෑනු ස‍තකුට වෙන දෙයක්. දරු සම්පත් බලන්න වාසනාව ලැබිලා. එහෙම වුණාම මනුස්සයින්ට විතරක් නෙමෙයි සතකුට වුණත් කවුරුත් වෙනදට වඩා ටිකක් හරි හොඳට සලකනවනෙ. ආදරේ කරුණාවත් වැඩි වෙනවා.

ඒ හින්දා වෙන්න ඇති කඩේ මුදලාලිත් මෙයාට වෙනසක් කරල තිබුණෙ. වෙනදා කඩේ ඉස්සරහ සිමෙන්තියෙ වැටිලා ඔහේ නිදාගත්තු මෙයාට කඩේ පැත්තක තිබුණ මඩුවෙ ගෝනි පඩංගුවක් එහෙම දාලා ටිකක් සැපට නිදාගන්න හදලා දීලා. ඉස්සර වගේ වැහි වෙලාවට හිරිකඩ එන්නෙත් නෑ. පිනී බාන්නෙත් නෑ. මඩුව ඇතුළට ඉස්සරහ ලයිට් එළි වැටෙන්නෙත් නෑ.

ටික දවසක් යනකොට කඩේට යන එන අයත් මුදලාලිගෙන් වෙනද අහපු නැති කාරණයක් අහන්න පටන් ගත්තා. ඒ පොහොරිට පැටවු හම්බ වුණාද කියලා. කන්න මොනවා හරිත් කෙ‍ෙඩන් අරන් මඩුව ඇතුළට දාලා ගියා. සමහරක් ගෙදරින් බතුත් ගෙනත් දුන්නා.

දවසක් උදේ මුදලාලි කඩේ අරින්න ඇවිත් බලන කොට පොහොරිට පැටවු හම්බ වෙලා. හතර දෙනෙක්. මුදලාලිට පුංචි සතුටකුත් ඇති වුණා. ඒ එක්කම දැන් බල්ලො පස්දෙනකුට මොකද කරන්නෙ කියලත් හිතුණා. ටික දවසක් යද්දි පැටවු ටික ටික ලොකුවෙලා එහෙ මෙහෙ දුවන්න පනින්න පටන් ගත්තා. කඩේට ආපු අය පොහොරිට කන්න අරන් දෙන කොට වෙනදට වඩා යමක් අරන් දුන්නා. පුංචි එවුන් ආවම බිස්කට් අරන් කුඩු කරලා පැටවු ළඟින් දැම්ම උන් කයිද කියලා බලන්න. උන්ට තවම කන්න බැහැ.

දවසක් වෙච්ච දේ පාරෙ කාටත් ඉවසගන්න බැරි වුණා. කවුරුත් හරියට දුක් වුණා. පොහොරි පාරෙ ගිය වාහනේකට යටවෙලා එතනමයි. මුදලාලිටත් හරි දුකයි. වරුවක් කඩෙත් වැහුවා. අවට අයටත් දැනුණේ තමන්ගෙ කෙනෙක් නැති වුණා වගේ. මුදලාලිට දුක විතරක් නෙමෙයි තවම කිරි බොන පැටවු ටිකට මොකද කරන්න කියලා කල්පනාව. උන්ට යමක් කන්නත් බැහැ. කිරි ටිකක් පොවන්නත් බැහැ.

අපව අයත් මුදලාලිගෙන් ඇහුවෙ පැටවුන්ට මොකද කරනේනෙ කියලා. ඒ වෙලාවෙම ඒ ළඟම තාප්පෙකින් වටකරලා ලොකු ගේටුවකුත් දාලා තිබුණු බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු කියලා බෝඩ් එකකුත් ගහලා තිබුණ ගෙදරක මහත්තයෙක් ආවා. ඒ මහත්තයා කිව්වා අපේ ගෙදර හදන පොමනේරියන් බැල්ලිට පැටවු හම්බ වෙලා. මේ පැටවු හතර දෙනා ඒකි ළඟට ගෙනිච්චොත් කිරි දෙන්න පුළුවන් කියලා. කවුරුත් ඒ මහත්තයා දිහා බැලුවෙ ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක් දිහා බලන විදිහට.

කවුරු කවුරුත් එකතු වෙලා පැටවු හතර දෙනාව ඒ අම්ම ළඟින් ගෙනිහින් තිබ්බා. ඒ අම්මත් අකමැති බවක් පෙන්නුවෙ නෑ. මුලදි ඉව කරලා බැලුවා. තමන්ගෙ පැටවු නෙමේ කියලා දන්නවනේ. පැටවුන්ට තිබුණ බඩගින්නෙ තරමට උන් කවුද කියලා බල බල හිටියෙ නෑ. පැනපු ගමන් කිරි බොන්න පටන් ගත්තා. පැටවු කිරි උරන කොට දරු සෙනෙහස මතුවීම ඕනෑ ම ජීවියකුට පොදු හින්දද කොහෙද මේ අම්මත් එක කකුලක් උස්සලා ඔළුවත් බිමට තියා ගත්තේ ටිකක් දිගහැරිලා හතර දෙනාට ම පහසු වෙන විදියට.

එයාගේ පැටවු දෙන්නා ඈතට වෙලා බලා හිටියා. තරහ යන්නත් ඇති. දුක හිතෙන්නත් ඇති. අපේ කිරි ටික බොනවා කියලා. ‍බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු කියලා බෝඩ් ගහලා තියෙන ගෙවල් ගැන අලුතෙන් හිතන්න මේ සිද්ධිය මාව පෙළඹේව්වා