කිසිම අනුස්මරණයක් නැති ‘පෙට්ටි කඩ’ ලේඛකයා

ශ්‍රී ලංකාවේ වැඩිම පොත් සංඛ්‍යාවක් ලියූ ලේඛකයා කවුද?

ඩීමන් ආනන්ද

කලකට ඉහත ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ලේඛකයා කවුද?

ඩීමන් ආනන්ද

ඒ ප්‍රශ්න දෙකට තවත් අලුත් ප්‍රශ්නයක් එකතු කරන්න මා කැමැතියි. ඒ මේ අයුරින්. අපේ රටේ අනුස්මරණයක් නැති එකම එක ලේඛකයා කවුද?

ඒත් ඩීමන් ආනන්ද.

අනුස්මරණයක් කෙසේ වෙතත් ඩීමන් ආනන්ද ජීවතුන් අතර සිටියදී පවා ඔහු ගැන කිසිදු ඇගැයීමක් කෙරුණේ නැහැ. කොටින්ම ඔහු උන්නද මළාද කියලවත් හොයන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නැහැ. ඊට හේතුව ඔහු ‘පෙට්ටිකඩ ලේඛකයෙක්’, ‘පේමන්ට් ලේඛකයෙක්’ ලෙස ගර්හා කෙරුණු නිසා වෙන්න පුළුවන්. (ඩීමන්ගේ පොත් බොහෝ විට විකුණුණේ පෙට්ටි කඩවල හා පදික වේදිකාවේ.)

ඩීමන් හැඳින්වෙන්නේ ‘මාරක කතා චක්‍රවර්ති’ යනුවෙන්. ඒ; ඔහු වැඩි වශයෙන් ලිව්වේ ‘මාරක කතා’ වන නිසා. ‘මාරක කතා’ ලෝක සාහිත්‍යයේ වෙනම ම වර්ගීකරණයක්. මෙම සාහිත්‍යාංගය ගැන අපේ රටේ තියෙන්නේ අවඥාසහගත පිළිගැනීමක් බව පෙනෙන්නට තිබෙනවා. ඒක වැරදි දෘෂ්ටියක්. විවිධ වර්ගයේ සාහිත්‍යාංග අපිට අවශ්‍යයි.

ඩීමන් මෙන් විචාරකයන්ගෙන් බැණුම් අහපු ලේඛකයෙක් තවත් නැති තරම්. සාහිත්‍ය සම්මන්ත්‍රණවල දී තමන්ට බණිනකොට ඩීමනුත් කරන්නේ තමන්ට විරුද්ධව අත්පුඩි ගහන එක. ඒත් කවුරුවත් දන්නෙ නැහැ, මේ අත්පුඩි ගහන මනුස්සයා තමයි ඩීමන් ආනන්ද කියලා.

විචාරකයෝ බැන්නාට ඩීමන්ගේ පොත්වලින් පාඨකයන්ගේ මනස දූෂණය වුණේ නැහැ. ඔහු මැව්වෙ අයුක්තියට, අසාධාරණයට එරෙහිව යන චරිත. ඒ පොත්වල ලේ සෙලවීම් තිබුණා වෙන්න පුළුවන්. ඒත් අන්තිමේට කියන්නේ වැරදි කළ අයට දඬුවම් විඳින්නට සිදුවන බවයි.

ඩීමන් පොත් ලිව්වේ ආසාවටවත් කීර්තියක් අත්පත් කර ගන්නටවත් ලංකාවේ වැඩිම පොත් සංඛ්‍යාවක් ලියා වාර්තා පිහිටුවන්නටවත් නෙමෙයි. ජීවත්වෙන්න. ගෙදර කිරිපිටි ඉවර වුණාම ඔහු කළේ කඩිනමින් පොතක් ලිවීමයි. එක රැයින් ඔහුට පොතක් ලියා හමාර කිරීමේ සුවිශේෂ හැකියාව තිබුණා. ඒ බව මට කිව්වේ කාලයක් ඔහුත් එක්ක එකම බෝඩිමේ හිටපු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු.

ඩීමන්ගේ පොත් ලිවීම නිසා එමඟින් යැපුණු තවත් පිරිසක් හිටියා. ඒ මුද්‍රණවල අකුරු අමුනන්නන්. (වර්ණ සංයෝජකයන්) අපි සාමාන්‍යයෙන් ඔවුන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ කොම්පොසිටර්ස්ලා කියලා. ඩීමන් පොතක් අරන් එනකම් ඔවුන් මුද්‍රණාල දොරකඩට වෙලා බලන් ඉන්නවා. ඩීමන් ආවොත් විතරයි ඔවුන්ට දවසේ පඩි ලැබෙන්නේ. තවත් දවස්වලට ඩීමන් එක එක මුද්‍රණාලවලට ගිහිල්ලා තමන්ගේ පොත්වල ඉතුරු කොටස් ලියනවා. මේ කරුණු මම දන්නේ ඒ ඔක්කොම ඩීමන් මට කියලා තිබෙන බැවින්.

ඩීමන්ගේ පොත් හුඟක් පළ කළේ මරදානේ ලිංගම් පොත් හල. ඒක පොඩි පෙට්ටි කඩයක්. එල්පින්ස්ටන් රඟහලත් සෝමා කැෆේ එකත් අතර මේ පොත් කඩේ පිහිටා තිබුණා මට මතකයි. එම්. එස්. ලිංගම් එහි අයිතිකරු. ඔහු ඩීමන් නිසා සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණා. ඊට කෘතගුණ පළ කරනු වස් ඔහු මේ පොත්හල පසුකලෙක ‘ආනන්ද පොත්හල’ කියා වෙනස් කළා.

මේ විදියට ඩීමන් පොත් 1008 ක් ලිව්වා. ඒ අනුව ඩීමන් අපේ රටේ බිහිවුණු එකම ප්‍රොලිෆික් (Prolific) රයිටර්. ඩීමන්ගේ එකම වෘත්තිය වුනේ ලේඛනය. ඔහු ජීවිතයේ එකම එක වතාවක් විතරයි වෙනත් රස්සාවක් කරලා තියෙන්නේ. ඒ වරාය ගොඩ කරන ප්‍රංශ කොම්පැණියක ස්ටෝ කීපර් කෙනෙක් විදියට. ඒත් දවස් දෙකයි.

ඩීමන්ගේ පොත් ගැන කිසිදු ඇගැයීමක් සිදු නොවුණු බව මම මීට කලිනුත් කිව්වා. ඔහු ගේ පොත්වල ප්‍රධාන චරිතය වුනේ ඩිකී වීරකෝන්. ඔහු රහස් පරීක්ෂකවරයෙක්. හරියට ඉයන් ෆ්ලෙමින්ග් මවපු ජේම්ස් බොන්ඩ් වගේ. හැබැයි ඉයන් ෆ්ලෙමින්ග් ඒ චරිතය ඔස්සේ කොමියුනිස්ට්වාදයට එරෙහි මතවාදයක් ඉදිරිපත් කරමින් ධනවාදයට සේවය කළා. නමුත් ඩීමන් ඩිකී වීරකෝන් මඟින් කළේ අමෙරිකානු සී.අයි.ඒ එක විවේචනය කිරීම. ඔහු එහිලා ප්‍රකට කළේ අධිරාජ්‍යවාදයට, ධනවාදයට එරෙහි ප්‍රගතිශීලි දෘෂ්ටියක්. මේවා අපේ සාහිත්‍ය විචාරකයන්ගේ අවධානයට යොමු නොවුණු දේවල්.

මේ වගේ දෘෂ්ටියක් ප්‍රකට කරන්න ඩීමන්ට ඉවහල් වුණේ ඔහු දේශපාලනමය වශයෙන් සමසමාජකාරයෙක් වීමයි. හාර ලක්සෙ මංකොල්ලයේ ප්‍රධාන මොළකරු වුණු ජේම්ස් සෙනෙවිරත්නට අයත් මිනී පෙට්ටි සාප්පුවක් එකල වැල්ලම්පිටිය හන්දියේ තිබුණා. මේ මංකොල්ලයට සම්බන්ධ රාජපක්ෂ වෙද මහත්තයා, රූපානන්ද වගේම ඩීමනුත් ඒකට ආවා ගියා. ඒ හුඟක් සමසමාජ රහස් සාකච්ඡා තිබ්බෙ එතැන නිසා. ඩීමන් මට කියලා තියෙන විදියට එන්. එම් ලා, කොල්වින්ලා, ලෙස්ලි ගුණවර්ධනලා පවා ඔය මිනී පෙට්ටි සාප්පුවට ඇවිත් තියෙනවා. (හාර ලක්සෙ මංකොල්ලය ගැන වෙනමම තීරු ලිපියක් මං ළඟදිම ලියනවා.)

“පනස් තුනේ හර්තාලය වෙලාවේ කන්දසාමිට වෙඩි තියන කොට මම එතැන. ආචාර්ය එන්. එම්. පෙරේරාව වෙඩි නොකා බේරලා යැව්වේ අපේ වත්තෙ කට්ටිය.”

ඩීමන් දවසක් මාත්තෙක්ක කිව්වා.

ඩීමන් එකල හිටපු පාතාල ලෝකයේ ‘අයියලා’ වත් හොඳට ආශ්‍රය කරලා තියෙනවා. මරදානේ චොප්පේ, හැරී හර්මන්, ටොම් මහත්තයා කියල හිටපු අංක එකේ ගණන් කාරයෝ.

“අපි එකට රාග බෝල ගහපු අය.”

ඩීමන් ඔවුන් ගැන කියද්දි ඒ තොරතුරුත් අපිට දක්වනවා.

“ඒ කාලේ හිටියේ ඔරිජිනල් චණ්ඩි. දැන් වගේ හාල්පාරුවෝ නෙමෙයි. දැන් ඉන්නේ දේශපාලනඥයන් වෙනුවෙන් කුලියට මිනී මරණ අයනේ.”

ඩීමන් තවදුරටත් කිව්වා.

ඩීමන් පදිංචිවෙලා හිටියේ වැල්ලම්පිටියේ බ්‍රැන්ඩියාවත්තේ. පුවත්පත් සම්මුඛ සාකච්ඡා සඳහා මා අවස්ථා ගණනාවකදීම ඔහු මුණගැසී තිබෙනවා. ඒ වනවිට ඩීමන් ලේඛන කලාවෙන් ඉවත්වෙලා ව්‍යාපාරික කටයුතුවල නිරතව හිටියා. වෙසක් කාඩ්, කැලැන්ඩර් මුද්‍රණය තමයි ඔහු කළේ.

“දිගටම පොත් ලිව්ව නම් අද මං හිඟන්නෙක්.”

ඩීමන් දවසක් මාත්තෙක්ක කිව්වා, තමන් ලියපු පොත්වලින් ප්‍රකාශකයන් සල්ලි හම්බු කළාට තමන්ට ලැබුණේ සොච්චම් කර්තෘ භාගයක් පමණක් බවයි ඔහු කිව්වේ.

ඩීමන් ලියපු පොත්වලින් එක පිටපතක්වත් ඔහු ළඟ තිබුණේ නැහැ. අවුරුද්දකට සැරයක් එන ගංවතුර නිසා ඒවා විනාශ වුණා කියලයි ඔහු කිව්වේ. ඩීමන් ගේ පොත් රාජ්‍ය ලේඛනාගාරයේත් සුරක්‍ෂිතව නැහැ. ඊට හේතුව නුවරඑළියේ තිබුණු රාජ්‍ය ලේඛනාගාරය කොළඹට ගෙන එද්දි ඔහුගේ පොත් ලොරිවලට පටවපු ඩ්‍රැයිවර්ලා, ක්ලීනර්ලා ඒ පොත් සොරකම් කිරීම.

ඩීමන් අන්තිම කාලෙදි අලුත් මාරක කතා පොත් කීපයක් ලියා පළ කළා. ඒත් ඉස්සර තිබූ ඉල්ලුම මේ අලුත් පොත්වලට තිබුණේ නැහැ. පෘථිවිය චලනය වන බව ඩීමන් එදා මුලදිටත් වඩා හොඳින් තේරුම් ගන්න ඇති.