කොහා සමඟ ගිය අවුරුදු සාප්පු සවාරිය

හැම අවුරුද්දක ම වගේ මේ අවුරුද්දෙත් මාර්තු මාසේ අන්තිම සතියෙ දවසක උදැහැනැක්කේ ඇහෙන කුරුලු සද්දවලට අමුතු කටහඬක් එකතු වෙලා තිබුණා. කුහූ....කුහූ....කියලා කෑගහන අරුමෝසම් කුරුල්ලට මේ අවුරුද්දෙත් අපිව මතක් වෙලා කියලා මට හැඟුණා. මම කුලී ගෙදර උඩ තට්ටුවෙ ජනේලේ ජනෙල් කූරු අතරින් අමාරුවෙන් එබිලා අරුමෝසම්කාරයා දිහා බැලුවා. වෙන අවුරුදුවල කුලියට ගන්න අඹ ගහ වෙනුවට එයා මේ අවුරුද්දේ එහා වත්තේ අලිගැටපේර ගහ කුලියට අරගෙන තිබුණා.

“ආ...කාලෙකින්නේ මේ පැත්තේ ආවේ...කොහොමද ඉතින්? කියලා මම කොහාගෙන් ඇහුවා. වෙන අවුරුදුවල නම් මම එහෙම ඇහුවම එයා “කුහූ ....කුහූ...කියලා තව දෙපාරක් කියලා ආඩම්බරෙන් අහක බලා ගන්නවා. ඒත් පුදුමෙකට වගේ එයා මේ අවුරුද්දේ මාත් එක්ක කතා කළා. අහ්හ්...අවුරුදුත් අරගෙන ආවා ඉතින්..කියලා ඕනවට එපාවට වගේ කිව්වා. කොහෙක් කතා කරනවා කියලා පිළිගන්න බැරි වුණාට එයා අපේ භාෂාවෙන් කතා කරමින් හිටියා.

නැත්නම් මට එහෙම දැනෙමින් තිබුණා. "ඔයා ඉතින් අපේ සංස්කෘතියට අනුව වැදගත් කුරුල්ලෙක් නේ.... "කියලා මම කිව්වා . එයා මුකුත් නොකිය ආයේමත් පාරක්, කුහූ...කුහූ...කියලා එයා ආව විත්තිය ළඟපාත හැමෝට ම කිව්වා.

“සංස්කෘතිය කියන්නේ මොකද්ද?” කියලා එයා මගෙන් ඇහුවේ ටිකක් වෙලා ඉදලයි. ඇයි අනේ මෙච්චර පුරුදු කාරයෙක් වෙලා ඒකවත් දන්නේ නැද්ද? සංස්කෘතිය කියන්නේ අපේකමට. දැන් බලන්න අවුරුද්දට නැකතට වැඩ අල්ලන එක, ළිප බැඳලා ගිනි මොලවන එක, නෑගම් යන එක, අවුරුදු සෙල්ලම් ඔක්කොම ඉතින් අපේ රටේ සංස්කෘතිය තමයි කියලා මම කිව්වේ කොහාගේ නොදන්නාකම ගැන හිත යටින් හිනාවෙන ගමන්.

“හ්ම්ම්...ඉස්සර නම් ඉතින් ඔයවගේ දේවල් අනන්තවත් තිබුණා. දැන් නම් ඉතින් එහෙම දෙවල් දකින්නෙත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේනේ කියලා කොහා කිව්වා. ඔය ගම් පළාත්වල නම් ඉතින් තාම ඕවා කෙරෙනවා ඇති මම ඉතින් කොළඹ රටේ ඉන්න කොහානේ. කොහා නවත්තන්නේ ම නැතුව කතා කරගෙන ගියා. මේ ඒක නෙමෙයි, මට ආසාවට ටිකක් ඉදගෙන ඉන්න එරබදු ගහක් හොයාගන්න බැරිවෙයිද? මම මේ ටිකේ ම හෙව්වා හොයාගන්න නෑනේ...කියලා නෝක්කාඩුවට වගේ මගේ දිහා බැලුවා.

මම ඉතින් එරබදු ගස් කොහෙන් කියලා හොයන්නද? ඇත්තටම කාලෙකින් එරබදු ගහක් දැක්කෙත් නෑනේ කියලා මට මතක් වුණා. කොහොමින් කොහොමින් හරි අලිගැටපේර ගහට වෙලා ඉදගෙන නිකම්ම නිකම් “කුහූ...කුහූ...කිය කියා ඉන්න තියෙන කම්මැලිකම හින්දදෝ මන්දා එදා මාත් එක්ක අවුරුදු සාප්පු සවාරිය යන්න එන්නත් එයා කැමති වුණා. ඇත්තට ම නම් මාත් එක්ක එන්න ද කියලා මගෙන් ඇහුවේ කොහාමයි. මම ඉතින් “හා" කියලා කියුවේ ඔහේ තොරතෝංචියක් නැතුව කියවන අරුමෝසම්කාරයා නිසා මගේ පාළුත් මැකෙයි කියලා හිතලයි.

සාප්පු සවාරිය පයින් ම යන්න අපි දෙන්නම තීරණය කළේ ඒකෙන් ලැබෙන සතුට හදවතින් ම විඳගන්න ඕන නිසයි. හරියට ඉර මුදුන් වෙලත් නොතිබුණට මොකද ඇඟ පිච්චෙන තරමට රස්නෙයි. පාරෙ සෑහෙන්න මිනිස්සු. තාම සාප්පු ඇරලත් නෑ. සාප්පු ළඟ පේළියට හිටගත්ත සෙනඟ සාප්පුවල දොර අරිනකල් බලාගෙන ඉන්නවා.

අපිත් ඔය පෝළිමක හිටගෙන ඉමු කියලා මම කියුවා. "අපෝ මෙච්චර සෙනඟ...මෙයාලා හරියට අවුරුද්ද පුරාම ඇදුම් දැකලා නෑ වගේනේ..."කියලා කොහා කිව්වේ වට පිටාවේ හැමෝටම ඇහෙන්නත් එක්කයි. මට ලැජ්ජා හිතුණා. කොහා දිහා ඔරවලා බැලුවා. එයා මාව ගණන් ගත්තෙ නැති විදිහට හිටියා.

සාප්පුව ඇරපු ගමන් මිනිස්සු ඇතුළට යන්න පොරකෑවේ හරියට ගංවතුර සහනාධාර දෙන තැනකට රැස්කකා යන අනාථ වෙච්ච මිනිස්සු වගේ. කොහොමින් කොහොමින් හරි ඇතුළට ගියා කියමුකෝ. හැමෝම එකිනෙකා තල්ලු කරමින් තමන්ට ගැළපෙනවා කියලා හිතෙන ඇදුම් අරගත්තා. ණය කාඩ්පත්වලට නානාවිධ වට්ටම් ලැබෙනවා කියලා සාප්පුවේ ඉස්සරහම ලියලා තිබුණා. මට ණය කාඩ්පත් නැති එක ගැන මට දුක හිතුණා.

ලබන අවුරුද්ද දිහාටවත් එකක් ගන්න ඕන" කියලා මම කොහාට කියුවේ නිකමටයි. "ඔහේලගේ සංස්කෘතියට අනුව නම් ණයට කනවා කියන්නේ ලැජ්ජවෙන්න ඕන කාරණාවක්..." කොහා මට සංස්කෘතිය ගැන මතක් කරලා දුන්නේ මගේ දිහා බලලා සමච්චල් හිනාවකුත් පාමිනුයි.

සමහර සේල් පොළවල ඇදුම් ලාබයි තමයි, ඒත් පෝලිම් සෑහෙන්න දිගයි. රෙදි මල්ලක් අතින් අරගෙන පෝලිමක හිටගෙන හිටපු ගෑනු කෙනෙක් කලන්තේ දැම්මේ මගේ ඇස් ඉස්සරහමයි. වතුර ඉහලා සිහිය ගත්තට පස්සේ ස්තුති කරපු එයා පෝලිමේ ඉන්නේ නැතුව තවත් ඇඳුම් ගන්න එතනින් නික්මිලා ගියා. අනේ කාලේ වනේ වාසේ” කියලා කොහා හෙමීට කිව්වා. මම මුකුත්ම නොකියා හිටියා.

කිරි දරුවො කර පින්නා ගත්ත අම්මලා කාෂ්ඨක අව්ව නොතකා සාප්පු ගානේ ඇවිදිමින් හිටියා. දරුවන්ට මහන්සියට නින්ද ගිහින් තිබුණා. රටේ අනාගතය අහේතුකව දුක් විඳිනවා දැකපු කොහා, කුහූ...කුහූ..." කිව්වේ හිතට දුකක් දැනුණු නිසා වෙන්න ඇති කියලා මට හිතුණා.

එක සාප්පුවක් ඉස්සරහ රතු පාට මල් පිපුණු හුරුබුහුටි එරබදු ගහක් තිබුණා. කොහා ඒ දිහාට පියාඹලා ගියාට මොකද ගිය පයින් ම ආපිට ආවා. "ඇයි මොකද? ඒ ගහේ වෙන කොහෙක් ඉන්නවද?" කියලා මම ඇහුවා. "නැත්තෙ මොකද? රෙදිවලින් හදපු කොහෙක් ඉඳගෙන ඉන්න ඒ එරබදු ගහ බොරු එකක්... " කියලා අරුමෝසම්කාරයා මගේ කණට කරලා කිව්වා. මටත් සමච්චලේට හිනාවෙන්න අවස්ථාවක් ලැබුණා.

අවුරුදු සාප්පු සවාරිය අහවර වුණේ හිස් පසුම්බියකුත්, දරාගන්න බැරි තෙහෙට්ටුවකුත් ඉතිරි කරමිනුයි. ඒ වුණත් අවුරුද්දට ගත්ත ඇඳුම් කැඩුම් දෙන්නත් එක්ක කුලීගෙදර අයිති කාර ගෙදරට නෑගම් ගියේ ඒ අය සමඟ හොඳ හිත පවත්වාගැනීම බොහොම වැදගත් කියලා හොඳටෝ ම දන්න නිසයි.

“ආ ඔයාලා මේ අවුරුද්දේ මෙහේද? අපි නම් ඉතින් පුතාලා ඉන්න රටට යනවා. එයාලට ඉතින් නිවාඩු මේ කාලෙටනේ" කියලා ඒ ගෙදර ආන්ටි කිව්වේ අතරින් පතරට ඉංග්‍රීසි වචන කිහිපයකුත් යොදාගෙනයි. "එතකොට අවුරුදු චාරිත්‍ර?" කියලා මම ඇහුවේ ඉබේට ම මට ඒ ගැන මතක් වුණු නිසයි. "අයියෝ...ඒවා නම් ඉතින් කවදා කරගන්න බැරිද? ඒ වුණත් ඉතින් මේ වගේ නිවාඩුවක් ලැබෙන්නේ කලාතුරකින්නේ.." කියලා ආන්ටි කිව්වා.

කොහා අලිගැටපේර අත්තේ ඉඳගෙන පළාතට ම ඇහෙන්න “කුහූ...කුහූ..." කියනවා මට ආයෙමත් ඇහුණා.