නෙතු සරසන වසත් සිරිය

මේ සතියේ ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ වෙනුවෙන් ලියන්නට යමක් හිතට නොනැඟී මම ළතැවුණෙමි. පරිසරය මලින් බර කළ, ඉර රැස් උවමනා තරමට පොළොව රිසි සේ සිඹින්නට ඉඩ දෙන වසන්තය මා අමුතු ලොවකට කැන්දවූවා සේ ය. සති කීපයකට පෙර හිමෙන් වැසි සීත සෘතුව නිමා වී ගෙන එළඹෙන වසන්තයේ මුල් නිමිති ලඟ මා නො ඉවසිල්ලෙන් කවි කුරුටු ගෑමී.

‘රෑක වට වැස්සකට පසු දින

එබී කිරි දලු බලන වට පිට

පසු කරද්දි ඇසේ හිමිහිට

‘පොළව සුවඳයි’ කියන්නේ

මල් පිපෙන්නට ඕනේ ගානට

බේරි බේරි වැටී ඉර රැස්

හීන් හුස්මක් ලය පුරද්දී

සියලු දොම්නස් පලා යේ

ඊයේ ඉපදුන කුරුලු පැටියෙක්

ගෙයක් ඇතුළෙන් කෑ ගසද්දී

සීත කාලය කියා සෘතුවක්

තිබුණා දැයි අමතකව යේ’

සමහර විටෙක කුඩා මාවතක ඇවිද යද්දී නැවතත් උපත ලද්දකු සේ මට හැඟේ. පොළොව, හදිසියේ මුණ ගැසුණු සමීප හිතවතකු වාගේ ඉන් මිදෙන්නට ඉඩ නොදෙද්දී ලියන්නට ඕනෑවටත් වඩා කාරණා සිත පිළිසිඳ යුතු නොවේදැයි මට සිතේ. එනමුදු ටික කලක් පමණක් විඳින්නට ඉඩ ලද සොබා සුන්දරත්වයේ පතුළටම කිමිදෙන්නට මම ලොබ බඳිමි. ඇටමිදුලු දක්වා ඒ රස දැනෙන්නට ඉඩ හරිමි. ඒ මගේ ආගම උගන්වන ආකාරය නොවුණ මුත් පෘතග්ජන ගැහැනියක වන මා ඇස, කණ, වසත් අසිරියේ පිනා යෑමට ඉඩ හැර ඇතිමි.

නමුත් සිහිනයක් දකිද්දී එලාර්ම් ඔරලෝසුව වදින්නා සේ දිනමිණ බද්දරමල්ලට ලිවිය යුතු ලිපිය ගැන මතකයට නැඟෙයි. ඒ ලිවීම මා කරදරයක් සේ සලකන නිසා නොවේ. ලිවීම සිත පහදවයි. සතුට ගෙන දේ. මා ලියූ දේ කියව විටින් විට කෙනකු එවනා පණිවිඩ ආදරණීය ඒවා ය. ගුණ දොස් විමසන ඒවා මට මා ගැන මතක් කර දේ. එනමුදු වසරකට පමණක් විඳින්නට ඉඩ ලද වසන්තය, ගහකොළ, මල්, ඉර එළිය සහ කුරුල්ලන් ඇර සෙසු ලෝකය මට අමතක කරවන්නේ නම් එය සමාව ලැබිය යුතු වරදක් නොවන්නේ ද?

යමක් ගැන ලියන්නට සිත පොළඹවන හේතුව මට කිසි විටෙක පැහැදිලි කළ නොහැක. එහෙත් ලියන්නට හේතුවක් ලබාදෙන දිව්‍යඥානයක් පහළ වනතුරු බලා සිටීම මෝඩ කමක් නැතහොත් වේලාව කා දෑමීමක් ලෙස පළපුරුදු රචකයෝ කියති. මට මතක හැටියට මට නිර්මාණශීලී රචනය උගැන්වූ ගුරුතුමාගේ අදහස ද එය ම විය. “ලියන මනෝගතිය එනකන් ඉන්නේ නැතුව වාඩි වෙලා ලියන්න ගත්ත නම් තමයි හොඳ. නැත්නම් අන්තිම මොහොතේ පිස්සෙක් වගේ දඟළන්න වෙනවා” ඔහු කීවේ ය.

හැමදාම පුරුද්දක් හැටියට වෙන්කර ගත් වේලාවක යමක් ලියන ලෙස ද ඔහු අපට අවාවාද කළේ ය. පොත ලියන කාලයේ හැරුණු විට එලෙස මා පුරුද්දක් ලෙස යමක් ලියන්නේ නැත. මා ගුරුන්ගේ අවවාද නොපිළිපදින අකීකරු සිසුවියක් ද? සමහර විටෙක නොසිතනා මොහොතක කවියකට, කථාවකට රුකුල් දෙන අදහසක් නොදන්නා ලෝකයකින් වාගේ පහළවී මගේ කනින් ඇද හිස හොල්ලා ඇස්වලින් හිත තුළට ගොස් ලියන්නට බල කරන වේලාවල් ඇත. ගෙයින් පිට වෙන වැඩක යෙදී ඉද්දී හෝ විඩා බර දවසක නින්ද ළඟ දී එවැනි සිතිවිල්ලක් පහළ වී නම් ඒවා අමතක වී අපතේ යන අවස්ථා එමට ඇත. එවැනි මො‍ෙහාතක මට කවි ලියැන්නැයි ඇරයුම් කළ කෙනකුට මා මෙසේ ලියා ඇත.

‘සොඳුරු සිත

ඔබ සේ නොවේ මා ඇතුළත

විසිතුරු කමක් නොම වන

සියල් අවිශේෂ ය.

බත් පිසින අතරට

ඇඳිය යුතුවේ සැලසුම

සිඟාලෝවාදය

සහ ගිනි නොදෙනු පිණිසම

ඉඳහිට කුඩා වැස්සක

දර, පලා සොයන හවසක

මිමිණු මුත් සිත තාලෙට

කුමන කවි මම ලියමිද!’

අද හවස පුස්තකාලයට ගොස් එද්දී එවැනි කදිම කවි සංකල්පනාවක් ඇති වී මොහොතකින් නැති විණි. අපේ පුස්තකාලය ඉදිරිපිට වැඩිහිටි නිවාස සංකීර්ණයක් ඇත. එහි භූමියේ අලංකාර වසත් මල් පීදෙන ගස් වවා ඇත. ඒවායේ පිපි මල් පෙති සුළඟේ මල් වැස්සක් සේ වැටෙනු රථය පදිනා මට පෙනුණි. සුළඟ ඉන් මාවත මත පතිත පෙති ඉදිරිපිට වංගුවේ ඇදී යන රථ නිසා නැවත විසිරී යේ. අසල වැඩිහිටි නිවාස සංකීර්ණයේ විශ්‍රාම සුවයෙන් පසු වන්නෙක් ඒවා දෙස නිස්කලංකව කවුළුවකින් බලා සිටිනු ඇතැයි මට හැඟෙන්නට විය.

ඒ ගැන කවියක් ලියන්නට ඇති නම් එවෙලේ මට සිතිණි. නමුත් දරුවනට ක්‍රිඩා කිරීමට උද්‍යානට යන්නට උවමනා විය. අප එහි ගොස් ප්‍රීතී වීමූ. කුඩාවුන් කෙළෙදෙළෙන් පසු වන උයන ම කවියක් ය. පසු කවිය නිසා මට පෙර කවිය මට අමතක විය. සමහර විටෙක මේ වසන්තය මා සුබ සිහිනයක් සේ දකිනවා විය හැක. ‘මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න’ කියා නන්දා මාලනියගේ ගීතයේ වාගේ නො ඉල්ලමි. මා සමඟ ඔබ අවට ඇති දේ දකින්නැයි පමණක් ඉල්ලමි.