මෛත්‍රිය බිඳ දමන - වෛරයේ සිහිවටන

පහුගිය දවසක පුද්ගලික උවමනාවකට බණ්ඩාරවෙලට ගිහින් ආපු යෙහෙළියක් මට දුර ඇමතුමක් දුන්නා. “ අපිට බදුල්ලෙදි මුණ ගැහුණු යාළුවෙක්, ආගිය තොරතුරු කතා කරල ඉවරවෙලා එන්න හදද්දි අපි හැමෝම දන්න, ඒ වුණත් නොදන්නවා වගේ ඉන්න දෙයක් ගැන එයාගේ අදහස් ප්‍රකාශ කළා. ඔයාට ඒ කතාව වැදගත් වෙයි, අහල නිකම් ඉන්න නෙවෙයි. ලියන්න.” මම ඔබට ලියන්නෙ ඇය කියූ කතාව.

කලෙකික් ඇයට හමු වූ ඒ හිතවතා ඇයට මෙහෙම කියල තිබුණා “ ඔයාලා අහල ඇතිනේ නෙල්සන් මැන්ඩෙලා ගැන. මැන්ඩෙලා කියන්නෙ ලෝකේ හිටිය විශිෂ්ටම නායකයෙක්. මනුස්සයෙක් විදියට ඒ පුද්ගලයා කොච්චර දුක්වින්දද?. නිකම් නෙමේ තමන්ගෙ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්, කළු ජාතිය වෙනුවෙන්. අවුරුදු විසි හතක් හිරබත් කෑවා. ඒ හැමදේම ඉවරවෙලා දකුණු අප්‍රිකාවේ පළවෙනි කළු ජාතික ජනාධිපති වෙලා මොකක්ද කළේ?”

“තමන්ට හිරිහැර කරපු මිනිස්සුන්ගෙන් පළිගත්තද? ඒ මිනිස්සුන්ව එළවලා දැමිමද? නෑ, ඔහු එක දෙයයි කිව්වෙ. 'අපි වෙච්ච හැමදේම අමතක කරලා එක්ව නටමු' කියලා ඔහු සමස්ත අප්‍රිකානු ජනතාවගෙන්ම ඉල්ලා හිටියා. ඔහු වැඩ කළේ තමන් වෙනුවෙන් නෙවෙයි, රට වෙනුවෙන්. තමන්ගෙ ජීවිත කාලේ තියනකල් බලයේ ඉන්න කැමැත්තක් ඔහුට තිබුණෙ නෑ. බලයට කෑදරකම වෙනුවට පරිත්‍යාගශීලිත්වයත් එතුමාට තිබුණා. ඒකයි වටින්නේ. ඒත් අපි? අපි රටක් විදියට ජාතියක් විදියට මොනවද වපුරන්නෙ වගා කරන්නේ. වෙරයයි, ක්‍රෝධයයි නෙවෙයිද? දැන් බලන්න වතුර බාල්දියක ඉන්න කඩියෙක් කූඹියෙක් අයින් කරලා උගේ පණ බේරණ අය පහුගිය යුද්ධ කාලෙ අතිබිහිසුණු මතක එක්ක හැමදාම ජීවත්වෙන්න හදනවා. අරන්තලා භික්ෂු ඝාතනය සිදුවෙච්ච බස්රිය කෞතුකාගාරයක් කරලා. ඒක දැක්කම මිනිස් හිතක සාමයක් මෛත්‍රියක් ඇතිවෙනවද? නෑ . අපි හදන්නෙ වෛරයයි ක්‍රෝධයයි වපුරන්න, කරුණාකරලා පුළුවන්නම් නම් මිනිස් හිත්වල සාමය වගාකරවන්න මහන්සි ගන්න” මේක හිත රිදිච්ච මනුස්සයෙක්ගෙ එක ඉල්ලීමක්. ඔහු මගේ මිතුරියගෙන් එසේ ඉල්ලා තිබුණා.

ඒ ඔස්සේ මමත් කල්පනා කරන්න පටන් ගත්තා. කාලෙකට කලින් මුණගැහුණු උතුරු නැ‍ඟෙනහිර සේවය කළ සුවසේවකයෙක්ගෙ අත්දැකීම් ඔහු මට විස්තර කළෙත් මේ විදියටම තමයි නේද කියලා මට මතක් වූණා. “හරිම දුකයි ලිහිණියේ මෙහෙ තියන දේවල් දැක්කම. අපි මේ දවස්වල ඉන්නෙ කිළිනොච්චි‍යේ. අපි නැවතිලා ඉන්න ගෙදර හැම තැනම වෙඩි උන්ඩ වැදිච්ච තුවාල තියෙනවා. බිත්තිවල අගුරුවලින් ලේවලින් ලියපු දෙවල් තියෙනවා. සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම. භාෂාව විතරයි වෙනස්. අම්මල තාත්තල ගැන. ප්‍රේමවන්තියො ගැන, ආදරේ ගැන, ආයෙ ගෙදර යන්න පුළුවන්ද බැරිවෙයිද කියන එක ගැන, තමන් එක්ක එකට ඉඳල මැරුණු යාළුවො ගැන තමයි මේ හැමදෙනාම ලියල තියෙන්නේ. අපිට කන්න උයල දෙන දෙමළ අම්මා මේ බිත්තිවල සිංහලෙන් ලියාතියෙන්නෙ මොනවද අහනවා. දෙමළ තරුණයො ලියපුදේම සිංහලෙන් ලියා තියෙනව කිවාම ඒ අම්මගේ ඇස්වලින් අලුතින් කඳුළු කැට කඩා වැටුණා. සිංහලයි දෙමළයි හෝඩි දෙකම එකයි කියල දැනෙන්න සිංහල අයත් දෙමළ ඉගෙන ගත්ත දවසට. එදාට තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ ගිනි ගන්න හිත් නිවාදාන්න පුළුවන් වෙන්නේ.”

සංවේදි හිතක් තිබුණු කවියෙක් වෙච්ච මගේ මිතුරා, නාදුනන විප්ලවකරුවන් ගැන, සොල්දාදුවන් ගැන විතරක් නෙවෙයි අම්මල අප්පලා ගැන, මල්ලිලා, තංගච්චිලා ගැන එහෙම විස්සෝප වුණා.

අපේ ‍රටේ දේශපාලනඥයන් කවදා අතීතය අමතක කරයිද කියල හිතන්නවත් පුළුවන් කමත් තියෙනවද කියල මම මගෙන්න අහන්න හිතුවා. වෙන්න බෑ. එහෙම අතීතය අමතක කළොත් ආයිත් බලයට එන්න තුරුම්පුවක් හොයාගන්නෙ කොහොමද? මේ දවස්වල ඇහෙන නඩුටික ඉවරවුණාම හමුදා කදවුරුවලට, ගුවන්යානාවලට, සිවිල් බස්රථවලට ප්‍රහාර එල්ල කරපු අපරාධකාරයන්ට දඩුවම් දෙන්න පුළුවන්. අපි ශිෂ්ට සම්පන්න ජාතියක් කියල ලෝකෙට ප්‍රකාශ කළත් අපේ රටේ මිනිස්සුන්ට යුද්දෙ අමතක වුණොත් දේශපාලකයින්ව අමතක වෙන නිසා යුද්ධය අමතක කරවන්න කිසිම බලධාරියෙක් කැමතිවෙන එකක් නෑ කියලයි මට හිතුණෙ.

අපි ශ්‍රී ලාංකීය වෙන්නෙ කවද්ද? අනිකා වෙනුවෙන් අපේ මුවේ හිනාවක් පිපෙන්නේ කවද්ද ? හිනා බෝවෙන්න මනුස්සකම දැල්වෙන්න සියල්ල අතීතය වෙත වළදමා එක්ව නටන්න, එක්ව සිනාසෙන්න දිනයක්, අනිකා වෙනුවෙන්වූ දයාව කරුණාව අපේ හිත්වල ඇතිවෙන දිනයක් කවදා උදාවෙයිද කියල අහන්න කෙනෙක් වත් ඉන්නවා නම් කියලා මට හිතුණා.