නිල්ගල ගස් සඟසතු කරයි

ටොම්සන් මහත්තයා හොයා ගෙන පෙරේරා මහත්තයා ගෝල්පේස් පිට්ටනියට ආවේ මහත් කලබලයෙනි.

“ඇයි පෙරේරා මහත්තයා, මොකක් හරි කරදරයක් ද? ” කියලා ටොම්සන් මහත්තයා ඇසුවේ පරිප්පු වඩේ මල්ල බැම්මක් උඩ තබමිනි.

“එක අතකට කරදරයක් තමයි.... ටොම්සන් මහත්තයා අහලා තියෙනවද නිල්ගල වනාන්තරය... ”

“නෑ... මං අහලා නෑ... ඒත් නම නම් ලස්සනයි. දැන් ඒක කොහෙද තියෙන්නෙ...? ”

“තියෙන්නෙ බිබිලෙ ඉඳලා ඉඟිනියාගලට යන පාරේ...ඒක මහ විශාල වනාන්තරයක්... දැන් මෙතන කතා කර කර ඉන්න වෙලාවක් නෑ... මං යනවා අද ? බිබිලේ... ”

“ඒ මොකද පෙරේරා මහත්තයා... මේ හදිසියේ... ”

“හදිසියේ තමයි... ටොම්සන් මහත්තයා මාත් එකක් එන්න.. ඔය වඩේ විකිණිල්ල විතරක් හරි යන්නේ නෑ.. මේ රට තොටේ වෙන දේවල් දැන ගන්නත් එපායැ... අනික් එක ටොම්සන් මහත්තයා බිබිල පැත්තේ ගිහිල්ලත් නෑනේ... ටොම්සන් මහත්තයා ඔය වඩේ ටික විකුණලා ඉවර වෙලා එන්ඩ ? වෙලා එන්ඩ බස්ටෑන්ඞ් එකට... මං එතෙන්ට එන්නං...එහෙනං ඕං.. ? දහයට එතෙන්ට එන්ඩ... ”

ටොම්සන් මහත්තයා වඩේ ටික විකුණලා ඉවර වෙලා රෑ දහයට බස්ටෑන්ඩ් එකට ගියේ ය. පෙරේරා මහත්තයා ද පැමිණ සිටියේ ය. දෙදෙනා ම රෑ බසයෙන් බිබිල බලා පිටත් වූහ. ගමන සුන්දර ය. ඒත් වැස්ස නිසා දහඅට වංගුවේ ගල් පෙරළිලා ය. උදේ වෙන විට බිබිලට යන්ඩ පුළුවන් විය. ගමන නතර වුණේ බිබිලේ නාගල විහාරස්ථානයෙනි.

“ ටොම්සන් මහත්තයා දන්නවද? අපේ මේ සුමනසාර නායක හාමුදුරුවෝ... ඒ කියන්නේ වෙල්ලස්ස, බින්තැන්න, නැ‍ඟෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක බදුල්ලගම්මන සුමනසාර නායක හාමුදුරුවෝ... නාගල රජමහ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ... අපි එක කාලෙ තමයි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ..”

නායක හාමුදුරුවෝ බොහොම කරුණාබර ව සිනහසුණහ. පෙරේරා මහත්තයත්, ටොම්සන් මහත්තයත් එකත්පස්ව හිඳ ගෙන හාමුදුරුවෝ සමග කතා බහෙහි යෙදී හුන්හ.

“ අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ නිල්ගල ගස් මහණ කරනවා කියලා පත්තරේ දාලා තිබුණානේ... ” කියලා පෙරේරා මහත්තයා ඇසුවේ ය.

“ ඔව්, ඔව් පෙරේරා මහත්තයා, ඇත්තටම නම් නිල්ගල ගස් සඟසතු කරනවා... එතකොට ඒවා කපන්න කාටවත් බෑනේ.. පවු සිද්ධ වෙනවා.. සඟසතු කරපු දෙයක් ප්‍රයෝජනයට ගන්ඩ ගිහියන්ට බෑනේ.”

“ඒක නම් එහෙම තමයි අපෙ හාමුදුරුවනේ... දැන් මොකද ඔය නිල්ගල ගස්වලට එහෙම කරන්නේ... මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය.. ” කියලා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

“ මේ මහත්තයා එහෙම අහපු එකත් හොඳයි... නිල්ගල වනාන්තරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා නොදන්න අය තමයි, මේ වනාන්තරේ තියෙන ගස් කපා ගෙන ගිහිල්ලා විකුණා ගන්නේ.. මේවායේ ඉඩම් අල්ලා ගෙන පදිංචි වෙන්න හදන්නේ... මේ මහත්තුරු දන්නවද නිල්ගල වනාන්තරය. මේකට කියන්නේ නිල්ගල ඖෂධ වනාන්තරය.. ලංකාවේ නොයෙක් වනාන්තර තියෙනවා තමයි.. ඒත් ඖෂධ වනාන්තරයක් නෑ මේ වගේ... මේක සැවානා වර්ගයේ, වියළි සදාහරිත වනාන්තරයක්.. මුළු ප්‍රමාණය හෙක්ටෙයාර් දොළොස්දාහක්...වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි අයිති. මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල අඩවියට. ”

“ මට තේරුණේ නෑ අපෙ හාමුදරුවනේ... මොකක්ද මේ ඖෂධ වනාන්තරයක් කියන්නේ.. මොනවද ඒකේ වැවෙන්නේ... ” කියලා ටොම්සන් මහත්තයා ඇසුවේ නොදන්නා කමට ය.

“මේක අරළු, බුළු, නෙල්ලි වනාන්තරයක් නේ.. ඒ විතරක් නෙවෙයි. කුඩුම්බේරිය, ගම්මාළු, කෝන්, මොර වාගේ ශාක වර්ග මේ වනාන්තරයේ පිරිලා.. මානා කුකුළා, අළු වටු කුකුළා, බටගොයා, පතන් ඇටි කුකුළා, හිකනැල්ලා වාගේ විශේෂ සත්ව වර්ගත් මේකේ ඉන්නවා..ඉතින් මේකේ අගය නොදන්නා අය මේක විනාශ කරන්න හදනවා.. හදනවා නෙවෙයි විනාශ කර ගෙන යනවා. අපි කොහොමද මේක බලා ඉන්නේ. සංඝයා වහන්සේලා හැටියට අපිට රණ්ඩු සරුවල්වලට යන්ඩ බෑනේ.. ඒ හින්දා අපි මේ වනාන්තරේ සඟසතු කරනවා.. අපේ ආගමේ හැටියට අපට කරන්ඩ පුළුවන් හොඳම දේ ඒකනේ.. එතකොටවත් මේ වනාන්තරයේ අනාගතය උදෙසා ආරක්ෂා වෙයිද කියලා බලමුකෝ..”

“ දැන් ඉතින් කවුද අපෙ හාමුදුරුවනේ.. මේ වනාන්තරේ විනාශ කරන්නේ...’’

අපේ නායක හාමුදුරුවෝ අහක බලා ගෙන ටිකක් වේලා කල්පනා කළ සේක.

“ මං කොහොමද ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ... වැටත් නියරත් ගොයම කා නම් කාට කියමිද ඒ අමාරුව. මේකනේ මහත්තයා, දැන් මෙචචර කාලයක් වනාන්තරේ ඒ විදිහට ආරස්සා වුණා. ඉතින් බිබිලේ ඉඳලා ඉඟිනියාගලට යනකම් පාර කාපට් කරනවානේ.. ඉතින් දැන් මේක රහ වැටිලා.. මේක ජාතිය වෙනුවෙන් ආරක්ෂා කළ යුතු වනාන්තරයක් කියලා අමතක වෙලා..”

පහුවදා ටොම්සන් මහත්තයාත් පෙරේරා මහත්තයාත් එකතු වුණේ නිල්ගල වනාන්තරයේ ගස් සඟසතු කිරීමේ මහා පූජාවටය. ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාගෙන් නිල්ගල වනාන්තරය පිරී ගියේ ය. ඒ එක්කම මහා ගිහි සෙනඟකි. කහ පැහැති සිවුරුවලින් දවටා එක් එක් ගස සඟසතු කරන ලද්දේ ගාථා කියමිනි.

“ මගෙ ජීවත කාලයට මේ වගේ දෙයක් දැක්ක පළමු වතාව තමයි මේ.... මේවා තමයි අපේ සංඝයා වහන්සේලාගෙන් මේ රටට ඉටු විය යුතු යුතුකම්....දැන් බොහොමයක් සංඝයා වහන්සේලාට මේක මතක නෑනේ... ඒ උන්නාන්සේලා අද දේශපාලන ව්‍යාපාරවලට බැහැලානේ... ඒ අතින් අපේ සුමනසාර නායක හාමුදුරුවන්ට මේ රටේ ජනයා බුහුමන් කරනවා මදි. ” කියලා පෙරෙරා මහත්තයා කීවේ ටොම්සන් මහත්තයාට විතරක් ඇහෙන්නට ය.