එවන් පහන් සිළු දැල්වේවා මතු දා

අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන විට පසු විපරමක් කරන එක රටක හෝ සමාජයක ඉදිරි ගමනට බොහොම වැදගත්. ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් නොයෙක් හැල හැප්පීම් පසුගිය අවුරුද්දෙ අපට අසන්න දකින්න ලැබුණා. විශේෂයෙන්ම අපේ රට පැත්තෙන් බැලුවොත් අනාගත ගමනට හිතකර වගේම අහිතකර සමාජ දේශපාලන හා සංස්කෘතික සිදුවීම් ගණනාවක් ම කරළියට ආපු අවුරුද්දක් විදිහට 2013 හඳුන්වන්න පුළුවන්.

අපේ තීරු ලිපියෙන් විශේෂ අවධානයට ලක් වෙන්නේ ජාතික එකමුතුකමට එහෙමත් නැත්නම් වාර්ගික සුහදත්වයට බලපාන කරුණු නිසා ඒ ක්ෂේත්‍රයට අදාළ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව පොඩි කතාබහක් කෙරුණොත් හොඳය කියලා හිතුණා. ඒ වගේම අලුත් අවුරුද්දට මුල පුරද්දී මිතු දමේ පහන් සිළු දැල්වීමට දැරූ ප්‍රයත්න කිහිපයක් පිළිබඳත් තොරතුරු අපට දැනගන්න ලැබුණා.

2013 අවුරුද්ද හුඟක් ම වැදගත් වෙන්නේ ලොකු ආන්දෝලනයකට තුඩු දී තිබුණු උතුරු පළාත් සභා මැතිවරණය නිසාය කියා කියන්න පුළුවන්. ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර අර්බුදවලට විසඳුමක් වශයෙන් බව කවුරුත් දන්නවා. නමුත් රටේ අනිත් හැම පළාතකම පළාත් සභා පිහිටුවත් ප්‍රශ්නයට මූලිකව ම තුඩු දීපු උතුරු පළාතේ පළාත් සභාව පිහිටුවන්න බැරි වුණා.

තිස් අවුරුදු යුද්ධය නිමාවෙලත් අවුරුදු හතරක් විතර ගතවුණාට පස්සෙයි උතුරේ ජනතාවට නිදහස් මැතිවරණයකට සහභාගි වීමේ වරම ලැබුණේ. මුළු ලෝකයම මේ ඡන්දය දිහා ඇහැ ගහගෙන උන්නා. දෙමළ සන්ධානය මැතිවරණයෙන් ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. හිටපු මහාධිකරණ විනිසුරුවකු වන සී. වී. විග්නේස්වරම් උන්නැහැ මහා ඇමැති ධුරයට පත් වුණා. උතුරේ ආණ්ඩුකාරවරයා හැටියට වැඩ කරන හිටපු හමුදා නිලධාරියකු වන චන්ද්‍රසිරි උන්නැහැ ඉදිරියේ දිවුරුම් දීම පිළිබඳ ප්‍රශ්නයකුත් මතු වුණා.

ජාතික එකමුතුකමට හා වාර්ගික සුහදත්වයට හානි නොවන ආකාරයට මේ ගැටලු නිරාකරණය වීම ගැන සාම ලැදි ජනතාව සතුටු විය යුතු යි. දෙමළ සන්ධානය ඇතුළෙ ඩයස් පෝරාවත් එක්ක අත්වැල් බැඳගත්තු අන්තවාදීන් හිටියත් දකුණේ සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන විග්නේස්වරම් මහ ඇමැතිතුමා උතුරත් – දකුණත් අතර බෙදීමක් ඇතිවන තැනට වැඩ නොකරනු ඇතැයි මැදිහත් ජනයා තුළ විශ්වාසයක් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝනාගේ පැමිණීමත් 2013 වසරේ මතක සටහනක්. එතුමිය කරපු ඇතැම් ප්‍රකාශ වාර්ගික සුහදත්වයට හානිකරයි කියලත් තරමක උද්ඝෝෂණයක් මතු වුණා. මෙවැනි අවස්ථාවල දී රටේ පොදු ජනතාවගේ හැඟීම් අවුස්සන සමහර උදවිය කරපු උත්සහයන් පිළිබඳවත් සාම ලැදි ජන කොටස් එතරම් මනාපයක් දැක් වූයේ නැහැ.

2013 වසර අවසානයේ පැවති පොදු රදමඩුළු සමුළුවත් අපේ රට පිළිබඳව ලෝකයේ ඇස් යොමුවුණු අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. මෙහිදීත් අපේ රටේ වාර්ගික ප්‍රශ්නයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඊට විශේෂයෙන් ම බලපෑවේ එංගලන්ත අගමැති කැමරන් උන්නැහැ කරපු කියපු දේවල්. ඒත් එක්කම එහෙන් ආපු චැනල් හතරේ මාධ්‍යවේදීන් එක්කත් පටලැවිල්ලක් ඇති වුණා. යාපනේට යද්දී ඔවුන් ආපහු හරවා එවන්න පිරිසක් කටයුතු කළා. මේ සිදුවීම් ලෝක දේශපාලන හා මාධ්‍ය අංශවල විවිධ සංවාදවලට අදත් භාජනය වෙමින් තිබෙනවා.

මෑතකදීම ඇතිවුණු තවත් ප්‍රශ්නයක් තමා කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාදිකා සිත්සෙබෙයිසන්ගේ යාපනයේ චාරිකාව. ඇය ඩයස්පෝරාවේ නියෝජිතවරියක් ලෙස නිවාස අඩස්සියේ රඳවා සිටින බවට ප්‍රවෘත්තියක් වෙබ් අඩවියක පළ වී තිබීම නිසා ලොකු ආන්දෝලනයක් ඇති වුණා. අවසානයේ දී ඇයම ප්‍රකාශ කර සිටියා එසේ නොවුණු බව. නත්තල් දවස්වල සූරිය කුමාර් නම් තරුණයෙක් පැහැරගෙන ගිය බවට පැතුරුණු ආරංචියත් ඒ වගේ ම එකක්. සූරියකුමාර් පේදුරුතුඩුවේ සිය සොයුරියගේ නිවසේ සිටින බව පසුව තහවුරු වුණා.

2013 අවුරුද්දේ අපේ රටේ වූ ඒ සිද්ධි කිහිපය දිහා බලන විට පැහැදිලි වන්නේ විවිධ වර්ණවල කණ්ණාඩි දමාගෙන ප්‍රශ්න විග්‍රහ කරන්න යාමෙන් අනවශ්‍ය ගැටලු මතු වන ආකාරයයි. විශේෂයෙන් ම අද ඇති වී තිබෙන තොරතුරු තාක්‍ෂණයේ දියුණුව හරියට ම දැලි පිහියෙන් කිරි කනවා හා සමානව ප්‍රවේසමෙන් භාවිතා කළ යුතුය කියන කාරණයත් මෙහිදී මනා ලෙස ඉස්මතු වෙනවා.

2013 සිදු වූ එබඳු සිදුවීම්වල හොඳ නරක එසේ සටහන් තබද්දී 2014 ආරම්භයේ උතුරු නැගෙනහිර පළාත්වලින් අසන්න ලැබුණු සුබවාදී ප්‍රවෘත්ති කිහිපයක් පිළිබඳවත් සඳහන් කිරීම මැනවැයි කියා සිතුණා. අලුත් අවුරුදු උදාවත් සමගම නැගෙනහිර හමුදා අණදෙන මූලස්ථානය නැගෙනහිර වැසියන්ට තෑගි බෝග පිරිනමා සිත්ති විනයාගර් ස්වාමි කෝවිලේ ශ්‍රමදානයක් ද පැවැත් වූ අයුරු අසන්න ලැබීම සතුටට කරුණක්.

ඒ වගේම උතුරේ මුලතිව් ප්‍රදේශයෙත් යුද හමුදාවේ මැදිහත් වීමෙන් සමනලකුලමේ වැසියන්ට ආහාර ද්‍රව්‍ය මලු ප්‍රදානයක් කර තිබුණා. එසේම ඒ ගම්වල දරුවන්ට පොත් හා පාසල් ද්‍රව්‍ය පරිත්‍යාගයක් කිරීමටත් ඉදිරිපත් වූ බව සඳහන් වෙනවා. සාමකාමී රටක් ගොඩනැගිය හැක්කේ උතුරු නැගෙනහිර වගේම දකුණු කරයේත් ජනතාවගේ හදවත්වලින් සැක සංකා දුරු කර සහෝදරත්වයේ දෑත් එකට බැඳගැනීම තුළින් බව පසුගිය අත්දැකීම්වලින් අපි හොඳින් තේරුම් අරන් තිබෙනවා. මෙහිදී රටේ හමුදා ඇතුළු පොලිස් සේවයට කළ හැකි මෙහෙවර ඉතා විශාල බවත් අපි හොඳාකාරවම දන්නවා.

රටේ දේශපාලන නායකත්වය පක්‍ෂ හා පාට අමතක කර මෙවැනි කටයුතුවලට තවතවත් දිරි දීම වැදගත්.