අපි උණහපුළු පැටව් ද?

උණහපුළු පැටියා ලස්සන උගේ අම්මාටයි. ඒ ඌ ඇගේ පැටියා නිසාය. පැටියා හදිස්සියේ ම ‘මගේ මූණට මා කැමති නැත’ කියා උගේ නහය, ඇස්, කන් වෙනස් කරවා ගන්න උත්සාහ කරයි නම් ඒ දුක ද උගේ මාපියන්ට ය. නමුත් තමන්ගේ දරුවන් රූපය මදි යැයි කලකිරීමෙන් හා දුකෙන් පසු වෙන නිසා ශල්‍යකර්ම කරවා ඔවුන්ට රිසි වෙනස් රුව ලබා දීමට ඉදිරිපත් වන මවුපියන් අද ලෝකයේ ඇත.

තමන්ගේ රූපයට හෝ නමට අකමැති වීම වැඩෙන දරුවන් අතර ඇති සාමන්‍ය ගතියකි. ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීමත් සමග ම තරුණ වියට එළඹී තමන් කවුරුන්දැයි සොයා ගන්නට වෙහෙසෙන ආකූල සහගත අවධියක් පසු කරද්දි දරුවන්ට දුර නොපෙනේ. මත් ද්‍රව්‍ය භාවිතයට එළඹීම, ඉගෙනීම අතපසු වීම, යොවුන් ගැබ් ගැනීම ඇතිකර ගැනීම වැනි ඒවායින් දරුවන් වළක්වා ඔවුන්ට මඟ කියා දෙන්නට වැඩිහිටියන් සහ දරුවන් රැකීමට නීතී අවශ්‍ය වන්නේ ඒ නිසා ය. ඔවුන්ට දිනෙක මුහුකුරා ගොස් ආපසු හරී බලද්දී තමන්ගේ තරුණ විය අපතේ නොගිය තරුණකම පිරි එකක් බව සතුටින් දකින්නට ඉඩ ලෝකය විසින් සකස් කර දිය යුතුම ය.

තමන්ගේ රූපයේ අඩුපාඩු කම් නිසා පාසලේ දී විහිළුවට ලක් වීම හෝ බුලි වීමකට භාජනය වීම නැවත්වීමෙ පියවර ලෙස අමෙරිකාවේ සමහර දරුවෝ කොස්මෙටික් ශල්‍යකර්මවල පිහිට පතති. බුලි (bully) වීමෙන් ඇතිවන මානසික අසහන දරා ගත නොහැකි නිසා එලෙස ඉක්මන් විසඳුමක් සොයන්නට ඔවුහු පෙළඹෙති. මා වැඩෙද්දී මගේ කණ්ණාඩි පැලඳීම ගැන, සිහින් සිරුරක් හිමි වීම ගැන බොහෝ සේ විහිළුවට ලක් වුණි. ඇස් හතරක්, කණ්ණාඩි පොළඟා වැනි නම් කියමින් අපහසුතාවයට පත් කිරීමට නොයෙක් අය වග බලා ගත්තෝ ය. නමුත් එවැනි කරදර කරන්නෝ තමන්ගේ අඩුපාඩු වසා ගනු වස් අනුන්ට කරදර කරනා බව වටහා ගෙන එවැනි හිරිහැරවලින් නොවැටීමට දැනුවත් කරන්නට අපගේ දෙමව්පියෝ වග බලා ගත්තෝ ය.

දැන් නම් දන්නා අඳුන්නනෝ මා අම්මා වාගේ තාත්තා වාගේ කියද්දී ඒ මට ආඩම්බරයක්. එකල මා සිහින් එකියක වූයේ තරුණ කල අම්මා ද එසේ වූ නිසා මිස ඒ මගේ අඩුපාඩුව නොවන බව තේරුම් ගියේ මදක් මුහුකුරා ගිය විට ය. දැන් අපගේ දරුවෝ අපෙ කුඩා අනුරූ සේ දිස් වේ. මේ රුව අපේ ජීවිතවල රුව බව තරුණ කල නොවැටහේ. අම්මා තාත්තා දුන් නම ඉතාම සුදුසු වූ නම බව සමහරුන්ට තේරුම් යන්නේ ද පසු කලක ය.

ඉතින් තරුණ දරුවන්ට තමන්ගේ රූපය, සිරුර ගැන කලකිරීමක් ඇති වී නම් ඒ වෙනස් කිරීමට උත්සහ නොකර වැඩිහිටියෙක් වනතුරු ඉවසා ඉන්පසුව තීරණයක් ගැනීමක් සුදුසු නොවේදැයි මට සිතේ. ඔවුන්ට ලබා දිය යුත්තේ තමන්ගේ රූපයේ අඩුපාඩු කියමින් හිරිහැර කරන්නන්ට එරෙහිව නැඟී ඉන්නට මානසික ශක්තියකි.

සමේ පැහැය. උස කොට වීම. නහයේ - කනේ හැඩය, මහත, කෙට්ටු බව අල්ලා ගෙන පමණක් නොව; අඳ ගොළු බිහිරී අබාධ පවා අල්ලා ගනිමින් අනෙකාට හිරිහැර කරන අය ඇත. එයට විසඳුම් තමන් ගැන කළකිරීම නොවේ. හිරිහැර කරන්නන්ගේ මානසික අබාධය තේරුම් ගැනීම ය. උපතින් මුහුණේ සහ සිරුරේ ආබාධ ඇතිව ඉපදෙන දරුවන් ට ඔවුන්ගේ ජීවිත සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යෑමට උපකාරයක් ලෙස යම් යම් ශල්‍යකර්ම ඉටුකිරීමට වෛද්‍යවරුන් ඉමහත් වෙහෙස දරන අවස්ථා ඇත. තමන්ගේ දරුවන්ගේ විදලිත තොල සමග විදලිත තල්ල වැනි ආබාධ නිවැරදි කිරීමට අවස්ථාවක් නොමැතිව ළතැවෙන මාපියන් කොතරම් සිටීද? ගින්නෙන් පිළිස්සී හෝ වෙනත් අනතුරුවලින් විකෘති වූ අය කෙතරම් සිටී ද? ඒවා දරුවන්ට කියා දිය යුතු ය. තමන් ලද රුවේ අඩු පාඩු නොදැක තමන්ගේ ඥානයේ ශක්තිය ගැන විමසන්නට ඔවුන්ට දැනමුතුකම් ලබා දිය යුතු ය. තරුණකම ඉතා සුන්දර දෙයකි. තමන් ලස්සන කෙනෙක් කියා සිතා ගන්නට තරුණයෙක් තරුණියක් වීම ම සෑහේ.

යොවුන් වියේ දී තමන්ගේ කාය රූපය මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් එල්ල කළ බව අප වැඩිහිටියන් වූ සියල්ලෝම අත් විඳ ඇත්තෙමු. තමන් පිළිබඳ යහපත් චිත්‍රයක් තමන් තුළ වීම යොවුන් වියේ අයකුට සාර්ථකව සමාජශීලී වීමට උපකාර කරන නිසා ඔවුන් ව ඇගැයීමට ලක් විය යුත්තේ යහපත් ආකාරයකට ය. විවිධ පුද්ගලයෝ ඇති බව දරුවන් වටහා ගත යුතු ය. වෙළෙඳ ප්‍රචාරක දැන්වීමවල, චිත්‍රපටිවල නළු නිළියන්ගේ පෙනුම තාත්වික, සාමාන්‍ය ජීවිතවලින් මවන්නට යෑම නොකළ යුතු බව දරුවන් දන්නේ නම් ඔවුන් තමන්ගේ රුව පිළිබඳ කල නොකිරෙනු ඇතැයි මට සිතේ.

මාපියන්ගෙන් දායාද වූ රූපය තරම් ලස්සනක්, ශල්‍ය කර්මයකින්, ආලේපනයකින් ලබනු නොහැකි ය. අපි අපේ අම්මලාගේ උණ හපුළු පැටව් වන්නෙමු. එකිනෙකා විවිධාකාර රූ ගුණ ලබා ජීවිතය ගෙවා දැමීම ස්වාභාව ධර්මයේ කොටසකි. එලෙස වෙනස් වූ ගැහැනු පිරිමි නිසා ලෝකය ලස්සන තැනක් නොවන්නේ ද?