භාෂා අයිතිය

තිස් වසරක් තිස්සේ රට තුළ දිග්ගැස්සුණු යුද්ධය නිමාවට පත් වීම ජනතා සිත්හි සැනසුම් සුවයක් ඇති කළේ ය. නැවත එවැනි අමිහිරි අත්දැකීමක් නොලැබේවා ය යන්න හැමගේ පැතුමයි. ඒ සඳහා විවිධ අයුරින් පිළියම් යෙදීම ඒ ඒ පාර්ශ්වවල වගකීමකි. මෙනයින් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සතුව ඇත්තේ නොපටු වගකීමකි. ඒ වගකීම ඉෂ්ට කිරීමේ සමත්කම් ඇති සංවේදී පුද්ගලයකු වන වාසුදේව නානායක්කාර මහතාට එම අමාත්‍ය ධුරය හිමි වීම ද පැසසුම් කටයුත්තකි. නැවත යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමේ දී රටේ භාෂා ප්‍රතිපත්තිය කෙසේ ක්‍රියාත්මක විය යුතු ද යන්න සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් ඇති බව පෙනේ. එහෙත් කුමන හෝ හේතූන් මත ඇතැම් ක්ෂේත්‍රයන්හි සාධනීය මට්ටමක් දැකීම දුෂ්කර වී ඇති බව ද පෙනේ‍.

“අපේ මිනිසත්කම් අප ප්‍රකාශ කරන්නේ අපේ භාෂාවෙනි. අපේ මිනිසත්කම්වල පොදු බවත් භාෂාවන්හි වෙනස් බවත් අපට වැටහේ නම් අප ඒ අන්‍යයාගේ භාෂාවට ගරු කළ යුත්තේ ඔහුගේ මිනිසත් ගුණ ඔහුගේ භාෂාව සමඟ වෙනස් කළ නොහැකිව පවතින නිසා ය.”

(භාෂාව හා මනුෂ්‍යත්වය - එස්.ජී. පුංචිහේවා)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව විවිධ චක්‍රලේඛ ඔස්සේ රාජ්‍ය ආයතනවල භාෂා ප්‍රතිපත්තිය නිවැරැදි කිරීම සඳහා යම් යම් පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාල 43ක් ද්වි භාෂා කොට්ඨාස වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මේ වන විට කොට්ඨාස 29ක් ද්විභාෂීය කොට්ඨාස ලෙස ගැසට් කර ඇත. එසේ නම් කරන ලද කොට්ඨාසයක් වන බදුල්ල ප්‍රදේශයෙහි කළ සංචාරයක දී සටහන් කර ගත් නිරීක්ෂණ කිහිපයක් මෙහි දක්වමි.

බදුල්ල නාගරික ප්‍රදේශයෙහි රාජ්‍ය ආයතනවල ද්විභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රගතියක් දක්නට ඇතත් ඇතැම් ආයතන තවමත් ඒ පිළිබඳ ව අනුගමනය කරන්නේ නිද්‍රශීලි ප්‍රතිපත්තියකි‍‍. බදුල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථවල නාම පුවරු සිංහල සහ දෙමළ බසින් සකස් කර ඇති බව පෙනෙතත් දෙමළ වචන මුද්‍රණය කර ඇත්තේ කුඩාවට ය. දෝෂ සහිත ව ය. පුද්ගලින බස්රථවල ඊට වඩා ප්‍රසස්ථ මට්ටමක් ඇත. බදුල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිට නගර සභා උද්‍යානයෙහි නාම පුවරුව ඇත්තේ සිංහල භාෂාවෙන් පමණි. එහෙත් බොහෝ රාජ්‍ය ආයතනවල නාම පුවරු භාෂා තුනෙන් ම ප්‍රදර්ශනය කර තිබේ. මේ ද්වන්ධ ස්වාභාවය පිළිබඳ ව බදුල්ල නාගරික කොමසාරිස් ජී. රත්නායක මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවා ය.

“ආයතනික මට්ටමෙන් අප යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. අමාත්‍යංශයෙන් මෙන් ම ඇතැම් ස්වේච්ඡා සංවිධානවල සහාය ද අපට ලැබෙනවා. අපට තිබෙන සම්පත් අනුව තමන්ට අවශ්‍ය භාෂාවෙන් මහජනයාට අවශ්‍ය සේවා ලබා දීමට අප කටයුතු කරනවා.”

නගර සභාවේ පිළිගැනීමේ නිලධාරිනිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම මහජනයාට අවශ්‍ය සේවා ලබා දෙයි. නගර සභා කාර්යාලයේ සේවය කරන මුස්ලිම් කාන්තාවක් වන නසීරා බෞද්ධ භක්ති ගීත කණ්ඩායමේ සාමාජිකාවකි‍. බදුල්ල නගර සභා පෙර පාසලෙහි සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට ම අයත් දරුවන්ට ඉගෙනීමේ පහසුකම් සලසා ඇත. ඔවුන්ගේ භාෂා හා ආගමික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි එහි කටයුතු කෙරේ. බදුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙහි පිළිගැනීමේ නිලධාරිනියන් සිව්දෙනකු යොදවා ඇත්තේ භාෂා තුනෙන් කටයුතු කිරීම පහසු වන පරිදි ය.

එහි ද්වි භාෂා අංශයෙහි සේවය කරන ට්‍රයිෆාන් මහත්මිය පවසන්නේ ජාතිය හා භාෂාව අනුව වෙනස් කොට සැලකීමේ සමාජ පුරුද්දට තමන් ද මුහුණ දෙන බව ය. ට්‍රයිෆාන් දරු ප්‍රසූතිය සඳහා රෝහලට ගිය මොහොතෙහි තොරතුරු සටහන් කර ගත් සිංහල නිලධාරියා ඇයට අවමන් සිදුවන පරිදි කටයුතු කර ඇත. බදුල්ල රෝහලේ සහකාර ඖෂධවේදී රංජන දිසානායක මහතා පවසන්නේ රෝගීන්ට ලබා දෙන බෙහෙත්වල දවටනයෙහි දෙමළ හා සිංහල භාෂාවෙන් විස්තර සඳහන් කිරීමට කටයුතු යොදා ඇතත් රෝගීන්ට වාචික ව උපදෙස් දීම සඳහා කාලය ප්‍රමාණවත් නොවන බව ය.

“දවසකට හත්සීයකට වඩා පිරිසක් පැමි‍ණුනත් තුන් දෙනයි ඉන්නේ. එක් රෝගියකුට උපදෙස් ලබා දීමට තත්පර තිහක්වත් ලැබෙන්නේ නෑ. රෝගීන්ගෙන් බහුතරයක් වතු කම්කරුවෝ‍. ඔවුන් දැනුවත් කිරීමට එම කාලය ප්‍රමාණවත් මදි.”

රංජන දිසානායක පවසයි.

බදුල්ල දුම්රිය මධ්‍යස්ථානයෙහි මගීන් සඳහා කෙරෙන නිවේදන සිංහලෙන් පමණක් විකාශය කෙරේ. දුම්රිය ස්ථානාධිපතිවරයා පවසන්නේ දුම්රිය කාලසටහන් දින දෙක තුනකට වරක් වෙනස් වන නිසා නිවේදන භාෂා දෙකෙන් ම පටිගත කර තැබීම ද ප්‍රායෝගික නොවන බවයි. භාෂා දෙකෙන් ම නිවේදනය කළ හැකි අය එම දුම්රිය මධ්‍යස්ථානයට අවශ්‍ය වී තිබේ. එහි කාර්ය මණ්ඩල අවශ්‍යතාව විස්සකි. එහෙත් සේවය කරන්නේ අට දෙනෙකි. මේ සියලු කරුණු අනුව සිංහලෙන් පමණක් කෙරෙන දුම්රිය නිවේදනවලින් දෙමළ ජනතාවට හා සංචාරකයන්ට කිසිදු ප්‍රයෝජනයක් අත්පත් නොවේ.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හරියාකාරව ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයට අනෙකුත් අමාත්‍යංශවල සහයෝගය අවශ්‍ය වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට මෙහි දී පැවරෙනුයේ නොපටු වගකීමකි.

විෂයභාර අමාත්‍යවරයා බදුල්ල නගර සභා බල ප්‍රදේශයේ කළ සංචාරයේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රශංසා කළේ ය. එමෙන් ම ඔහු එම ආයතනවල අඩුපාඩු ද සියැසින් දුටුවේ ය.

ජාතික එක්සත්කම ඇති කිරීමේ දී භාෂා ප්‍රතිපත්තිය අතිශයින් ම වැදගත් වේ. එහෙත් මෙරට තුළ සංස්ථාපිත ව පවතින පසුගාමී අදහස් එනම් එකිනෙකාගේ අනන්‍යතාවට ගරු නොකිරීමේ පුරුද්ද සමාජයේ ඉදිරි ගමනට විශාල බාධාවක් ව පවතී. ඒ කුමක් වුව ද 1992 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී පිළිගත් පරිදි ජාතික හෝ ආගමික හෝ භාෂාත්මක වශයෙන් සුළුතර කොටස්වල පුද්ලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිමු. පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරයි. නීති ක්‍රියාත්මක වීමේ දී එහි ආවරණය සමාජයට ලබා ගැනීම සඳහා පුරවැසියාගේ පාර්ශ්වයෙන් ඇති වගකීම ද නොපටු ය. තම භාෂා අයිතීන් කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අවස්ථාව පුරවැසියාට ලබා දී තිබේ. ඕනෑම අවස්ථාවක ඇමතීම සඳහා රජය ලබා දී ඇති අංකය 1956 වේ. එමෙන් ම අන්තවාදී කණ්ඩායම් සුළුතර කොටස්වලට එරෙහිව මතවාද ගොඩනඟන විට ඒවා පරාජය කිරීමේ වගකීමෙන් වැඩි කොටස ඇත්තේ ද පුරවැසියා හට ය.