දෙදෙනාම දියණියෝ කවිතාවෙන්

මොනිකා පිළිබඳ මතක සටහන් තීරුව යළිත් යළිත් කියවීමෙන් තැවුල් සිතැති වූ මා කල්පනා කරමින් සිටියේ මේ සතියේ තීරුව සඳහා සුදුසු වූ මාතෘකාවක් පිළිබඳවය. දහසයවන (16) බදාදා හැන්දෑකරයේ මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබේ. ඇමතුම ආශා රැළපනාවගෙන් බව මම දනිමි. ඇගේ හදිසි ඇමතුම කුමක් අරබයා දැයි කුතුහලයෙන් යුතු ව, සුපුරුදු ඇමතුම් විලාසයෙන් “හා, නෝන මහත්තයා, මොකද හදිසියේ” යයි විමසීමි. දුරකතනයේ එහා කෙළවර සිටින ආශා ගේ හඬ මා දෙසවන මෙන් ම හදවත ද උණුසුම් හැඟුමකින්, සොම්නසකින් පුරවාලයි. “සර් මගේ සිංහල ෆස්ට් ක්ලාස් එක හරි, අද රිසල්ට්ස් අවුට් වෙලා...” කන්ග්‍රැජුයුලේෂන්ස්, මගේ දුවගෙ රිසල්ට් එකක් වගේ මට දැනෙන්නෙ.

ළඟ පාතක හිටිය නම්, හාදු වැස්සක් දෙනවා...” තෑන්ක් යූ සර්, ඒ වුණාට අද මම ගෙදර ඇවිත් ඉන්නෙ ඈත, නොච්චියාගම...” ආශා මගේ දියණියකැයි මට සිතේ. ඈ මට සර් කියා අමතන්නේ කිසි දිනක මගෙන් අකුරක් හෝ ඉගෙන නොගෙනය. මා බොහෝ වෙලාවට සර් යන ඇමතුම භාවිත කරන්නේ, මට සිප් කියා දුන් ගුරු පියකු හෝ ගුරු මවක් ඇමතීමටයි. රාජකාරි ස්ථානයේ දී වුව මම ප්‍රධානියාට සර් යයි අමතන්නේ නැත. සභාපතිතුමාට චෙයාර්මන් හෝ සාමාන්‍යාධිකාරිතුමාට ජී. එම්. කියා ඇමතුව මුත් මගේ ප්‍රධානීන් කිසිදින මා සමඟ උරණ වී නොමැත. එහෙත් සර් ඇමතුම නොලදහොත් උරණවන, කිපෙන, මාණ්ඩලික නිලධාරීන්, සුපර්වයිසර්වරුන් මට අනන්තවත් රාජ්‍ය සේවයේදී හමු වී ඇත. එහෙත් පෞද්ගලික අංශයේ දී මගේ අත්දැකීම ඉඳුරාම වෙනස් ය. ප්‍රධාන විධායක නිලධාරි විදේශිකයාගේ නම පීටර් නම්, අප ඔහු අමතන්නට පුරුදු ව සිටියේ පීටර් නමිනි. ඔහු මට බුද්ධි යයි අමතයි. සර් භාවිතය පිළිබඳ කතාබහ දිගු වුවත්, ලියන්නට සිතුණේ ආශා රැළපනාව දියණිය මට සර් ඇමතුමෙන් කතා කළ නිසා ය. ඈ කිසි දින මගේ ශිෂ්‍යාවක් නොවූ නිසා ය. මගේ එක් දියණියක් ලෙස ආශා හඳුන්වන්නේ නම්, දෙදෙනාම දියණියන්ගෙන්, දෙවැන්නිය කවුරුන්දැ’යි ඔබ මගෙන් විමසනු නියතය. 2012 වසරේදී ආශා මෙන්ම ඈ ද මගේ දියණියක වූවා ය. ඒ වසරේ දී ඔවුහු තම නිර්මාණ කුසලතා වෙනුවෙන් සුපර් ස්ටාර්ස් නොවූ ලක්ෂපතිනියෝ වූහ. මේ ඔවුන්ගේ කතාවයි.

2012 දී ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙය වූ, අන්තර් විශ්වවිද්‍යාලයීය හා උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා ඇගැයීමේ තරඟයේදී නවකතා අංශයේ හොඳම නවකතාකාරිය වී, සම සම්මානය සඳහා රුපියල් ලක්ෂයක තිළිණයක් හා සම්මානයක් දිනා ගත්තී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිය සඳහා ශාස්ත්‍ර හදාරමින් සිටි ආශා රැළපනාව ශිෂ්‍ය මානවිකාවයි. සළපතන මණ්ඩිය නම් වූ ඇගේ නවකතාව සමඟ සම සම්මාන ලද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ යනූෂා ලක්මාලි ශිෂ්‍ය මානවිකාවයි. ප්‍රතිඵල නිකුත් වීමට පෙර, නවකතා අංශයේ අවසාන විනිශ්චයේ සමීක්ෂකවරිය වූ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක හමුවීමේ අවස්ථාවේ සිට ආශා මා අමතන්නට පුරුදු වූවා ය.

ඇගේ නවකතාව නුගේගොඩ සරසවි ප්‍රකාශකයන් අතට පත් කළ මොහොතේ සිට මුද්‍රණයෙන් නිකුත් වන තෙක් අප අතර කතාබහ වුව ද, 2013 පෙබරවාරි 21 දා නෙළුම් පොකුණේ පැවැත්වූ කවිතා අවසාන සම්මාන රාත්‍රිය තෙක් අප එකිනෙකා හමු වී නොතිබිණ. ඈ අවසාන උපාධි පරීක්ෂණයට පාඩම් කරන බවත්, ඇගේ අරමුණ කෙසේ හෝ පළමු පන්තියේ සාමාර්ථයක් ලැබීම බවත් මා හා පැවසුවා ය. ලක්ෂපතිනියක වූවද ඈ තුළින් මා දුටුවේ රජරට ගැමි දියණියකගේ අව්‍යාජත්වය වීම, අප දෙදෙනාගේ ස්නේහවන්ත බැඳීමේ පදනම වන්නට ඇතැයි සිතමි.

දෙදෙනාම දියණියන්ගෙන් දෙවැන්නිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මානවිකාවක වූ දිනිති උත්පලා රණසිංහ යි. ආශා මෙන් ම, ඈ ද මට සර් කියා අමතන්නීය. කවිතා ප්‍රථම සම්මාන උළෙලේ හොඳම ගේය පද රචිකාව වෙමින් ලක්ෂපතිනියක වූ ඈ කිසිදින ශිෂ්‍යාවක නොවූ මගේ දියණි යැයි සිතමි. ආශාට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක වූ දිනිති ද එවකට සිංහල ගෞරව උපාධිය සඳහා ශාස්ත්‍ර හැදෑරුවාය. මොවුන් දෙදෙනාම සරසවි ශිෂ්‍යාවන් වීම, නිර්මාණකාරියන් වීම, ප්‍රථම කවිතා සම්මාන උළෙලේ දී දෙදෙනාම නවකතාවට, ගේය පද රචනයට හපන්කම් පාමින්, රුපියල් ලක්ෂයකින් බැඳි පියලි දිනාගැනීමට අමතරව, ඔවුන් දෙදෙනාගේ කැපී පෙනෙන සමාන බවට, ප්‍රධාන හේතුව වන්නේ දෙදෙනාම තම නිර්මාණ කටයුතුවලට බාධා නොවන සේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරමින් සිංහල ගෞරව අවසාන උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පන්ති සාමාර්ථ හිමිකර ගැනීමයි. ආශාට පෙර ප්‍රථම පන්ති සාමාර්ථය ලැබූ දිනිති දියණිය දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ සහකාර කථිකාචාර්යවරියක (තාවකාලික) ලෙස පත්වීම් ලබා සිටින්නී ය.

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආශා ගේ අනාගතය ඈ කෙලෙස සැලසුම් කරන්නේ දැයි නොදනිමි. අනුරාධපුරයෙන් කිලෝමීටර් විසි හතරක් තරම් ඈත ගමක් වූ නොච්චියාගම ගැමි පවුලක උපන් ආශා පළමු වසරේ සිට සරසවියට එන තෙක් ඉගෙනුම ලැබූයේ අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ ය. දිනිති උත්පලා ගේ පසුබිම ඊට වෙනස් ය. ඈ ගම්පහ රත්නාවලී බාලිකාවෙන් කොළඹ සරසවියට එන්නීය. ඈ ගේය කාව්‍ය රචනය මතු නොව පද්‍ය කාව්‍ය රචනයට ද දස්කම් පාන්නී ය. 2012 දී ගේය කාව්‍ය රචනයෙහි හපන්කම් සඳහා ප්‍රථම සම්මානය දිනාගත් දිනිති, 2013 – 14 කවිතා සම්මාන රාත්‍රියේදී හොඳම පද්‍ය කාව්‍ය දෙවන ස්ථානය දිනාගන්නී ය. මේ දියණියන් දෙදෙනාගේ ජයග්‍රහණ තුළින් අපට දෙන, අනෙකුත් ශිෂ්‍ය පරපුරට දෙන පණිවුඩය කුමක්ද? කුමන බාහිර ක්‍රියාකාරකමක නිරත වූවත් එය අධ්‍යාපනයට බාධාවක් නොවන බවයි ඒ පණිවුඩය. නවකතා ලියමින්, කව්, ගී රචනා කරමින් ගෞරව උපාධි ප්‍රථම පන්ති සාමාර්ථ ලබාගැනීම තුළින් ඔවුන් දෙදෙනා එය ඔප්පු කොට නොතිබේ ද?

කවිතාවේ සාහිත්‍ය නිර්මාණලාභීන් වෙනුවෙන් ඔවුන්ගේ විශ්වවිද්‍යාල විසින් පැවැත්වූ ඇගැයීම් උත්සව පිළිබඳ මගේ මතකයට එක්වන්නේ, 2013 වසෙර්දී කොළඹ විශ්වවිද්‍යාලයේදී, සිංහලාංශ ප්‍රධානී පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ මූලිකත්වයෙන් දිනිති උත්පලා රණසිංහ දියණියගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ ඇගැයීම් උත්සවයයි. මෙවර ද සිංහල අධ්‍යයනාංශය නියෝජනය කරමින්, ජයග්‍රාහී නිර්මාණකරණයේ සම්මානලාභීන් වූ දියණියන් දෙදෙනා නවකතා අංශයේ තෙවැන්නී, ගමන නවකතාව රචනා කළ සුරන්දි දිල්රුක්ෂි හා පද්‍ය කාව්‍ය අංශයේ දෙවැන්නී දිනිති උත්පලා රණසිංහ (කැකිරි වැළේ කඳුළු කාව්‍ය සංග්‍රහය) ගේ නිර්මාණ කුසලතාව අගයමින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් චාම් ඇගැයීම් උත්සවයක් 17 දා සවස ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයනාංශයේ එම්. බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

තම ශිෂ්‍ය දූ පුතුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගැයීමේ වටිනාකම හඳුනාගත් සිංහලාංශ අංශ ප්‍රධානී අගලකඩ සිරිසුමන හිමිගේ මූලිකත්වය එලෙස සම්මාන දිනූ අනෙකුත් ශිෂ්‍ය මානව මානවිකාවන් නියෝජනය කරනු ලබන විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන්ගේ ද දෑස් අරවන්නක් වේ යයි හඟිමි. විශ්වවිද්‍යාල තම දූ පුතුන්ට එලෙස සැලකුව ද, රත්නපුර, ඕපනායකින් එපිට ඈත දන්දෙණිය නම් කුඩා ගමක මහා විද්‍යාලයක් මෙවර කවිතාවේ දෙවන හොඳම නවකතාව සැඳෑ නයනිය ලියූ හංසිනී ප්‍රමුදිතා දියණියට උපහාර දැක්වූ විලාසය ආදර්ශවත් ය. හංසිනී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍යාවකි. දන්දෙනිය මහා විද්‍යාලය ඈ පහ වසර තෙක් උගත් පාසලයි. එහි විදුහල්පතිතුමා ගමේ දහම් පාසල හා පන්සලේ ස්වාමීන් වහන්සේලා දේශපාලන අධිකාරිය, සිසු දූ පුතුන් හංසිනීට දැක්වූ ගෞරවය ඇයට ධෛර්යයක්ම වී යයි සිතේ.

පසුගිය තෙවසර තුළ කවිතා සාහිත්‍ය අංශයේ තරගාවලියට සහභාගි වූ පිරිස් අතරින් හඳුනාගන්නට ලැබුණු දූ පුතුන් සංඛ්‍යාව විශාලය. ඔවුන්ගේ නිර්මාණ දක්ෂතා මෙන්ම අධ්‍යයන හපන්කම් ද අප සිතට සතුටක් ගෙනේ. ඒ අතරින් ද හමු වූ දීප්තිමත් තාරකා යුග්මය, දිනිති උත්පලා රණසිංහ හා ආශා රැළපනාව දියණියන් මගේම දියණියන් සේ මට දැනෙන්නේ ඔවුන්ගේ ජයග්‍රහණ බෙදා හදා ගැනීමේදී යන්තමින් හෝ දායක වන්නට ඉඩක් ලද බැවිනි.