ඈ තවමත් නැළවිලි ගී ගයන්නීය

මගේ අම්මා සංගීතයට, සිනමාවට ඇළුම් කරනා කෙනෙකි. ඒ කාලයේ ඈ ප්‍රිය කළ, නිතර සවන් දුන් ගී තුළින් ඇගේ ඇතුළත මෙසේ වන්නට ඇතැයි මා දැන් විමසන ආකාරය ගැන යමක් ලියන්නට කැමැති මුත් එසේ කිරීම අචාරධාර්මික නොවන්නේ නේ දැයි මම පත්‍රකලාවේදිනියක වන මගේ මිතුරියගෙන් අසා යැවීමී. “ඔබ ඈ දකින විදිය ගැන ඈ දැනටමත් දන්නවා. ඈ ඔබේ අම්මා. ඔබේ ලියවිල්ලෙන් ඈ සිත නොරිදෙනු ඇතැයි මා සිතනවා.” ඇගේ පිළිතුර විය. එසේ නම් ලියමි කියා මතකය අවුස්සද්දී මට මුලින් ම මතක් වන්නේ අම්මා ගැයූ නැළවිලි ගී නොවේ.

නමුත් ඈ මගේ බාලම සොයුරාටත් පවුලේ අනෙක් ගැහැනුන් ලද දරුවන් නළවද්දීත් ගැයූ එකම නැලවිලි ගීත කාණ්ඩය ම පසු කලෙක මම ද ඈ මෙන් මිහිරි නොවූ හඬකින් මගේ දරුවන්ට ගැයුවෙමි. දොයි දොයි බබා ට වැඩියෙන් නන්දා මාලනිය ගැයූ ‘චන්ද්‍ර මඬුළු යට සුරංගනාවෝ’ අම්මාගේ ප්‍රියතම දරු නැළවිල්ල විය. අපට බැරි අමාරුකම් වූ පසු කාලයක ලෝකයෙන් අපට උදව්වක් නොවෙද්දී “දුවේ/පුතේ එපා ඒ කතා අහන්නට මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ” යන කොටස අම්මා තේරුමක් ඇතුව ගැයුවා නොවේදැයි මට නොයෙක් වර සිහි විය.

අම්මාගේ සංගීත වින්දනය පුළුල් පරාසයක පැතිරි එකක් විය. ඈ ප්‍රියතම නිර්මාණකරුවකු/කාරියක තෝරා නොගෙන, එක රටාවකට කොටු නොවී විවිධ මාදිලියේ ගී ඇසූවා ය. ඈ රේඩියොවේ නිතර ප්‍රචාරය වූ සරල ගීවල සිට, එවකට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියක් වූ අම්මාගේ සොයුරිය, මිතුරියන් සමඟ අප නිවසේ රැඳී පුරුදු පුහුණු කළ තාල රාග මෙන් ම, ඒවා ආශ්‍රයෙන් ලංකාවේ සංගීතඥයෝ කළ පබැඳුම් යනාදිය රස විඳි කෙනෙක් විය. සෞන්දර්ය පීඨයේ විභාග කාලයට අපේ නිවස සිතාරය, තාම්පුරාව සහ කෙල්ලන්ගේ ගී, සිනහා පිරුණු තැනක් වූයේ අම්මා ඒවාට කැමැත්තෙන් ඉඩ දුන් නිසාවෙනි. පසු කලෙක අපේ රස වින්දනයේ ආකල්ප සකස්වීමට මූලික අඩිතාලම වන්නට ඇත්තේ ඒ මනස සැනසූ සංගීතය බව මම පිළිගනිමි. ළදරු පාසලට යන්නත් පෙර අම්මාගේ තාත්තා‍ගේ අතේ එල්ලි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ ප්‍රසංගයක් බලන්නට මගේ මව්පියන් මා රැගෙන ගොස් ඇත. ශාලාවේ ඉදිරිපස වතුර මලත්, ගායිකාවගේ තැඹිලි පැහැ සාරියත්, සංගීතයෙන් මත් වූ මාපියන්ගේ සතුටු මුහුණු මට තවම මතක තිබේ.

ඒ කාලයේ අම්මා තරුණ එඩිතර ගැහැනියක විය. ඈ, පිටරටක සේවය කළ සැමියා එනතුරු දරුවන් රැකි ගැහැනියක වුවත්, දොර වාසා බයෙන් සිටි අමල් බිසවක් නොවිණ. ඈ සති අන්තයේ අපට හොඳ ඇඳුම් අන්දවා අප බස්වල ගාල්කරවාගෙන නුගේගොඩ ඉංග්‍රීසි එලකියුෂන් පන්ති ගෙන ආ විට, පන්තිය ඇරෙන තුරු මාර්කට් එකෙන් බඩු ගෙන, තාත්තාට තැපැල් කළ යුතු ගීත ලැයිස්තු රෙකොර්ඩ් බාර්වලින් පටි ගත කර ගෙන, නැවුම් මල් මිටික් මිලට ගෙන නැවත අප හා ගෙදර එද්දී අපට සිසිල් බීමත් රැගෙන දුන් ප්‍රියජනක කෙනෙකි.

අම්මා, පටිගත කළ ගීත පටය තැපෑලට දාන්නට පෙර වරක් දෙවරක් ඒවාට සවන් දෙන්නී ය. ඒ ගීතවල දෙමහල්ලන්ගේ වෙන්වීම පිළිබඳ වූ සියුම් දුක ගැබ් වී තිබූ ඒවා මෙන් ම ඒ කාලයේ ඔවුන්ගේ ප්‍රියතම ගීත ද විය. අදටත් ඉන්ද්‍රානි පෙරේරා ගයන “සමුගෙන යන්නෙමි” ගීතය අසද්දී මට මගේ තාත්තා මුලින් ගුවන් ගත වූ දා අම්මාගේ ඇසේ වූ කඳුළු සිහිපත් කරවයි. දරුමල්ලන් අතැර උන්ගේ දියුණ පතා පිට රට යන්නට වෙන්වෙන සියලුම තරුණ යුවළවල් එසේ නොවේ දැයි මට සිතේ. පසු කාලයක තාත්තා නැවත රජයේ රැකියාවක අට-පහ වැඩමුරය ඉවර කර ගෙදර එනතුරු අප මඟ බලද්දී අම්මා, නන්දා මාලිනියගේ ‘රුක් අත්තන මල මුදුණේ’ ගීය ගැයුවා ය.

මාලනී බුලත්සිංහල ගැයූ ‘රජ මැඳුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුණේ’ ගීතය රජයේ රැකියාවලින් අත මිට පිරෙන්නට මිල මුදල් නොලැබි නිසා දුක්බරව ගෙවන්නට වූ කාලයේ අසරණව සිටි මගේ අම්මාව මට සිහි කරවයි. ඒ කාලයේ ම ජනතා විමුක්තී පෙරමුණේ විරෝධතා පැවැති අඳුරුම කාලයේ අම්මා තාත්තා දෙදෙනාම රහසින් නන්දාමාලිනි ගැයූ විරෝධාකල්පිත යැයි සැලකි ගීත ඇසුවේ ජවිපේට කැමැති වූ නිසා නොව දූෂිත වූ පාලකයන්ට වූ අකමැත්ත තුළින් ඇති වූ පීඩනය මුදාහරින්නට ය.

 එයින් කලකට පසු අම්මා සහ තාත්තා ප්‍රේමය සිඳී ගිය පුද්ගලික ජීවිත ගැන කිසිවක් මම නොකියමි. ‘බිරිඳ මගේ නුඹ- නෑ ඔබගේ බිරිඳ නොවේ’, ‘අතැඟිළි බැඳුණේ ඇයි මේ විලසින්’, ‘සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ’ වැනි ගීත අම්මා සවන් දුන් ඒවායින් කිහිපයකි. අප උස්මහත් වෙද්දී අප කියවන පොත්, පත්‍ර, නරඹන චිත්‍රපට, සවන් දෙන ගීත පාලනය කරන්නට අම්මා දැඩි ලෙස උත්සහයක් ගත්තේ කලාව පටුව මැන බැලූ කෙනෙකු නිසා නොව, නොමඟ නොයන දරුවන් තැනීමේ වගකීම තනි ඇගේ හිස මත පැටවුණු හෙයින් බව අපට දැන් වැටහේ.

දැඩි නීති රීතීවලින් පාලනය කිරීම එකම මඟ ලෙස ඈ දුටුවා විය හැක. “පාළු කරට නුඹෙ අත නොයැවෙන්නයි වීදුරු කැටපත බිම දැම්මේ” අම්මා කෙනකු ගයනා ගීයකි. නමුත් දැන් වැඩිහිටියන් වී සිටිනා අපට අම්මා නිදහසේ ඇගේ රුචි අරුචිකම් කියන්නී ය. නිවාඩුවට ලංකාවට ගිය විට කසුන් කල්හාරගේ ‘මල් මිටක් අරන් ඔබ අතින්’ ගීතය අසා නැතුවා කී විට ඈ ඇගේ මිතුරකු ගිටාරය සමඟ ගෙන්වා ගෙන එය අසන්නට සැලැස් වීය. කිර්ති පැස්කුවෙල් මහතාගේ ‘කඳුල ඉතින් සමාවෙයන්’ සංවේදී ගීයක් බවත්, අමරසිරි පීරිස් ගේ ‘මගේ පුංචි රෝස මලේ’ අනුකම්පාවෙන් දැකිය යුතු කතාවක් බවත් මට කිව්වේ අම්මා ය. ඈ බොහෝ නවක ගායක ගායිකාවන්ගේ ගී පවා හඳුනන්නී ය. ගයන්නට බැරි අයගේ නිර්මාණ ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය වීම සමාව නොලද යුතු වරදක් බව කියා ඈ මා සිනහ ගන්වන්නී ය.

අද “සුදු හාමිනේ නුඹ කොතැන ද අද දවසේ” ගීතයේ කියවෙන්නා වාගේ දීග ගිය දරුවන් ළඟ නැතිව මගේ අම්මාත් තනි වී ඇත. අප කුඩා කාලයේ අකුණු ගසමින් වැසි වැටෙද්දී අපව ඇඳට ගෙන අම්මා ඒ ගීය කියද්දී සමහර විට ඈ අනාගතය දකින්නට ඇතුවා විය හැකි ය. නමුත් තවමත් ඈ සංගීතයට ප්‍රිය කරන්නී ය. ඉඳහිට ලංකාවට නිවාඩුවට ගිය විට මගේ දරුවන්ට නැළවිලි ගී ගයන්නී ය.