කිරි හීන

අවිනාශ් හරි හැඩට ගෙවල් අඳිනවා. එයා අඳින ගෙවල් හදලා ඉවර වුණාම හරි ඔපේට තියෙනවා. “ගෘහ නිර්මාණ ශිල්පියා” කියන නම ටිකක් බරසාර වැඩියි කියලා දැනුණට එයා ඒ නමට ආස කරනවා. ඒ නම තියෙන හුඟක් අය වගේ ම එයත් ටිකක් අමුතු විදිහට හිතනවා. ඉගෙන ගන්න කාලේ වම් කණට රිදීපාට කරාබුවක් දාලා ඉඳලා දැන් ඒ කරාබුව දාන්න වයස වැඩි හින්දා ඒක ගලවලා නෝනා මහත්තැන්ගේ කණ්ණාඩි මේසේ උඩ තියෙලා තියෙනවා.

මේ දවස්වල හුඟක් ගෙවල්වල බිත්ති වෙනුවට වීදුරු තියෙන හින්දා ඒ ගෙවල්වල බිත්ති තියෙන ගෙවල්වලට වැඩිය මහන්තත්වකමක් තියෙනවා. පැන්සලෙන් ඇදිලා ගඩොලෙන් නිමවෙන අලුත් ගෙවල් වටපිටේ තියෙන පරණ ගෙවල් දිහා ආඩම්බරෙන් බලනවා සමහර වෙලාවට අවිනාශ් දැකලා තියෙනවා. එහෙම මහන්තත්ව ගෙයක් හැදිලා ඉවරවුණාම අවිනාශ් වටපිටේ අය දිහා ආඩම්බර බැලුම් දානවා.

“අර පේන හැඩ ගෙදර ඇන්දේ මම තමයි...” කියලා ඒ බැල්මෙන් කියවෙනවා. ඒත් හුඟක් වෙලාවට ඒ ආඩම්බර බැලුම් පිළිගන්න, අගය කරන, නැවත හැරී බැලීම් අවිනාශ්ට ලැබෙන්නේ නෑ.

එයාට ලැබෙන හුඟක් බැල්මවල “ගෙවල් හැදුවට ඕනම දේ හදාගන්න බැරි වුණානේ...” කියලා ලියවිලා තියෙනවා.

ඕනම දේ මොකක්ද කියලා අවිනාශ් වැඩිය හිතුවෙ නැතිවට හිතාගන්න පුළුවන්කම තියෙනවා.

“කසාද බැදලත් අවුරුදුම සෑහෙන ගාණක් ගෙවුණානේ. ඒත් අපිට කොයින්ද මුනුපුරෙක්ගේ කිරි හිනා හඬ අහන්න වාසනාවක්?” අවිනාශ්ගේ අම්මා ලේලිට නෝක්කාඩු කියනවා අවිනාශ්ට ඇහිලා තියෙනවා. ඒ වගේ වෙලාවට නෑහුණා වගේ ඉන්න අවිනාශ් දක්ෂයි. ඒත් හැම වෙලාවෙම නෑහුණා වාගේ ඉන්න බෑ. අවිනාශ්ගේ අම්මා යන්න ගියාට පස්සේ නෝනා මහත්තයා අවිනාශ් ළඟට ඇවිත් හිතේ දුක කියාපානවා.

“මමෙයි කියලා මොනවා කරන්නද? අනික දැන් මම විතරද වැරදිකාරි?” නෝනා මහත්තයා අහන විදිහට අවිනාශ් ගේ හිතෙත් හීන් දුකක් මෝදු වෙනවා. “අපි මොනවා හරි කරන්න බලමු. කවුරු නැතත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනේ..”කියලා එහෙම වෙලාවට අවිනාශ් කියනවා.

එහෙම කිව්වට අවිනාශ්ගේ හිතෙත් කිරි හීනේ පියාපත් සලනවා.

නිවාඩුවක් ලැබුණු ගමන් ම අවිනාශ් නෝනා මහත්තයත් එක්ක අනුරාධපුරේ යනවා ජය ශ්‍රී මහා බෝධියට භාර වෙන්න. පිරිමි පුතෙක් නැතත් ගෑනු දුවෙක් හරි ලැබෙන්න. අවිනාශ්ගේ නෝනා සිංහල වෙදමහත්තුරු දෙන කසාය වට්ටෝරු සිය ගාණක් අතහදා බලනවා. “අත්දුටුවයි, ප්‍රත්‍යයක්ෂයි” කියලා කිව්වට කිරි හිනා ගේන්න ඒ කසාය වට්ටෝරුවලට බැරි වෙනවා. සිංහල බෙහෙත් ගැන කොහොමටත් වැඩි විශ්වාසයක් නැති අවිනාශ්, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දොස්තරලා ගණනාවක් ළඟට නෝනා මහත්තයත් එක්කලා යනවා. දොස්තරලා කිරි හිනා හඬ අහන්න ඕනේ නම් පිටරට යන්න ඕනේ කියලා කියනවා. කාසි ගොඩක් වියදම් කරලා අවිනාශ් නෝනා මහත්තයත් එක්කලා පිටරට යනවා.

කිරි හීනේ පිටරට දී හැබෑ වෙනවා. හැබැයි ඒ හිනාහඬ හරිම අමුතුයි, හදවත පාරවන සුළුයි.

අවිනාශ්ගේ නෝනා පිටරට දී ජීවිතේ එකම හීනේ වෙනුවෙන් සෑහෙන කැපකිරීම් කරනවා. අවුරුදු දෙකක් පුරාවට කිරි හීනේ හිතේ තියාගෙන ඇඳටම කොටුවෙලා ජීවත් වෙන්න එයාට සිද්ධවෙනවා. අන්තිමට හීනේ හැබෑවුණාට ඒක අසම්පූර්ණ හීනයක්.

අසම්පූර්ණ කිරිහීනෙත් වඩාගෙන අවිනාශ් නෝනත් එක්කලා සිය රටට එනවා. දකින අය “අනේ හුරතල් දරු පැටියෙක්...” කියලා කියන්නේ නැතුව, ”අයියෝ සංසාරේ...” කියලා වම් කම්මුලට අතක් තියාගන්නවා.

සමහර උදවිය “නොලැබෙන දේවල් පස්සේ මොකට ගියාද?” කියලා නෝනා මහත්තැන් නැති වෙලාවක් බලලා අවිනාශ්ගෙන් අහනවා. ගෑනු හිත් වගේ ම පිරිමි හිතුත් ඔය වගේ කතන්දරවලින් රිදෙනවා කියලා අවිනාශ් ඒ උදවියට නොකිව්වට හිතනවා.

නෝනා මහත්තයා රස්සාවෙන් අස්වෙලා කිරිහීනේ උස්මහත් කරන්න වෙහෙස වෙනවා.බොහොමයක් කිරිහීන යාන්තම් අවුරුද්ද වෙනකොට සිඟිති දෙපා ඔසවලා ඇවිදිනවා. “තතා..තතා” කියලා බහ තෝරෙනවා. ඒත් අවිනාශ්ලගේ කිරිහීනේ හැමදාම ඇද උඩට වෙලා ඉන්නවා. එයාගේ බෙල්ල පැත්තකට ඇදවෙලා තියෙනවා. සමහර වෙලාවට අම්මා දිහා බලලා අසරණ විදිහට හිනාවෙනවා. ජීවිත කාලෙම අසම්පූර්ණ කිරි හීනයක් වෙනුවෙන් කැපවෙන්න වෙන විත්තිය ඒ වෙනකොට අවිනාශ් දන්නවා.

සමහර දේවල් ජීවිතේ නොලැබෙන්න නියම වෙලා තියෙනවා. එහෙම දේවල් බලෙන් ලබාගන්න ගියාම ජීවිතේ කණපිට පෙරලෙනවා.

කිරි හීන උරුම නැති ජීවිත මේ පොළොව උඩ හුඟාරියක් තියෙනවා. සමහර අය තමන්ගේ නොවෙන අනුන්ගේ කිරි හීනයක් හදාවඩා ගන්නවා. එහෙම වෙලාවට වැදූ අම්මට වැඩිය දරු දුකක් හැදූ අම්මගේ හිතේ තියෙනවා. ඒත් ඇත්ත දැනගන්න දරු පැටියා කරදඬු උස්මහත් වුණාම ඇත්ත අම්මා ව හොයාගෙන යනවා. හැදූ අම්මාගෙ කිරි හීනේ කෑලිවලට ඉරිලා විසිරිලා යනවා.

හදාගන්න ගන්න කිරිහීනවලට සැර වැර කරන්න හැදූ අම්මලාගේ හිතේ බයක් තියෙනවා. එහෙම කළොත් දරුවො එයාලව දාලා යයි කියලා හිතනවා. හැදි නොගා හදන කිරි හොද්ද වගේ ඒ දරුවො දියාරුවට හැදෙනවා.

සමහර වෙලාවට හදාගත්ත කිරි හීනේ නාහෙට නාහන වැඩ හින්දා ජීවිත කාලෙම හම්බකරපු දේවල් දියවෙලා යනවා. එහෙම ජීවිතවල නෙල්ලි රහක් නැතුව තිත්ත රහක් විතරක් ඉතිරි වෙනවා.

අවිනාශ් තාමත් පුරුදු විදිහට ගෙවල් අදිනවා. ඒ ගෙවල් ඉස්සර වගේ ම හැඩට තියෙනවා. බිත්ති වෙනුවට වීදුරු තියෙන ගෙයක් අදිනකොට, වීදුරු ගෙවල් ඇතුළෙ ඉදන් ගල් ගහන මිනිස්සු ගැන අවිනාශ්ට මතක් වෙනවා.

කර්මය කියන්නේ කරත්ත රෝදයක් වගේ ගැල අඳින ගොනාගේ පිටිපස්සෙන් එන දෙයක් විත්තියත්, වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන උදවියට දරු දුක ඊළඟ ආත්මවල දී තමන් අද විඳින විදිහටම විඳින්න වෙන විත්තියත් අවිනාශ්ගේ හිතට කවුදෝ කොඳුරනවා වගේ ඇහෙනවා.