මල් නෙළන්නී...

බිනර සුළං සුවදායකය. වස්සාන සමය ළං ළංව සපැමිණෙන බවට ඉඟි පළ කරන බිනර අහස යට ගහකොළත් සතා සිව්පාවෝත් කටුක නිකිණියේ ගැහැට අමතක කර දමන්නට වෙහෙසති.

අලුත් කැදැල්ලක් අලුත් පතිනියක්! බැලු බැලු අත දිස්වන්නේ නැවුම්බවමයි. තවම මුළුමණින්ම වැඩ නිම නොකළ ද නිවස සිරියාවන්ත පාටය.

ගෙමිදුලෙහි කුරහන් වගාව මගේ සිත් ගත්තේය. කුරහන් කරල කොතරම් පියකරුද?

“අන්න ළමයිනේ කුරහන්”. මම ‍මගේ දරුවන්ට ද කුරහන් පඳුරක රුසිරියත් සශ්‍රීකත්වයත් විඳින්නට බල කළෙමි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් මිඩංගු කරන්නට තරම් කාලයක් නොමැත්තේ ය. නවතම පරිගණක ක්‍රීඩා ද අයන්මෑන් වැනි සුපිරි ක්‍රියාදාම බටහිර චිත්‍රපට ද දෙමළ චිත්‍රපට ද කොරියන් ටෙලි නාට්‍ය පිළිබඳව ද ඔවුන් අතොරක් නැතිව කතා බහ කරති.

“මේ කොළඹ කෙල්ල මගේ ළමයින්ව නරක් කරනවායි මම බැරිම තැන මේනුට චෝදනා කළෙමි.

අලුත් කැදැල්ලේ අලුත් පතිනිය වන ඇගේ අක්කා සිනාමුසුව අපට සංග්‍රහ සත්කාර කරන්නට වෙහෙ‍ෙසයි.

“ඔන්න ඔන්න අක්කාට ජෙල. අපි ඇවිල්ලා එස් එම් එස් කොටන කොල්ලො කෙල්ලො.... අක්කලා පණ නාගෙන අතින් ලියුම් ලීව කට්ටිය නේ.... යි මේනු මට හිනැහෙයි.

එතැන් සිට කොල්ලන්ගේත් කෙල්ලන්ගේත් කතා බහට නිමිත්ත වුයේ ජංගම දුරකතනයි. ඒ නවීන මෙවලම් පිළිබඳව ඔවුනගේ දැනුම මා පුදුමයට පත්කරවයි. පරිගණක හා දුරකතන, කැමරා ආදිය පිළිබඳව මා මෙලෝ හසරක් නොදන්නා බැවින් ඔවුන් වෙතින් ඉවත්වීමි.

වැඩිහිටි අපි එක් ලෝකයක ද අනික් දරුවන් තවත් ලෝකයක ද ජීවත්වන බව හඟවමින් මල් නෙළන්නිය වෙත ළංවීමි.

“අම්මද කුරහන් හැදුවෙ?”

ඇගේ මුනුපුරාගේ බිරිය ද මගේ ඥාති ‍සහෝදරිය ද වන දිලානි සහ කුරහන් වගාව අතර මොනම සබැඳියාවක්වත් නැතැයි සිතමින් මම ප්‍රශ්න කළෙමි. මිදුලේ මල් පැළ අතර කුරහන් වවන්නට කල්පනා කරන්නේ කිරි අම්මලාගේ පරපුර මිස අන් කවුරුද?

“අනේ ඩිංගිත්තක් ඉස්සේ. පැළ වුණා. දුකේ බැරුවා ඕං දැං පීදිච්චි..”

ඇය බැතිමත් වන්නේ මහ පොළොවටයි. ඇය බුහුමන දක්වන්නේ නිල් අහසටයි.

“ රොටියක් පුස්සා ගන්ඩ පිට්ටුවක් තම්බාගන්ඩ තිබ්බනං මදැයි...තලපෙකුත් හැඳිගාගන්ඩ බැරියැ...”

“ඒක නේන්නං ....යි”මම හිස සලා එකඟ වෙමි.

“කුරහන් පිටි විසික්කා කොරලා පාන්පිටි ගිලල නානප්‍රකාර ලෙඩ හදාගෙන දොස්තරලා පස්සෙන් වැටීගෙන සල්ලිබාගෙන පූජා කෙ‍ෙරන එකනෙ අපේ වැඩේ....”

පොළොව කැණ බිජුවට ඉසින්නටම පේ වුණු දිරිය ගැහැනියගේ කතාව සහතික ඇත්ත නේදැයි මට සිතිණ.

“අක්කා....”

දිලානි හඬගාන්නේ මා මිත්තණිය සමඟ‍ ළෙන්ගතුවීම නොඉවසන්නාක් මෙනි.

“වැඩකරන හින්ද වෙන්නැති මේ තරම් නිරෝගි. කොච්චර අපූරු ද...”

මම අක්කා න‍ඟෝ වෙත යමින් කියමි.

තුරුණු පතිනිය මුහුණ හකුලා ගත්තාය.

“වැඩ නං කරනවා තමයි. එතකොට මිනිස්සු අපට නේ බනින්නේ...”

“ඒ මොකද ?”

“විවේකෙන් ඉන්න ඕන කාලෙ වැඩ ගන්නවා කියලා මිනිස්සු අපිට බණින් නැද්ද අක්කා?

ඇය අසන්නේ ළතැවුලිනි

“ඕනවට වඩා වැඩි විවේකයත් වේදනාවක් නංගියේ”

මම හින‍ැහෙන්නට වෑයම් කරමි.

“ඇයි බැරි බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න?

“වයසට ගියා කියල පැත්තකට කරන්න නරකයි කිසිම කෙනෙක්ව. නිකං මේ වැඩ අරගෙන පාට්ස් ගෙවුණට පස්සේ අයින් කරන මැෂින් එකක් වගේ මිනිස්සු අයින් කරන්න බෑ... එහෙම කරන්න හොඳ නෑ.... වැහැරිලා දිරල යන ශරීරයේ හැඟීම් දැනීම් තියෙන දුක හිතෙන සතුටු වෙන හදවතක් තියෙන බව අමතක කරන්න හොඳ නෑ නෙ” යි මා කියාගෙන යන්නේ විස්මයෙන් හා දොම්නසිනි.

“ඒ වුණාට.....”

“අනේ ළමයො අපිත් හැමදාම මෙහෙම ඉන්නෙ නෑ... අපිත් වයසට යනවා... වැඩ නොකර හිටියොත් ලෙඩත් වැඩියි. ආයුෂත් කොටයි.ඕනවට වඩා වෙහෙස නොවි පොඩි පොඩි වැඩ කරන එක නවත්තන්න හොඳ නෑ..”

“ඔතන තියෙන්නේ දරු මුනුපුරන්ගෙ නම්බුව පිළිබඳ ප්‍රශ්නයක්...”

මේනු සැහැල්ලුවෙන් තෙපළයි.

“ඒ නම්බුව බම්බුවකට වඩා වටින්නේ නැද්ද?. මනුස්සයෙක්ගෙ සතුට....?”

දිගු දිවි ගමන්මඟ ඉසිඹු නොලද ගැහැනිය මල් පූජා කරන බව අපට දැනුම් දෙන්නේ “කුසුමේනනේන පූජේන ගාථාවයි. අපි නිහඬ වෙමු.