2012-02-03

 

පිය උරුමයේ වාසය කිරීමට නම්

පිය උරුමයේ වාසය කිරීමට නම්

අපිට පිය උරුමයෙන් ගෝචර වූ ස්ථානය මොකක්ද? ඒක තමයි සතිපට්ඨානය. පිය උරුමයෙන් අපිට උරුම වෙලා තියන ආරක්‍ෂිත තැන තමයි සතිපට්ඨානය. එහෙනම් අපි සතිපට්ඨානයෙන් බැහැරවුන ගමන් අනාරක්ෂිත තැනටයි යන්නෙ. ඒ සතිපට්ඨානයට පිවිසීම තමයි ලෝකයේ දුෂ්කරම කාරණාව. යම් කෙනෙක් මුලු ජීවිතයම ගතකරල හරි කමක් නෑ, වෑයම් කරල මේ සතිපට්ඨානය වටහාගෙන, මේ සතිපට්ඨානයේ සිත පිහිටුවා ගන්න පුරුදු වුණොත්, එයා මේ මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙලාගත් කෙනෙක් බවට පත්වෙනව.

යමෙක් සතිපට්ඨානය අදුනගෙන, සතිපට්ඨානයේ හිත පිහිටුවගන්න පුළුවන් වෙන කොට, එයාට පුළුවන් වෙන්නෙ මොකක්ද? ඒ පිය උරුමයෙන් ලැබෙන ආරක්‍ෂිත තැනට හිත පිහිටුවගන්න එයාට පුළුවන් වෙනව. එහෙම නැත්නම් එයා අනාරක්‍ෂිත තැනක ඉන්නෙ. අනාරක්‍ෂිත වූ සියලු තැන් කාටද අයිති ? ඒ සියලු තැන් මාරයාටයි අයිතියි.

දැන් බලන්න, අපි මහණ වෙලාද ඉන්නෙ,ගිහිවද ඉන්නේ, ධර්මයද කතාකරන්නෙ, පොත්පත් බලනවද, කියන කාරණා නෙවෙයි අපිට වඩා වැදගත් වෙන්නෙ. අපි සතිපට්ඨානය තුල වාසය කරනවා නම්, ඒක තමයි අපිට වඩා වැදගත් වෙන්නෙ. අනික් හැම එකක්ම උපකාරී විය යුත්තේ සතිපට්ඨානයට ඒමටයි. ධර්මය ඉගෙනගැනීම වේවා, ධර්මය කථාකිරීම වේවා, සිල් සමාදන් වීම, සිල් රැකීම වේවා, භාවනා කිරීම වේවා, මේ හැම එකක්ම කුමකටද උපකාරී කරගත යුත්තේ? සතිපට්ඨානයට ඒමටයි උපකාරී කරගත යුත්තේ.

එහෙනම්, අපි ධර්මය ඉගෙනගත්ත පමණින්ම බුදුරජාණන් වහන්සේට අයිති කෙනෙක් වෙන්නෙ නෑ. සිල් සමාදන් වූ පමණින් ම බුදු රජාණන් වහන්සේට අයිති කෙනෙක් වෙන්නෙ නෑ. ධර්මය කියාදුන් පමණින් බුදුරජාණන් වහන්සේට අයිති කෙනෙක් වෙන්නෙ නෑ. අපි බුදුරජාණන් වහන්සේට අයිති කෙනෙක් වෙන්ට නම් සතිපට්ඨානයට එන්න ඕන. අපි සතිපට්ඨානයට එන්ට නම් කීකරුකම , නිහතමානීකම ආදී ගුණධර්ම ඇතිකරගන්ට ඕන.

නිහතමානීකම, කීකරුකම නැතිවුනොත් එයාට මේ සතිපට්ඨානයේ හිතේ පිහිටුවාගන්න බැරුව යනව. කීකරුකමයි, නිහතමානීකමයි නැත්නම්, කැළඹුණ සිතකින් එයා වාසය කරන්නෙ. විසිරුණ සිතකින් එයා වාසය කරන්නෙ. මාන්නෙ ආපු ගමන් එයා විසිරුණ හිතෙන් ඉන්නෙ. අකීකරු වුන ගමන් එයා විසිරුණ හිතෙන් ඉන්නෙ. එයා ඒ ස්භාවය තේරුම් ගන්නකම් සතිපට්ඨානයට එන්න බෑ.

ඒවගේම තමයි දෙතිස් කතාව, ඒකත් අපිව සතිපට්ඨානයෙන් බැහැරට ගෙන යන දෙයක්. ඒනිසයි අපට බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ දසකථාවට එන්න කියල, දස කථාව කරමින් වාසය කරන්න කියල. අපි දස කථාවෙන් තොරවුන ගමන් සතිපට්ඨානයෙන් තොරවෙලා යනව. දස කථාව තුල තමයි සතිපට්ඨානයට අනුග්‍රහය ලැබෙන්නෙ. දස කථාවෙන් බැහැරවුන ගමන් සතිපට්ඨානයෙන් අපි බැහැරට යනවාමයි.

එතකොට දස කථාවට අනුග්‍රහය ලැබෙන්නෙ කොහෙන්ද? කල්‍යාණ මිත්‍ර ඇසුරෙන්. දස කථාවට එන්නනම් අපි කල්‍යාණ මිත්‍ර ඇසුරෙ ඉන්න ඕන. එතකොට කල්‍යාණ මිත්‍ර ඇසුරට අනුග්‍රහය ලැබෙන්නෙ මොකෙන්ද? නිහතමානීකමෙන් , කීකරුකමෙන් . ඒකෙන් තමා කල්‍යාණ මිත්‍ර ඇසුරට අනුග්‍රහ ලැබෙන්නෙ. අපි තුල නිහතමානී කමත්, කීකරු කමත් නැතිවුන ගමන් කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් අපි බැහැරට යනව.ඒ ඇසුර අපේ සිතෙන් ප්‍රතික්‍ෂේප වෙලා යනව. කල්‍යාණ මිත්‍ර ඇසුර ප්‍රතික්‍ෂේප වුන ගමන් දස කථාව ප්‍රතික්ෂේප වෙලා යනවා . දස කථාව ප්‍රතික්‍ෂේප වුන ගමන් එතන වීරියත් නෑ, ප්‍රඥාවත් උපදින්නෑ. එහෙනම් සතිපට්ඨානය ගැන කථාවක් එතන නෑ. සතිපට්ඨානය ගැන කථාවක් නැතිනම්, අපිට පිය උරුමයෙන් ලැබුනු ගෝචර ස්ථානයේ වාසය කිරීමක් ගැන කථාවක්වකුත් නෑ. පිය උරුමයෙන් ලැබුන ගෝචර ස්ථානය ගැන කථාවක් නැත්නම් එතන වාසය කිරීමකුත් නෑ. එතන වාසය කිරීමක් නැත්නම් එයා මාරයාගේ බැම්මට අහුවෙලා. මාරයාගෙ බන්ධන තුලයි එතකොට එයා ඉන්නෙ.

එහෙනම් අපි, මාර බන්ධනයෙන් නිදහස් වීම පිණිස පටන්ගත යුත්තේ කොතනින්ද? නිහතමානී කම , කීකරුකම ඇතිකර ගැනීමෙන්. අන්න එතන කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙනව. අන්න එතන දස කථාව තියනවා. අන්න එතකොට වීරිය උපදින්ට උපකාර ලැබෙනව. වීරිය උපදවාගැනීම පිණිස අනුග්‍රහ ලැබෙනව. අන්න එතන ප්‍රඥාව උපදවාගැනීම පිණිසත් අනුග්‍රහ ලැබෙනව. එතන ඒ සියළුම අනුග්‍රහයන් උපකාර වන්නේ සතිපට්ඨානය හඳුනා ගැනීමට, සතිපට්ඨානයේ හිත පිහිටුවාගැනීමට , සතිපට්ඨානය තුලම වාසය කිරීමට.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!