2012-02-10

 

උපන් පාලනයක් ඇතිකර ගනිමු.

උපන් පාලනයක් ඇතිකර ගනිමු.

සංවරකම කියන එක හැමතැනකදීම අපි තියාගන්ට ඕන. පිරිස ඉන්න තැනත් සංවර වෙන්ට ඕන. පිරිස නැති තැනත් සංවර වෙන්ට ඕන. සංවරකම කියන එක ලෝකයට මවාපාන එකක් නෙවෙයි. ඒක ශරීරයට කාවැදුන දෙයක් වගේ තියෙන්ට ඕන. එහෙම නැත්නම් අපි ලෝකෙට පේන්ට සංවරයි වගේ ඉන්නවා. කවුරුත් නැති තැන අපි අසංවරව වාසය කරනවා.

ඒක අපි ජීවිතය දියුණු කරන විධියක් නෙවෙයි. එතකොට අපි රඟපාන චරිත බවට පත් වෙනවා. රඟපාන චරිත වලට ධර්මාවබෝධයක් කරා යන්න බෑ. ඒ විදියට කුසල් රැස්වෙලා යන්නෙ නෑ.

ඒ නිසා හිතා මතා, අපේ ජීවිතය සංවර කරගන්ට ඕන කියල කල්පනා කරගන්න. පිරිස හිටියත්, නැතත් ඒ සංවරකම ඇතිකරගන්ට ඕන. අපි බාහිර පාලනයකින් පාලනය වෙන්ට උත්සාහ කරන්ට හොඳ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ වැඩිහිටියන් ඇසුරේ ඉන්ට එපා කියල. වැඩිහිටි ඇසුරේම තමා අපිට දියුණුවෙන්ට තියෙන්නේ.

හැබැයි ඒ පාලනය තමා තුල පිහිටුවා ගන්ට ඕන තමන්මයි. ආන්න ඒ පාලනයට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සේඛ බල කියල. ඒව තමා ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. ආන්න ඒවා තමයි සේඛ බල. ඒ සේඛ බල අපි තුල ඇතිකරගත්තොත්, අපේ ජීවිතයට පමුණුවා ගත්තොත්, දියුණු කරගත්තොත් අපි ඒක තුල පාලනය වෙනවා. ඒක බාහිර පාලනයක් නෙවෙයි. අභ්‍යන්තරය තුල දියුණු කරගත්ත පාලනයක්. අපි ඒ සේඛ බල ඇතිකරගත යුත්තෙ වැඩිහිටි ඇසුරේ ඉඳගෙනයි. කල්‍යාණමිත්‍ර ඇසුරේ ඉඳගෙනයි.

එහෙමනම් අපි, අපි තුල උපන් පාලනයක් ඇතිකරගන්ට ඕන. ඒ උපන් පාලනය ඇතිකරගන්ට නම්, වැඩිහිටි ගුරු ඇසුරේ ඉඳගෙන ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, පඥ්ඤාව කියන ඒ සේඛ බල ඇතිකරගන්ට ඕන.

ඒක බලහත්කාරයෙන් කරන එකක් නෙවෙයි. හිතාමතාම තමන් කල්පනා කරල ඇතිකරගතයුතු දෙයක්.

ඊළඟට සේඛ ධර්ම තුලම තමයි නිවන් මඟ පෑදෙන්නෙ. සේඛ ධර්ම තිබුනොත් තමයි සීලය පිරෙන්නෙ. සීලය පිරුණොත් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ. සම්මා දිට්ඨිය ඇති වුනොත් තමයි සම්මා සමාධිය ඇති වෙන්නෙ.

ඒ නිසා සේඛ බල ඇතිකර ගන්න. එහෙම නැත්නම් අපිට මේ ශාසනයෙ බලාපොරොත්තු වන ප්‍රතිඵලය කරා යන්ට බෑ. ශාසනයේ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නිවනයි. ඒක කරා යන්ට බැරි වෙනවා අපි ඒ ගුණධර්ම හදා නොගත්තොත්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!