පෙම්වතිය මරා රන් බඩු කොල්ල කෑ පෙම්වතා

පෙම්වතිය මරා රන් බඩු කොල්ල කෑ පෙම්වතා

කෙතරම් උගත්කමක් තිබුණත් ගැහැනුන් රැවටිය හැකි හොඳම විකල්පය වන්නේ ආදරයයි. එහෙමත් නොවේනම් මවාපාන ළෙන්ගතුකමයි. අනුවණකමට හෝ නොදන්නා කමට පිරිමියකුගේ වදනකින් සියුම් පහසකින් ගැහැනියක ඉතාමත් පහසුවෙන් රැවටිය හැකිය.

එය ගැහැනු ගතියයි. ඒ.... සීමා මායිම් බිඳගෙන තම ආත්මය බේරාගෙන එගොඩ වන ගැහැනුන් ද නැත්තේ නොවේ. ආදරයට ආදරය කිරීම යනු එවන් මළපුඩුවකට ඇද වැටෙන ස්ත්‍රී ගුණයක ඇරඹුමයි.

බොහෝ වංචාකාරී මිනිසුන්ගේ කතාබහට රැවටෙන ගැහැනුන් ඒ මායාකාරී දැලෙහි පැටලී තමන් සන්තක දේ අහිමි කරගත්තා පමණක් නොව ජීවිතයෙන් ද වන්දි ගෙවීවේ අනුවේදනීය ලෙසය. එදා මෙදා තුර ප්‍රකට වූ බොහෝ ස්ත්‍රී ඝාතන අතරේ අපට අවසානයේ අසන්නට ඉතිරි වෙන්නේ පිරිමියකුට ආදරය කළ අහිංසක කාන්තාවන්ට මහමඟ උරුම වූ බිහිසුණු අපරාධයන්ම පමණකි. ඇඩ්ලිස් විතාරණ පරපුරේ බොහෝ කාන්තාවන් ජීවිතය හැර ගියේ ආදරය මුවාවෙන් තම ජීවිත විනාශ කළ මිනිසුන් නිසාය. එහෙත් ඔවුන්ට කිසිදා ඉන් මිදී සැඟවී සතුටින් ජීවත් වීමට ලැබුණා ද?

අප ඇයට රූපිකා යයි කියන්නේ හඳුනාගැනීමේ පහසුවටය. රූපිකා දරුවන් ලැබූ කාන්තාවකි. ඇය ගියේ කිසියම් වූ කරුණක් වෙනුවෙන් දන්නා හඳුනන දේවාලයකටය. සාමාන්‍යයෙන් ඒ දේවාලයේ වත් පිළිවෙත් සිදුවන්නේ රාත්‍රී දොළහෙන් පසුවය. ඒ මොහොත උදාවනතුරු පූජා වට්ටි දෝතින් ගත් බැතිමතුන් එහි රැඳී සිටින්නේ නොඉවසිලිමත්වය. දුර බැහැර සිට පැමිණෙන බැතිමතුන් එළිවෙනතුරු, දේවාලයෙහි රැඳී සිටීම ද එහි සිරිතය. ඒ සෑම පූජා වට්ටියකම නම ලියා තබන්නේ හඳුනාගැනීමේ පහසුවටය.

සියල්ල මෙලෙස සිදුවෙද්දී කපු මහතා ද සිය දේවාලයේ කටයුතු පුරුදු පරිදි ම කරගෙන ගියේය.

දේවාලයේ කටයුතු එලෙස එළිවනතුරු සිදුවෙමින් පවතිද්දී කැළණි ගං තොටුපළේද යම් කලබලයක් සිදුවෙමින් තිබෙනු කිසිවකු දැන සිටියේ නැත. වැහි අඳුරේ ගිලෙමින් තිබු කැළණි ගඟේ වතුර පහර එතරම් සැඩ නොවීය. තොටුපළ තුළ යහමින් වැලිගොඩ දැමීම සිදුවෙමින් තිබූ අතර එය හැඳින්වුයේ “තරාල” තොටුපළ ලෙසය. වැලිගොඩ දැමීමෙන් තම ජීවනෝපාය තර කරගත් බොහෝ දෙනකු පාන්දරින්ම තම රාජකාරියෙහි යෙදීමට ගඟ දියට බැස්සහ. එහිදී දුටු දසුනින් ඔවුහු මහත් භීතියට පත් වූහ.

“ඒයි මේ බලාපල්ලා කවුද ගෑනියෙක් මේතැන මැරිලා ඉන්නවා.” වැලි ගොඩදැමීම පසෙකලා මේ මෘත දේහය පිළිබඳ වඩාත් විමසිලිමත් වු පිරිස කෑ කොස්සන් ගැසුවේ බියපත් දෑසින් යුතුවය.

වැලිතලාවේ ගැටී උඩුබැලි අතට හැරී තිබුණු කාන්තා සිරුර කාටත් ගැටලුවක් වුයේ එය කාගේ ද යන්නය. ඒ අනුව පූගොඩ පොලිසිය දැනුවත් වන්නේ ඉන් අනතුරුවය. එතැනට පැමිණි නිලධාරීන් මෘත දේහය තිබූ අවට පරීක්ෂා කිරීමට පටන් ගත්තේය.

“සර්... මේ හෑන්ඩ් බෑග් එකක් තියෙනවා. මැරුණ කෙනාගේ වෙන්න ඇති.” අඩි සියයක් පමණ ඈතින් තිබූ බෑගය තිබූ තැනට මඳක් ඇතින් වුයේ කාන්තා සෙරෙප්පු යුගලකි. එම බෑගය විවෘත කර බැලු පොලිස් නිලධාරීන් දුටුවේ සබන් කැබැල්ලක්, දත් බුරුසුවක් කණ්ණාඩියක් ඇතුළු තවත් බොහෝ දෑ එතුළ ඇති බවය.

ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එතැනට කැඳ වූ පොලිසිය මිය ගිය කතගේ සිරුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළේය. ඉන් අනාවරණය වුයේ මිය ගිය කතගේ මරණය සිදුකර ඇත්තේ ගෙල සිර කිරීමෙන් බවය. කාගේත් ඊළඟ කුතුහලය වුයේ මරා දමන ලද කාන්තාව කාගේ කවුදැයි යන්න දැන ගැනීමය. එහෙත් ඒ සඳහා කිසිදු හෝඩුවාවක් නොවීය.

පැය කිහිපයක් ගතව ගියේය.

“සර් කට්ටියක් ඇවිත් එයාලගේ කවුද නැතිවෙලා කියලා කියනවා.”

එක් නිලධාරියකු ස්ථානාධිපතිවරයාට කියා සිටියේය. ඒ අනුව පැමිණ සිටියවුන් අදාල අංශයට යොමු කෙරෙන්නේය.

“සර්... මගේ බිරිඳ ඊයේ දේවාලයේ පූජාවකට ආවා. ඉන් පස්සෙ ගෙදර ආවේ නැහැ. අපි දේවාලෙට ගියාම කිව්වා පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාන්න කියලා.”

ඉන්පසුව අපරාධ විමර්ශන අංශ බාර නිලධාරියා ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේ සිතේ උපන් චකිතයක් ද ඇතිවය. ඒ අතරතුර අතුරුදන් වූ කාන්තාවගේ තරුණ දියණිය පොලිසියට යම් යම් දේ පැවසුවාය.

“අම්මා පූජාවකට තමයි ආවේ. කපු මහත්තයා කිව්වා අම්මගේ නම ගහපු පුජා වට්ටියක් නම් ඉතුරුවෙලා තියෙනවා කියලා. අම්මා නම් පේන්න හිටියෙ නැහැ කියලා.”

පොලිසිය ඇගෙන් මවගේ හැඩරුව විමසුවේය. ඒ අනුව තරාල තොටුපළේදී හමු වූ මෘත දේහය ඇගේ මවගේ විය නොහැකි දැයි පොලිසිය කල්පනා කර බැලුවේය. නිගමනය තවදුරටත් තහවුරු වුයේ මිය ගිය අය සතුව තිබූ බඩු බාහිරාදිය පැමිණ සිටි අය හඳුනාගැනීමෙන් පසුවය. මෘත දේහය ඥාතීන් විසින් හඳුනාගනු ලැබුවේ ඉන් පසුවය. ඇය රූපිකාය.

“සර්. එයාගේ අතේ තිබ්බ මුද්දත් නැහැ. කරේ තිබුණ මාලෙත් නැහැ.” සැමියා පොලිසියට කීවේය.

“මං දේවාලෙට එද්දී අම්මට රුපියල් දහදාහක් දුන්නා. ඒකත් නැහැ.” දියණිය ද කීවාය.

“ඇයි... සර් අම්මගේ ෆෝන් එකත් නැහැ.”

පොලිසිය එහි අංකය ඉල්ලාගෙන, ආ ගිය ඇමතුම් පිළිබඳ පරීක්ෂා කිරීමට උසාවි නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය. ඒ අනුව ග්‍රාහක ලැයිස්තුව ලැබෙන තුරු නිලධාරීන් විපරමින් සිටියේය.

අදාළ දේවාලයේ කපු මහතා හමු වී ඔහුගෙන් ද කටඋත්තරයක් ගත්තේය.

“ඔය කියන පූජා වට්ටිය මෙතැන තිබුණා. අපේ ළමයි නම කියලා කිහිප සැරයක්ම කතා කළා. ඒත් අයිතිකාරි ආවෙ නැහැ.” කපු මහතා කීවේය.

මේ වන විට විවිධ කට කතා පැතිරෙමින් තිබුණි. ඒ අතර ඔත්තුකරුවන්ද යොදාගෙන තොරතුරු අනාවරණය කරගැනීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. ඇය දේවාල බිමට යන එන අයුරු දුටු කෙනකු සොයා ගැනීම එහි අරමුණ විය. ඒ වනවිට දුරකථන ඇමතුම් ග්‍රාහක ලැයිස්තුව පොලිසිය අතට පත් වී තිබිණි.

මේ අනුව ඇය මියගිය දින හා ඊට පෙරදින ඇයගේ දුරකථනයට ලැබුණු හා ගිය ඇමතුම් පිළිබඳ විමර්ශනයක යෙදුණේය. එහි තිබු එක්තරා අංකයක් පිළිබඳ නිලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඔය අතරය. ඒ අංකය පසුපස හඹාගිය පොලිසියට හමුවුයේ පළාතේ වැලි ව්‍යාපාරිකයෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වුයේ මෙවන් කතාවකි.

“සර්... ඔය ෆෝන් එක දැනට මාස 03 කට විතර කලින් මම මගේ ගෝලයකුට දුන්නා. මිනිහ තමයි ඒක පාවිච්චි කරන්නේ. දැන් ඉන්න තැනක් නම් දන්නෙ නැහැ සර්.”

වැලි ව්‍යාපාරිකයා පොලිසියට කීවේය.

පොලිසිය ගෝලයා සොයා ලුහුබඳින්නේ ඉන්පසුවය. ඔත්තුකරුවන් මාර්ගයෙන් ගෝලයාගේ ගම සොයාගත් පොලිසිය සිවිල් ඇඳුමෙන් සැරසි ගම වටා සැරිසරන්නට විය.

“සර්... මිනිහට රතුපාට මෝටර් සයිකලයක් තියෙනවා. මිනිහ කලිනුත් හිරේ ඉඳලා ආපු කෙනෙක්. ”

“සර් හෙට මිනිහගේ අක්කගේ ගෙදර දානයක් තියෙනවා. මිනිහා අනිවාර්යෙන්ම ඒකට එනවා.” මෙලෙස තොරතුරු ගලා එන්නට විය.

ඒ අනුව පොලිසියේ සැලසුම ක්‍රියාත්මක විය. නිලධාරීන් දාන ගෙදර රැකවල්ලා සිටියේය. විනාඩි කිහිපයක් ගත විය. රතුපාට යතුරුපැදියක් ඉදිරියට එමින් තිබිණි. නිලධාරීන් විමසිලිමත් විය.

“සර්... මිනිහා එනවා. නවත්වලා ඇඩ්ඩ්‍රස් එකක් අහමු.” නිලධාරියකු පැවසීය. ඒ අනුව ඉදිරියෙන් ආ යතුරු පැදිය නතර කෙරිණි.

“පුතා... මේ ගේ කොහේද තියෙන්නේ.”

නිලධාරි දෙදෙනකු වෑන් රථයෙන් බිමට බැස ගත්තේ එලෙස අසමිින්ය.

සැනෙකින් අදාල පුද්ගලයාගේ බඳවටා ඇදී යන්නේ නිලධාරියකුගේ දෙඅත්ය. සෙසු නිලධාරිහූ ඔහු කුදලා වෑන් රථයට දමා ගත්හ. දෑතට වැටුණු විලංගු සහිතව ඔහු බියපත්ව වටපිට බැලුවේය.

“ඇයි සර්.... මේ මොකද? මං මොකුත් කළේ නැහැනේ.” ඔහු නිලධාරින්ගෙන් ඇසුවේය.

“එහෙනම් උඹ මොනවද කරලා තියෙන්නේ කියලා කියපන.්”

සැකකරු නිහඬය. ඔහු කිසිවක් නොකියා සිටීමට වගබලා ගත්තේය. දුරකථන අංකය පෙන්වා සිටියත් ඔහු ගොළුවතම රැක්කේය. එහෙත් පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට තව දුරටත් නිහඬව සිටීමට නොහැකි විය. ඒ අනුව අබිරහසක් වූ ඝාතනයක තොරතුරු හෙමිහිට දිග හැරෙන්නට පටන් ගත්තේය.

විවාහකයකු වූ ඔහු වැලි ලොරිවල වැලි පැටවීම බෑම කළේය. ඒ අනුව ළඟ පාත වැලි තොටුපළවල් පිළිබඳ මනා දැනුමක් ඔහු සතු විය. ඔහුට මියගිය රූපිකාව හඳුනාගන්නට ලැබී ඇත්තේ අහම්බයෙනි. හදිසියේම ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු “මිස් කෝල්” එකකිනි. ඔහු එම ඇමතුම ලැබුණු අංකයට ඇමතුමක් දුන්නේය. ප්‍රතිචාර දැක්වුයේ කාන්තාවකි. ඒ ඇමතුම හිතුවාට වඩා දුරදිග ගියේය.

මියගිය රූපිකා පූජාවක් තැබීම සඳහා කඩවර දේවාලයට පැමිණෙන බව ඔහුට පවසා තිබුණි.

“එතැන ඒ දෙන්නා කතා කර කර ඉඳලා තියෙනවා. එහිදී ඇති වූ බහින්බස් වීමත් සමඟ ඔහු ඇයට පහර දීලා. බිම වැටුණාම ඇගේ මුහුණ වැලි තලාවේ ඔබාගෙන ඉඳලා තියෙනවා. ඇයට සිහිය නැති වුණාම බෑග් එකේ තිබුණු චීත්තයක් අඹරලා අරගෙන බෙල්ල වටේ දාලා ඇදලා ඝාතනය කරලා තියෙනවා. ඊට පස්සේ අතේ තිබුණු මුද්දත් මාලයත්, සල්ලිත් අරගෙන පස්සේ සිරුර, පල්ලමට ඇදලා දාලා ඇගේ ජංගම දුරකථනයේ “සිම්” එක ගලවලා ගඟට විසි කරලා යන්න ගිහින් තිබුණා.” සැකකරු හෙළිදරව් කළ කරුණු එළෙස පොලිසිය අනාවරණය කළේය.

“එදා හොඳ වෙලාවට ගඟේ වතුර අඩුයි. ඒ නිසා සැඩ පහර අඩුයි. ඒ නිසාම මළ සිරුර ගඟේ පහළට ගහගෙන ගිහින් තිබුණේ නැහැ. නැත්තම් මළ සිරුර සත්තු කන්නත් ඉඩ තිබුණා. මිනිහා එහෙම හිතුවා. ඒත් එහෙම වුණේ නැහැ.”

සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.

2008 වසරේ පූගොඩ පොලිස් වසම තුළ සිදු වූ අපරාධයකි.

සහකාර පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ, පුගොඩ පොලිස් ස්ථානාධිපති දුමින්ද දිනේෂ් වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති ආර්. රණසිංහ, උපපොලිස් පරීක්ෂක මායාදුන්න, සැරයන්වරුන් වූ මුණසිංහ (12733) අතුකෝරාල (55374) හා කොස්තාපල් හපන්ගම (64970) හා පියරත්න (27790) යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන වල නිරත වුහ.

රූපිකා යනු සැබෑ නම නොවේ.