කෙනඩි ඝාතකයා ජොන්සන් ?

කෙනඩි ඝාතකයා ජොන්සන් ?

ඒ 1963 නොවැම්බර් 22 වැනි දිනයි. සිකුරාදා දිනයක් වූ එදින ටෙක්සාස් හි, ඩලස් නගරයේ අමෙරිකානුවන් මඟ දෙපස රැස් වී සිටියේ සිය ආදරණීය නායකයා බැලීමටයි. සොඳුරු සිනහවකින් මුව සරසා ගත් ජෝන් එෆ්. කෙනඩි ජනපතිවරයා ජනතාවට ආචාර කරමින් මෝටර් රථ පෙරහරකින් ගමන් කළේය.

ඔහු සමඟ බිරිය ජැකලින්, ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි හා ඔහුගේ බිරිය නෙලී ද වූහ. ගත වූයේ නිමේෂයකි. ලී හාවේ ඔස්වල්ඩ් නම් සාහසිකයාගේ වෙඩි පහරක් කෙනඩිගේ හිස පසාරු කර ගෙන ගියේය.

විශිෂ්ට දර්ශනයක් තිබූ උදාර නායකයෙක් රටට අහිමි කළ ඝාතනය ගැන වරින් වර විවිධ මතභේදාත්මක කතා ගෙතිණි. එහෙත් මෙය නම් බැහැර කළ හැකි කතාවක් නොවෙයි. කතාව කර තිබෙන්නේ කෙනඩිගේ බිරිය ජැකී හෙවත් ජැකලයින් වීම ඊට හේතුවයි.

තිස් හය වැනි ජනපති වීමේ වරම ලැබූ ලින්ඩන් බී. ජොන්සන්, කෙනඩි ඝාතනයේ ප්‍රධාන වගඋත්තරකරු බව ජැකලයින්ගේ ඒකායන විශ්වාසයයි. එදින උප ජනපතිවරයා වූ ජොන්සන් දකුණේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සිටි අතර ඔහු ඝාතක හාවේ සමඟ සම්බන්ධතාවක් පවත්වා තිබේ.

ජොන්සන් ටෙක්සාස් වැසියකි. අග්‍රාණ්ඩුකාරවරයකුව සිට සෙනෙට් සභාවට තේරී පත් වුණු ඔහුට කෙනඩිගේ අකල් මරණය වාසනාව ගෙනාවේය.

කෙනඩි ඝාතනය වී මාස කිහිපයකදී ඉතිහාසඥ ආතර් ස්ක්ලෙසින්ගර් සමඟ තැටි ගත කළ රහස් ටේප් පටිය, බොස්ටන් කෙනඩි පුස්තකාලයේ සීල් දමා ආරක්ෂා කර තිබේ. මරණයේ රහස කෙනඩි ආර්යාව පවසන පරිදි ඇත්තේ මේ රහස් ටේප් පටියේය. පසුව කෙනඩි බිරිය කෝටිපති ග්‍රීක නැව් හිමිකරුවකුª වූ ඇරිස්ටෝටල් ඕනාසිස්ගේ අත ගත්තාය. ජැකලයින් කියා සිටියේ එම රහස් ටේප් පටිය තමන් මිය ගොස් වසර පනහක් යන තුරු නිදහස් නොකරන ලෙසයි. සමහරු පවසන්නේ පවුලේ සාමාජිකයන්ට ඉන් අනතුරක් වේ යැයි කියා ඇය බිය වන්නට ඇති බවයි.

ජැකලයින් කෙනඩි වයස අවුරුදු හැට හතරේදී පිළිකාවකින් මිය ගියාය. ඒ මීට දාහත් වසරකට පෙරදීයි.

මවගේ ඉල්ලීම ඉවතලමින් ජෝන් එෆ්. කෙනඩිගේත්, ජැකලයින් කෙනඩිගේත් දියණිය කැරොලින් කෙනඩි පවුලේ රහස එළි දැක්වීමට ඉදිරිපත් වී ඇත.

රහස් කතාව ඇතුළත් වැඩ සටහන ඒ බී සී චැනලය මගින් ප්‍රචාරය කරන ලදී. ඝාතනය ගැන මෙන්ම අනියම් සබඳතා ගැන ද ටේප් පටියෙන් ලොවට හෙළි විය. ධවල මන්දිරයේ නවක වෛද්‍යවරයාගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් කෙනඩි ජනපතිවරයා පවත්වා ඇති බව ද එම ටේප් පටියෙන් හෙළි වේ.

එපමණක් නොව එකට එක කිරීමක් වශයෙන් කෙනඩි බිරිය හොලිවුඩ් තරුවක වූ විලියම් හෝල්ඩන් ඇසුරු කර තිබේ. එපමණක් නොව ෆියට් සමාගමේ නිර්මාතෘ ගියනි අග්නෙලී ද ඇයගේ පෙම්වතකු විය. ඝාතනයට සති කිහිපයකට පෙර කෙනඩි යුවළ සිය සබඳතාව නවතම මගකට යොමු කරමින් පවුලට තවත් දරුවන් එක් කර ගැනීම ගැන කතා බහ කරමින් සිටියහ.

ඉතිහාසඥ එඩ්වඩ් ක්ලීන්, කෙනඩිගේ චරිතාපදානය අළලා කෘති ගණනාවක්ම ලියූ අයෙකි. ඔහු පවසන්නේ ජැකලයින් යනු සැමියාගෙන් පලි ගැනීමට සබඳතා කිහිපයක්ම පැවැත් වූ කාන්තාවක බවයි. ‘ඇය තමන්ගේ අනියම් සබඳතාවලින් කෙනඩිට ප්‍රති ප්‍රහාර එල්ල කළා’ ඔහු කියා සිටින්නේය.

කනඩි යුවළගේ දියණිය පනස් තුන් හැවිරිදි කැරොලින් ඒ බී සී ගුවන් විදුලි සේවයෙන් එළි කළ පවුලේ රහස් කෙනඩි ඝාතනය පිළිබඳ කුතුහලය අවුස්සන කරුණක් බවට දැන් පත් වී ඇත. කෙසේ වෙතත් මේ වන විට ලින්ඩන් බී. ජොන්සන් ජනපති මිය ගොස් ද වසර තිස් අටක් සම්පූර්ණ වී අවසන්ය.

වර්තමානයේදී කෙනඩි ජීවිත කතාව මාලා නාටකයක් වශයෙන් විකාශය කෙරේ. ටොම් කෲස් කෙනඩි ලෙසත්, කෙටී හෝම්ස් බිරිය ජැකී ලෙසත් මෙහි චරිත නිරූපණය කරති. දැනටමත් මේ මාලා නාටකය ස්වාධීන කේබල් චැනල් කිහිපයක්ම මගින් විකාශය කෙරේ. එහෙත් ඩොලර් මිලියන 10 කට මිල නියම වූ එම නාට්‍ය ඒ බී සී චැනලයෙන් විකාශය වීම වැළැක්වීමේ අරමුණින් කැරොලින් මේ රහස් ටේප් පටිය ඔවුන් සමඟ හුවමාරු කර ගත්තේය.

කැරොලින් ගත් කතුවරියක වාගේම නීතිඥවරියක ද වන්නීය. ජෝන් එෆ්. කෙනඩිගේ ජීවත්ව සිටින එකම දරුවා ද ඇයයි. ජනාධිපති ධූරය දරද්දී ඈ කුඩා දැරියකි.

ජෝන් එෆ්. කෙනඩිට, ජැකලයින් බෝවියර් හමු වුණේ කොංග්‍රස් සාමාජිකයකුව සිටියදීය. චාර්ල්ස් එල්. බාලට් නම් මාධ්‍යවේදියා රාත්‍රී සාදයකදී ජැකීව හඳුන්වා දෙන ලදී. හඳුනා ගෙන වසරකට පසු ජෝන් සෙනෙට් සාමාජිකයකු වශයෙන් තේරුණු අතර දෙදෙනාගේ විවාහය ද සිදු විය. 1953 සැප්තැම්බර් 12 වැනි දින ජෝන් – ජැකී විවාහය සිදු වූහ. දෙදෙනාම පොප් ගායකයන්ට, නළු නිළියන්ට වඩා ජනප්‍රිය වූහ.

සජීවි වැඩසටහන් කිරීමට මාධ්‍යයට අවසර දුන් ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩිය. ජැකලයින් අලුත් සිතුවම්, ගෘහ භාණ්ඩවලින් ධවල මන්දිරය හැඩ කළාය. කලාකාරයන්ට ධවල මන්දිරය විවෘත තැනක් බවට පත් විය.

රහස් ටේප් පටිය ලොවට හෙළි කළ කැරොලින් කුඩා වියේදී තවත් දරුවන් දස දෙනකු සමඟ ළදරු පාසල් අධ්‍යාපනය ලැබුවේ ධවල මන්දිරයේදීමය.

කෙනඩි කාන්තා ලෝලයකි. ‘ඔබට එක දවසක් හෝ කාන්තාවක් නැතිව සිටිය හැකිද?’ දවසක් හිතවතකුගෙන් ඔහු අසා තිබේ.