නිදි නැති කොළඹ

නිදි නැති කොළඹ

වෙලාව 6.30යි. බස් රියෙන් තකහනියෙ මම බැස්සේ අනිත් හැමෝම පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණයට ඇවිත් ඇති කියලා හිතුන නිසයි. ඒත් කවුරුවත් නෑ. සමහරවිට අප්‍රේල් 01 වැනිදා මාව මෝඩයාට අන්දලා බයිට් කළාවත්ද? හිත කියන්නෙ ම එහෙම කතාවක්.

පිටකොටුව බස් නැවතුම්පොළ ළඟින් පාවෙන වෙළෙඳ සංකීර්ණයට බහින පඩිපෙළ ගාව වාඩිවෙද්දි හිතට පුංචි නුහුරක් නොදැනුනාම නෙවෙයි. කමක් නෑ ඕන දෙයක් මේක බොරුවක් නම් පොඩි රවුමක් ගහලා ගෙදර යන එකනෙ.

මම එහෙම හිත හිතා ඉන්නකොට කීර්තිරත්න අයියා එතනට ආවා. ඔන්න දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඊළඟට ලහිරු. ඔය වගේ එකා දෙන්නා අපි ඉන්න තැනට set වුණා.

හැමදාම කොළඹින් පිට සංචාරයේ යෙදෙන එටනල් ට්‍රැවලර්, මෙගාහයික් සමූහයේ සහ දි වයි බයිරෝඩ් සහෘදයන් මේ පාර තීරණය කළේ කොළඹ සංචාරය කරන්න. "කොළඹ මොනාද අනේ බලන්න තියෙන්නෙ?" එහෙම තමයි නේද ඔයාලට හිතුනෙ? ඒත් අපිට කියන්න තියෙන්නෙ කොළඹ මොනාද බලන්න නැත්තෙ කියලයි.

මේ කොළඹ සංචාරය ඇත්තට ම විශේෂ එකක්. මොකද මේ සංචාරය, දවල්ට තියෙන කලබල කොළඹ නෙවෙයි රෑට නිදි නැති කොළඹ බලන්නයි යන්න තීරණය වුණේ. කොහොම හරි අපේ නඩයට ඔක්කොම කට්ටිය විස්සකට වැඩි පිරිසක් එකතු වුණා. ගෑනු ළමයි දෙන්නෙකුත් නිදි නැති කොළඹ සංචාරයට එක්කාසු වුණේ මේ ගමනට සුන්දරත්වයකුත් එක්කාසු කරමින්.

වෘත්තීය ඡායාරූප ශිල්පීන් රැසකුත් ඒ අතර හිටියා. අපිත් එක්ක හැමදාම යන මූණු අතර තවත් අලුත් මූණු කිහිපයකුත් තිබුණේ මේ අපූරු ගමනේ චමත්කාරය විඳින්න තිබුණ ආසාව නිසාමයි.

මේ විසිදෙනාගෙ ම නම් ලියන්න ගියොත් මේ ලිපියේ බාගයක් ම ඒකට වෙන් කරන්න වෙන නිසා ඔන්න ඉතින් මං මේ පාර ඒ අයගේ නම් ලියන්න යන්නේ නෑ. ඒ නිසා මාත් එක්ක අවුලක් එහෙම ගන්න එපා හොඳේ.

කොහොමින් කොහොම හරි මේ විදිහට එකතු වුණ අපි පාවෙන වෙළඳසැලෙන් ගමන ආරම්භ කළා. අඳුර වැටීගෙන එන වෙලාවේ පුංචි පුංචි බංකු උඩ පෙම්වතුන් එකිනෙකාට තුරුළු වෙලා ඔවුන්ගේ ලොවක් ගොඩනඟමින් පෙම්බස් මුමුණන අපූරුව, ගොම්මන් හැන්දෑවට ගෙනාවේ අපූරු චමත්කාරයක්. මුළු රාත්‍රිය ම ඒ පෙම්බස් අසා පෙම්වත් වෙද්දි පහන් කණුවක් යට අපූරු මිනිසෙක් අපූරු වැඩක් කරමින් සිටියා.

ඒ තමයි රාජන්. එයා අපූරු සිත්තරෙක්. පාවෙන වෙළෙඳසැලට එන බොහෝ උදවිය රාජන් ළඟට ගිහින් එයාලගේ අපූරු සිත්තමක් ඇඳගන්න අමතක කරන්නේ නෑ. මේ තරුණ සිත්තරා දිවිගෙවන්නෙ මේ විදිහට තමන් ළඟට එන අයව සිතුවමට නැඟීමෙන්. අඩ අඳුරේ වගේ ම කෑලි කපන්න පුළුවන් ඝන කළුවරේදි වුණත් මේ අපූරු සිත්තරා පහන් කණුව යටට වෙලා ඔබ එනකම් බලා ඉඳීවි.

ඉතින් මොහොතක් එයා ගාවත් නතර වෙලා යන්න අමතක කරන්න එපා.

රාජන්ගෙන් සමුගත් අපි ඉස්සරහට ම ඇදෙද්දි දැක්කෙ අපූරු පිළිම වගයක්. රාත්‍රී අන්ධකාරයේ හෙවණැළි අතර මේ පිළිම පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ආකර්ෂණය තව තවත් වැඩි කළා.

අපේ කැමරා ශිල්පීන්ට නම් ඒ පිළිම තමන්ට ලැබුණ මැණික් ගෝනියකටත් වඩා වටින බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඔවුන්ගේ කැමරා කාච ඒ සුන්දර පිළිම එකිනෙකට ජීවයක් දෙන්න ලහිලහියේ වැඩ අරඹලයි ඒ වෙනකොටත් තිබ්බෙ.

ඉන් පස්සෙ අපි පිටකොටුව බස් නැවතුමට එද්දි නම් තිබුණෙ පුංචි කලබලකාරී බවක්. ඇපල් කඩවල මල්ලිලා සහ පුංචි පුංචි සුකුරුත්තන් බඩු විකුණන පුංචි පුංචි කඩවල සිටි මල්ලිලාටත් වැඩ කෝටියයි.

බස් නැවතුමේ බසයක් අල්ල ගන්න ආපු අයත් තවත් නා නා ප්‍රකාර මිනිස්සුත් ඒ කඩවල්වල රැඳිලා බඩු තෝරනවා. සමහර CD කඩ, ඔරලෝසු කඩ, ෆෝන් කඩ, පත්තර කඩ විතරක් නෙවෙයි ඔය හෝටල්වලටත් නිදහසක් නම් ඇත්තෙ ම නැති පාටයි. කොළඹ නිදියද්දි නොනිදන මේ කඩ ළඟ නොනිදන මිනිස්සුත් මහ ගොඩාරියක් එක්රැස් වෙලා. කොත්තු බාස්ලාගේ තාලෙට ගැසෙන කොත්තු හඬ පරදන්න එහා කඩේ සංගීත රාවයට හැකියාවක් නම් නැති පාටයි.

මේ දවස්වල ගඩුගුඩා විකුණන අයගෙනුත් පිටකොටුවේ බස්නැවතුම්පළ පිරී ගිහින්. රෑ එළිවෙනකම් නිදිවරමින් ජීවිතේ ගැටගහගන්න ඒ මිනිස්සු නොවිඳිනා දුක් විඳින හැටි දැක්කම ඇත්තට ම හිතට දැනුනෙ සංවේගයක්.

වයෝවෘද්ධ සීයා කෙනෙක් පුංචි පෙට්ටියක් උඩ පුංචි පුංචි බඩු ටිකක් තියාගෙන කවුරු හරි මොනවා හරි ගන්නකම් බිම ඇණ තියන් හිටියෙ, ජීවිතේ නානාප්‍රකාර හැලහැප්පීම්වලට මූණ දීලා මහා බර කන්දරාවක් ජීවිතේ පුරාවට ම ඇදගෙන ඇදගෙන ගිහින් තවදුරටත් ඒ බර දරන්න බැරි තරම් වෙහෙසකින්. ජීවිතේ කවදාවත් සැපක් විඳපු නැති මිනිස්සු දුක ම උරුම කරගෙන ඒ දුකින් ම මියැදෙන දිනය තෙක් මහා අරගලයක යෙදෙන අතරතුරේ පැය කිහිපයකට පුංචි විවේකයක් ගන්න කඩපිළක ඇඳවතින් ම පොරෝගෙන නිදාගෙන සිටි ආකාරයත් සිතට ගෙන ආවේ සංවේගයක්.

අපි මේ විදිහට ඉස්සරහට යද්දි... රාත්‍රියේ හැඩට පෙනෙන කොළඹ ඇතුළේ කකියන වේදනාවක කතාව තෙරපගෙන ඉන්න ආකාරය අපේ නෙත්වලට වගේ ම හිත්වලටත් ඇති කළේ සුළුපටු බලපෑමක් නම් නෙවෙයි.

වීදි ගණිකාවන් මිනිසෙක් ඩැහැගන්න උකුසු ඇස් හෙළමින් අඳුරු මුළු අස්සේ හිටියෙත් තම කුස විතරක් නෙවෙයි තවත් කුස් කීයක් නම් පුරවන්න වෙන්න ඇතිද? ඒ ගමනෙදි මට හිතුනේ එහෙමයි.

අපි ගුණසිංහපුර ඇතුළට යද්දි තවත් අපූරු තැනක් හම්බවුණා. ඒ තමයි කොළඹ නාන ළිඳ. අවුරුදු එකසිය ගානකටත් වඩා පැරණි මේ නාන ළිඳ පිටකොටුවේ දිවිගෙවන බොහෝ දෙනා යනඑන දන්නකියන සුපුරුදු තැනක්. පිටකොටුවේ මේ අපූරු ළිඳෙන් නා කියාගෙන යන්න බොහෝ දෙනා එතනට එනවා.

 ඒ එන උදවියට සබන්, ඔළුවේ ගාන්න පොල්තෙල් පමණක් නෙවෙයි තුවායක් වුණත් ලබා දෙන්න එතන භාරව ඉන්න පිරිස කටයුතු කරනවා.

ඒ වගේ ම වැසිකිළි අවශ්‍යතා පවා පිරිමසා ගැනීමේ පහසුකම සපයලයි තියෙන්නෙ. පොල්කටු අඟුරු ස්තිරික්කයෙන් ඇඳුම් පවා මැදලා දෙන මෙතන, වෙන ම ලොන්ඩ්‍රියක් පවා තියෙනවා. ඇතුළට ගිහින් මුළු දවසේ ම වුණත් හිතේ හැටියට නා කියාගෙන, ඇඳුම් මැදගෙන වැසිකිළි අවශ්‍යතා ඉටුකරගෙන, රෙදි සෝදාගෙන... මේ හැමදේම කරන්න, එක්කෙනෙක්ට වැය කරන්න වෙන්නේ රුපියල් 40ක් විතරයි. කොළඹ මැද නාන ළිඳ ගැන ඔයාලා කවදාවත් අහලා තිබුණද? මේක දැන් අවුරුදු 100කට වඩා අතීතෙක ඉඳන් පවත්වාගෙන එන තැනක්. එතනට ගියාම දැනෙන්නෙ හරි ම අමුතු හැඟීමක්.

හරියට 60-70 දශකයට ආපහු ගියා වගේ. ඒ තරම් ම අපූරුයි. ඉතින් කොළඹ ඉන්න ඔයාලත් මේ නාන ළිඳෙන් වතුර පනිට්ටුවක් නා ගන්න අමතක කරන්න එපා. ගුණසිංහපුරට ගිහින් ඕන ම කෙනෙක්ගෙන් අහුවම මේ තැන ඔයාලට පෙන්නාවි.

ඉතින් අදට මේ ඇති කියලා හිතෙනවා. සිද්ධ වුණ අනිත් අපූරු කතා ටික ලබන සතියේ කියන්නම්. එතකන් ඔන්න ඔයාලට පුංචි විරාමයක් දෙන්නම්.