මේ අත කාගෙද....?

මේ අත කාගෙද....?

රට ගමන් කරමින් සිටින්නේ වෙනත් දිශානතියකට ය. එය තේරුම් ගත යුතු ව තිබේ. එක්පසෙකින් ආණ්ඩුවට එරෙහි බොරු චෝදනා ගොඩනැඟෙමින් පවතී. ඒ මානව හිමිකම් සම්බන්ධයෙනි. තව අතෙකින් ආණ්ඩුවේ පහළ ස්ථරය දුර්වල කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. එය ආණ්ඩු පක්ෂයේ පහළ ස්ථරය පවා නොදන්නා කුමන්ත්‍රණයක් බව කිව යුතු ය. අද ප්‍රාදේශීය සභා ඔස්සේ ගොඩනැ‍ඟෙන්නේ එම තත්ත්වයයි. මෙය ආණ්ඩුවට හිතකර නොවන බව පළමුව කිව යුතු ය.

ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පමණක් නො ව එම සභාපතිවරුන් ද දූෂණයේ අගතැන්පත් බව අමුතුවෙන් කිව යුතු නැත. එය කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද සිදුවන සාමාන්‍ය සිදුවීමකි. සභාපතිවරයා නොයෙක් ආකාරයෙන් ගසාකෑම්වලට සම්බන්ධ වේ. එය යම් පමණකින් සීමා කළ ආණ්ඩුවක් ලෙස මහින්ද රාජපක්ෂ රජය හැඳින්විය හැකි ය.

මේ සන්දර්භය තුළ වටහා ගත යුතු කරුණු කීපයක් තිබේ. එක බටහිර රටවල් ශ්‍රී ලංකාව දුර්වල කිරීමට බලා සිටින බව ය. දෙක දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ ජාතික සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට බලා සිටින බව ය. දැන් රටේ ඉදිරි ගමනට එරෙහිව ක්‍රියාකරන ගෝලීය හා දේශීය බලවේග දෙකක් ඉතා තදින් ක්‍රියාත්මක වන බව ය.

ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් පවතින අයවැය විවාදවලදී මෙන් ම ඡන්ද විමැසීමේදී ද ආණ්ඩුවට යම් ප්‍රහාරයක් එල්ල වී ඇති බව සත්‍යයෙකි. මේ සත්‍යය ප්‍රබුද්ධයන් විසින් වටහාගත යුතුව තිබේ. අපට ඉදිරි ගමනක් තිබේ. එම ගමන වටහාගෙන ඉදිරියට යෑමට නම්; කල්පනාවෙන් ව්‍යාකරණය හැසිරවිය යුතු ය.

ප්‍රාදේශීය සභාවක අයවැයක් පරාද වූ පමණින් ආණ්ඩුවක් බිඳ වැටෙන්නේ නැත. ප්‍රාදේශීය වශයෙන් නුසුදුසු ‍හා නො ගැළපෙන නායකයෝ ද බලවත් තනතුරුවලට පත්වෙති.

එවැනි අයගේ ඇතැම් කෙරුවාවල් පක්ෂයට කෙසේවතුදු ජනතාවට නම් ජීර්ණය වන්නේ ම නැත. එවිට ජනතාව කල්පනා කරන්නේ අනේ අපොයි අපි කරගත් විපතක මහත යැයි කියාය. එහෙත් ඒ වනවිටත් විය යුත්ත සිදුවී හමාරය. නිවැරදි කිරීම සඳහා කල්ගත වන්නේය.

තවත් අතෙකින් ගමට රටට සේවාවක් සැලසීමේ උවමනාවක් සහිත පුද්ගලයන් පළාත් පාලන ආයතන ප්‍රධානී තනතුරට පත්ව සිටින බව අමතක කළ යුතු නැත. එහෙත් එතැනද කොස්සකි. “රටට‍ ෙපර මට” චේතනාවෙන් කටයුතු කරන්නෝ එවැනි චරිත නුරුස්සති.

ප්‍රධානියා ගමට සෙතක් කර ඉදිරියට යාදැයි ඔවුන් බියවේ. එවිට පිළිතුර කකු­ෙලන් ඇදීමය. අදාළ පළාත් ප්‍රධානීන්ද ප්‍රාදේශීය තලයෙන් මතුව විත් තමාට අභියෝගයක් වේ යැයි කිසියම් අයෙක් ගැන සැක සිතාද ඔහුගේ ගමන වළකන්නට සියලු උප්පරවැට්ටි දමන්නේය. මේවා මෙසේ නොවේ යැයි ස්ථිර ලෙස කීමට හැකි කාටද...? එසේ වුව මෙවැනි ක්‍රියා මඟින් සිදුවන්නේ පක්ෂයේ ගෞරවය කෙලෙසීමය. ජනතා අපේක්ෂා බිඳවැටීමය. රට ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට බාධා සිදුවීමය.

එබැවින් පළාත් පාලන ආයතන තුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය දෙස විචාරාක්ෂියෙන් යුතුව අවධානය යොමු කිරීම යෙහෙකි.

එය ප්‍රදේශයේද රටේද පක්ෂයේද යහපත පිණිස වන බැවිනි. එවිට අරාබි වසන්තය මෙහි උදාකරන්නට කවරකු හෝ වළි කන්නේදැයි නිශ්චය කරගැනීමට හැකිවනු ඇත.

අනෙක් අතින් සන්ධානයේ ලේකම්වරයාද දැඩි තීන්දුවකට එළඹ ඇති බව වාර්තාවිණි.

කොතැනකින් කවර ලෙස හෝ අනාවරණය කරගත යුතුව ඇත්තේ මෙහි සත්‍යාසත්‍යතාව කුමක්ද එහි පසුබිම කුමක්ද යන වගය. නොඑසේම ජනතාවගේ මුදල් සමඟ ජනතා අපේක්ෂා සමඟ ‍මොවුන් තවදුරටත් පිස්සු කෙළිනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා