ඈ මගේ නෙත් දෙකයි

ඈ මගේ නෙත් දෙකයි

ප්‍රවීන වාද්‍ය ශිල්පී වී.හේමපාල පෙරේරා

නම – විතානගේ හේමපාල පෙරේරා
පියා - රොමියෙල් පෙරේරා
මව - නන්දා පෙරේරා
සහෝදර , සහෝදරියන් – පස් දෙනයි
උපන් දිනය – 1942 – ඔක්තෝබර් 20

සීතල මීදුමෙන් වැසුණු සුන්දර බදුලු පුරවරයේ ජීවත් වූ රොමියෙල් පෙරේරා සහ නන්දා පෙරේරා යුවළට ලැබුණු දරුවන් සය දෙනා අතර හේමපාල පෙරේරා පවුලේ බාලයා නැතහොත් බඩපිස්සා විය. මවුපිය දෙදෙනාගේ මෙන්ම සහෝදර සහෝදරියන්ගේ ආදරය නොඅඩුව ලැබුණු නිසා ඔහුගේ ළමා කාලය ගතවුණේ ඉතාමත් සතුටිනි. එහෙ මෙහෙ දුව පනිමින් ඉතා සැහැල්ලුවෙන් හා විනෝදයෙන් ළමා කාලය ගතකළ හේමපාලට වයස අවුරුදු තුන සම්පූර්ණවීමත් සමඟ මවුපියන් ඔහු ගමේ තිබූ කන්‍යාරාමයේ ප්‍රාථමික අංශයට ඇතුළත් කෙරුණේ අධ්‍යාපනය ලබාදීමේ අරමුණිනි.

වසරක පමණ කාලයක් හෝඩිය පංතියේ අකුරු ඉගෙනගත් හේමපාලට පළමුවෙනි වසරට ඇතුළත් වීමේ අවස්ථාව ලැබුණේ වයස අවුපැදු 4 සම්පූර්ණවීමත් සමඟය. එදා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට ප්‍රථම ළමයින්ට අවශ්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම පාසලේදී සිදු කෙරුණු අතර පාසල් නිවාඩු දෙන දවසේ හේමපාලටද ඒ ආකාරයෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදුනි. එදා ලබා දෙන්නේ ඔහුගේ ජීවිතේ තීරණාත්මක ප්‍රතිශක්තීකරණ එන්නත බව කුඩා හේමපාලට සිහිනෙදු නොසිතුනි. ඔහුට මතක ඇති පරිදි ඔහු අවසන්වරට දුටුවේ එන්නත් ලබාදීමේ සිදුවීම පමණි. ලෙඩරෝග ගණනාවකින් ආරක්ෂාවීම උදෙසා ලබාදුන් එන්නත එදා කුඩා හේමපාලට විෂවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශරීරය පුරා ලප මතුවිය.

පසුව ඔහු බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර එම විෂවීම වළක්වා ගැනීම සඳහා රෝහලේදී ඔහුට බෙහෙත් විද්දේය. නමුත් අවාසනාවකට එම බෙහෙත්ද ඔහුගේ ශරීරයට විෂ වී ඔහුගේ පෙනීම අහිමි විය. කුඩා හේමපාල ලෝකය දකින්නට සූදානම් වූවා පමණි. කාගේ හෝ අතින් සිදුවූ වැරැද්දක ප්‍රතිඵලයක් ලෙස හේමපාලට එදා සිට පියවි ඇසින් ලෝකය දකින්නට නොහැකිවිය. දෛවයේ සරදමක් ලෙස එවන් තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවද ඔහු අද දක්ෂ සංගීතඥයකු ලෙස දක්ෂතා දක්වයි. දෑස් නොපෙනෙන පුද්ගලයෙකුට වඩා සංගීතඥයකු ලෙස ඔහු දෙස ලෝකයා බලනවාට ඔහු කැමැත්තක් දක්වයි.

හදිස්සියේ ඔහුට ඇතිවූ රෝග තත්ත්වයත් සමඟ ඔහුගේ අධ්‍යාපන කටයුතුද අඩාල විය. ඔහුට පෙනීම ලබාදීම සඳහා ඔහුගේ මවුපියන් නොගත් උත්සාහයක් නොමැති තරම්ය. හේමපාලගේ නිවසේ සංගීතයට සම්බන්ධ කිසිවෙකු නොමැති වුවද ඔහුගේ වැඩිමහල් සහෝදරයා සංගීත භාණ්ඩ කිහිපයක් ගෙනවිත් සංගීතය ඉගෙන ගැනීමට සැරසෙන ආකාරයක් ඔහුට වැටහිණි. ඒ වනවිට සහෝදරයා රාත්‍රියට සංගීතය පුරුදු පුහුණුවීම් සිදු කරනු හේමපාල ඉතාමත් ආසාවෙන් අහගෙන සිටියේ ය. මවුත්ඕගන්, ජපන් මැන්ඩලීනය වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව හේමපාලට තිබුණි. ස්වෝත්සාහයෙන් උගත් ඒ දැනුම වර්ධනය කරගෙන පසුකාලීනව ඔහු දක්ෂ සංගීතඥයකු බවට පත්කිරීමේ කාර්යයේ පතාක යෝධයෙකු ලෙස කටයුතු කළේ ඔහුගේ ආදරණීය පියාණන්ය.

“ ගෙදර සංගීතය කරන අය හිටියේ නැති වුනාට අපේ තාත්තා සංගීතයට හරි ලැදියි. මාසයකට සැරයක් බදුල්ලේ හිටපු තරුණ සංගීත කණ්ඩායමක් එක්කරගෙන ඇවිත් අපේ ගෙදර සාජ්ජ දැම්මා. ඒ වෙද්දී මගේ පාසල් ගමනත් නැවතිලා. ගෙදරට වෙලා හිටපු මගේ මානසික තත්ත්වය හදන්න තමයි මෙවැනි සාජ්ජ පැවැත්වූයේ. මගේ මවුපියන් ලොකු මනෝ විද්‍යාඥයන් නොවුනට ඒගොල්ලො හිතුවා මාව සංගීතය පැත්තට යොමු කරන එක හොඳයි කියලා. ඒ නිසා තමයි තාත්තා මට සංගීතය උගන්නන්න හිතුවේ. අපේ අයියා ඒ වෙනකොට බදුල්ලේ ගුරුවරයෙක්ගෙන් සංගීතය හදාරමින් සිටියා. තාත්තා ඒ ගුරුවරයාව ගෙදරට ගෙන්නලා මට ශාස්ත්‍රීය සංගීතය ඉගැන්නුවා. ඒ ගුරුවරයාගෙන් මම මුලින්ම ඉගෙන ගත්තේ තබ්ලාව. ඊට අමතරව මට බටනලාව, මවුත් ඕගන්, ජපන් මැන්ඩලීනය වැනි භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් තිබුණා. මගේ ගුරුවරයා වුණේ ජේ.එම්. අමරතුංග මහතායි. එතුමා සාදිරිස් මාස්ටර්ගේ පුතෙක්. ඔහු මට අලුත් සංගීත භාණ්ඩ උගන්නන්න උත්සහ කළේ නැහැ. මම දන්න සංගීත භාණ්ඩම ශාස්ත්‍රීය මට්ටමින් වාදනය කරන්න ඔහු මට ඉගැන්නුවා. ස්වර ශ්‍රැති හඳුනා ගැනීම, තාල , සරල සහ ශාස්ත්‍රීය සංගීතය අතර වෙනස්කම්, සමාජයේ ඒවා භාවිත කරන ආකාරය ආදී හැමදේම කියලා දුන්නා. මගේ ගුරුවරයා මාව එකදේකට කොටු කළේ නැහැ. මම මගේ ගුරුවරයාගෙන් අවුරුදු පහක් පමණ සංගීතය ඉගෙන ගත්තා.

ඒ කාලේ දැන් වගේ සී.ඩී. කැසට් තිබුණේ නැහැ. ගුවන් විදුලි ගීත හැටියට තිබුණේ ග්‍රැමෆෝන් තැටි. ඒවා හරි ජනපි‍්‍රයයි. ඒ වගේම චිත්‍රපට ගීතත් ඒ කාලේ ගොඩක් ජනපි‍්‍රයයි. දුලාරි චිත්‍රපටියේ ගීත අහලා තමයි මම චිත්‍රපට ගීත රස විඳින්න පටන් ගත්තේ. 50 දශකයේ ආරම්භයේදී ගුවන් විදුලිය ආවත් එය එදා තිබුණේ සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසයි සැලකුණේ. ගුවන් විදුලිය ආව මුල් කාලේ එය අහන්න ‘රෙඩිටියුෂන්’ කියලා ක්‍රමයක් තිබුණා. අපි එදා ගුවන්විදුලියට සවන් දුන්නේ ඒ හරහායි. බෙහෙත් ගන්න කොළඹ ආව වෙලාවක මමත් රෙඩිටියුෂන් එකෙන් ගුවන්විදුලියට සවන් දුන්නා.

ඒකාලේ චිත්‍රපට ගීත හරි ජනපි‍්‍රයයි. බදුල්ලට චිත්‍රපට එනවා. දවසක් මගේ ගුරුවරයා කිව්වා හේමපාල, චිත්‍රපටියක් ඇවිත් තියෙනවා. යමු බලන්න කියලා. මට චිත්‍රපටය නැරැඹීමට නොහැකි වුණත් ගුරුවරයා මාව එක්කරගෙන ගිහින් චිත්‍රපටියේ කතාව මුල සිට අගට කියලා දුන්නා. එදා අපි නැරැඹුවේ ‘දුලාරි’ චිත්‍රපටිය. ඒ හින්දි චිත්‍රපටියේ ගීත වලින් මම ලොකු ආභාසයක් ලැබුවා. චිත්‍රපට ගීත ශ්‍රවණය කිරීමේ පුරුද්ද අදටත් මා ළඟ තිබෙනවා. මම චිත්‍රපට ගීත වගේම ශාස්ත්‍රීය ගීත ශ්‍රවණය කරනවා. ඒවා වාදනය කරනවා. මගේ ගුරුවරයා ටිකක් සැරයි. ටික කාලයක් යනවිට අපි අතර විවිධ මතභේදත් ඇතිවුණා. ඒ නිසා මම 1964 අවුරුද්දේ ගුරුවරයාගෙන් ඈත් වුණා.

හේමපාල ඒ වනවිට නව යොවුන්වියේ තරුණයෙකි. එදා ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වුයේ ගුවන් විදුලියට පැමිණීමය. ඒ අතරතුරදී වැඩිදුරටත් සංගීත හැදෑරීම සඳහා විදෙස් ශිෂ්‍යත්වයක් ලැබුණි. එහෙත් ඔහුට ඒ අවස්ථාවද මඟ හැරී ගියේ ය. වාදන භාණ්ඩ කිහිපයකින් දක්ෂතා පෙන්වන මේ අපූරු තරුණයාට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන ආනන්ද පෙරේරා මුණ ගැසුණේ මිත්‍රයෙකුගේ මාර්ගයෙනි. හේමපාලගේ දක්ෂතා හඳුනාගත් ආනන්ද ඔහුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට හඳුන්වා දුන්නේ ය. එවකට එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය.

ප්‍රිය බිරිය සහ මුණුපුරා සමඟ

හේමපාල පෙරේරාගේ සංගීත හැකියාව හඳුනාගත් සරච්චන්ද්‍ර මහතා ඔහු වාදනය කළ සංගීත කණ්ඩයක් පටිගත කර එවක ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නෙවිල් ජයවර්ධන මහතාට ලබාදී හේමපාලට ගුවන්විදුලියට යාමේ අවස්ථාව සැලැස්වීය. ගුවන්විදුලියේ වාදකයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට උදා විය.

මට අද වගේ මතකයි 1968 අවුරුද්දේ සැප්තැම්බර් 28 වෙනිදා රෑ 10.15 ට මගේ බටනලා වාදනයක් පළමු වරට ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා. එදා මගේ ලොකු සිහිනයක් සැබෑ වුණා වගේ මට දැනුණා. එදා මම ඉදිරිපත් කළේ ශාස්ත්‍රීය වාදනයක්. ඒක අහලා ගොඩක් අය මට සුබ පැතුවා. බටනලාව මගේ හදවත වගෙයි. සංගීත ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මාව හඳුනාගන්නේ බටනලා වාදකයෙක් ලෙසයි. 1969 අවුරුද්දේ ගුවන් විදුලියේ ශාස්ත්‍රීය අංශයේ ශ්‍රේණිගත කිරීමක් කළා. එදා ලංකාවේ විශිෂ්ට ශ්‍රේණියේ එකම බටනලා ශිල්පියා වුණේ මමයි. ඒ ශ්‍රේණිය මට තාමත් තිබෙනවා.

1975 අවුරුද්දේ දී නැවත ශ්‍රේණිගත කිරීමක් සිදු කළා. එදත් කලින් තත්ත්වයම මට ලැබුණා. ඒ කාලේ වාද්‍ය භාණ්ඩ පහකින් ශ්‍රාස්ත්‍රීය වාදන ඉදිරිපත් කරන ගුවන්විදුලියේ එකම වාදකයා වුනෙත් මම. ඒ වගේම මම ගිටාරය සහ මැන්ඩලීනයෙන් හින්දුස්ථානී රංගධාරී සංගීතය වාදනය කිරීමේ සම්ප්‍රදාය ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන්නා.

1977 අවුරුද්දේ මම කොළඹ පදිංචියට ආවා. ඔය අතරේදී මට චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ, මහත්තයා මුණ ගැහුණා. ඔහු මට ගොඩාක් උදව් කළා. ඔහුගේ හඳුන්වාදීම මත මට ප්‍රේමදාස මහත්තයා කොළඹ මල්වත්ත පාරේ නිවසක් ලබා දුන්නා. 1979 අවුරුද්දේ තමයි මට ඒ නිවස ලැබුණේ. ඒ නිවස ලැබුණට පස්සේ මට ලොකු දියුණුවක් ලැබුණා. මගේ කලා කටයුතු දියුණු කරගන්න පුළුවන් වුණා. ඔය අතරෙදි මට සුජාතා අත්තනායක මහත්මිය මුණ ගැසුණා. ඇයගේ පළමු පටිගත කිරීම් සඳහා මාව සහභාගී කර ගත්තා. ඒ වගේම සරත් දසනායක, ස්ටැන්ලි පීරිස් යන අය මුණ ගැසුණට පසුවත් මගේ ජීවිතේ විශාල වෙනසක් සිදුවුණා. ඔවුන්ගේ නිර්මාණවලට දායක වුණු පසු මාව ජනතාව අතර ජනපි‍්‍රය වුණා.

මම සංගීත් භාවනා නමින් ඒක පුද්ගල ප්‍රසංගයකුත් පැවැත්වූවා. අදටත් මම චිත්‍රපට ගීතවලට පසුබිම් සංගීතය සපයනවා. 1976 අවුරුද්දේ මගේ ජීවිතේ තවත් ලොකු වෙනසක් සිදුවුණා. මට මගේ බිරිය මුණ ගැසුණේ ඒ කාලයේදීයි. එයා මගේ රසිකාවියක්. එයා මට ලියුම් එව්වා. පස්සේ අපි මුණගැහිලා කතා බහ කරලා දැන හඳුනාගෙන විවාහ වුණා. මගේ බිරිය මුණ ගැහුණම මට හිතුණේ මට මගේ නැතිවුණ ඇස් දෙක ලැබුණා කියලයි. මගේ ඇස් දෙක නැති වුණත් පස්සේ කාලෙකදී මට ඇස් හතරක් ලැබුණා. සංගීතය සහ මගේ බිරිය මුණ ගැසීම මගේ ජීවිතේට වාසනාව ගෙනාවා. මගේ සංගීත දිවිය සාර්ථක කරගන්න බිරියගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඇය මුණ නොගැසුණා නම් මට මෙච්චර සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ.

මම ගොඩාක් ඇහුම්කන් දෙනවා. මම සංගීතය ඉගෙනගත්තේ ඇහුම්කන් දීලයි. අනික් ශිල්පීන් කොළයක් බලාගෙන වාදනය කරද්දී මම කිසිම කොළයක් නොබලා මතකයෙන් වාදනය කරනවා. මට හොඳ මතකයකුත් තිබෙනවා. 1986 අවුරුද්දේ සී.එස්. ජයසේකර මහතා මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටනලා විෂය උගන්වන්න ආරාධනා කළා. ඒ අනුව අවුරුදු විස්සක් පමණ මම එහි සේවය කළා. නමුත් පස්සෙ කාලෙකදී විවිධ අයගේ විරෝධතාව නිසා මම එතනින් ඉවත් වුණා.

ගමෙන් කොළඹට පැමිණි පසු හේමපාල මහතාට බොහෝ දුෂ්කරතාවලට , බාධකවලට මුහුණදීමට සිදුවිය. එහෙත් ඔහු එයින් කිසිදු මොහොතක සැලුනේ නැත. ඔහු සිය ස්වෝත්සාහයෙන් බොහෝ දුර ගමනක් පැමිණ තිබේ. අභියෝග හමුවේ නොසැලෙමින් සංගීත ක්‍ෂේත්‍රයේ දක්ෂතා දක්වන මේ අපූරු සංගීතවේදියාට අපි දීර්ඝායුෂ පතමු !

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා