ජගත් පිටියෙන් සමුගත් මාස්ටර් බ්ලාස්ටර්

ජගත් පිටියෙන් සමුගත් මාස්ටර් බ්ලාස්ටර්

‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙසින් ජගත් ක්‍රිකට් කෙළිබිමේ නම රැන්දූ ආක්‍රමණශීලී පිතිකරු සනත් ජයසූරිය ඔහුගේ අද්විතීය ක්‍රිකට් දිවියෙන් සමු ගත්තේය.

ජාත්‍යන්තර එක්දින තරග 445 – ලකුණු 13,430 – ශතක 28 – කඩුලු 323 යි.

සිය ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ඕවල් පිටියට පෙරේදා යළි පිවිසි සනත් ජයසූරිය ට, ඔහුගේ වේගවත් පිතිිහරඹයේ නියැලෙමින් වසර 22ක කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ තිරය වැසීමට නොහැකි විය.

තමාගේ 42 වැනි උපන්දිනයට පෙර මේ අපූරු පිතිකරුවා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයට පෙරේදා පිවිසියේ ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසාන තරගය – එංගලන්තයට එරෙහිව එක්දින තරගයක් – ක්‍රීඩා කිරීම පිණිසය.

1996 ලෝක කුසලාන ජයග්‍රාහී ආරම්භක පිතිකරුවා ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළේ මේ ක්‍රීඩාංගණයේදීය. ඒ, 1998 වසරේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයකදී වාර්තා කළ ලකුණු 213ක විචිත්‍රවත් ඉනිමය.

කෙසේ වෙතත්, ඊට වසර 13කට පසුව, ටිම් බ්‍රෙස්නන්ගේ පන්දුවකට ඔයින් මෝගන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමට පෙර ජයසූරියට පන්දු 4කින් ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි.

සිය 445 වැනි ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වූ ජයසූරිය මහත් කලකිරීමකින් යුතුව සිය ‘හෙල්මට්’ පටිය හපමින් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දී නරඹන්නෝ ඔවුන්ගේ අසුන්වලින් නැගිට ඔහුට ගෞරවය පුදකර සිටියහ. සමහර විට ජයසූරිය හෙල්මට් පටිය මුවට තදකර ගෙන සිටියේ කඳුලු කඩා වැටීම වළක්වා ගැනීමටද විය හැක. පිත්ත රැගෙන අවසන් වතාවට ජගත් ක්‍රිකට් තරග බිමට පිවිසීමට පෙර ඔහු ඕවර 6ක් යවා එක් කඩුල්ලක් ලබා ගෙන සිටියේය. ඉයන් බෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් ජයසූරිය ලකුණු 46කට කඩුලු 1ක් සටහන් කරමින් ඔහුගේ පන්දු යැවීම අවසන් කර සිටියේය.

අභිමානවත් හා ප්‍රවේගකාරී පිතිකරණයෙන් එක්දහස් නවසිය අනූ ගණන්වල මැද භාගයේදී එක්දින පිතිහරඹයට නව අරුතක් ලබා දුන් පිතිකරුවකු ලෙසින් සනත් ජයසූරිය ජගත් ක්‍රිකට් ප්‍රජාවගේ සදා මතකයේ රැඳී සිටී. ශාන්තභාවයෙන් යුතුව ඉනිමකට අනුගත වීම ඔහුගේ ශෛලිය නොවීය. 1989 වසරේදී ශ්‍රී ලංකාව විසින් මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලබා දුන් අවස්ථාවේ ප්‍රධාන වශයෙන් පිට දඟ පන්දු යවන්නෙක් හා මැද පෙළ පිතිකරුවකු ලෙසින් සිය ක්‍රිකට් දිවිය ඇරැඹූ ජයසූරිය ඉක්බිති ආරම්භක පිතිකරුවකු බවට පත්ව එම ස්ථානයේ ම රැඳී සිටියේය.

සනත් ජයසූරියගේ ජාත්‍යන්තර එක්දින ලකුණු 13,430ට හතරේ පහර 1,500ක් හා හයේ පහර 270ක් ඇතුළත්ව තිබේ. සාමාන්‍යය 32කට වැඩිය. ජයසූරියගේ එක්දින ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සටහන්ව ඇත්තේ හතරේ හා හයේ පහරවලිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා