මැදමුලන දැවැන්ත පෞරුෂය ඩී.ඒ.රාජපක්ෂ

මැදමුලන දැවැන්ත පෞරුෂය ඩී.ඒ.රාජපක්ෂ

ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන්ගෙන් පැවත එන බටහිර සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඍජු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව අත් හැරී තාමත් දසක හය ඉක්මවූවා පමණි. ඒ හැට වසර ඉක්මවූ කෙටි කාලය තුළ ද බටහිර අධිරාජ්‍යවාදීන් ගේ වක්‍ර මැදිහත් වීම ආධිපත්‍යය පතුරුවාලීම අද දක්වාම පැවතුනි.

ජාතික වශයෙන් අන්තර් ජාතික වශයෙනුත් මේ පීඩනය මේ මැදිහත් වීම අන් කවරදාටත් වඩා දැන් වැඩියෙන් විවිධ පැතිකඩ ඔස්සේ දිග හැරී ඇත. එයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ජනතාව ගේ පැත්තෙන් හිටගෙන ජනතාවත් දේශයත් ආරක්ෂා කර ගනිමින් ලෝකයේ ඉහළට ඔසොවා තැබීමට සමත් අසමසම ජාතික නායකත්වයට සුදුසු දරු පරපුරක් ජනතාවට දායක කර දීමට ඩී ඒ රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිනිය වන දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මාතාව සමත් වූවාය.

වීරත්වයෙන් ද , බුද්ධියෙන් ද , දැනුමෙන් ද, අත්දැකීමෙන් ද පොහොසත් වූ ජාතියට දායාද කළ දරුවන් අතුරින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ලේකම් සෙන්පති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලා ප්‍රමුඛ විය. දිවංගත ජයන්ති රාජපක්ෂ , හෙට්ටිආරච්චි මැතිනියට වර්තමාන කාර්ය භාරයට උර දෙන්නට නොහැකිවුවත් පියාගේ සහ මවගේ දිවංගත වීමෙන් හිස්වුණු මාතෘ නායකත්වය පවුලට ලබා දුන්නා ය. නීතිඥ පී‍්‍රති රාජපක්ෂ චන්ද්‍රදාස මැතිනියත් ගාන්ධිනී රාජපක්ෂ රණවක මැතිනියත් චන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත් විද්‍යාඥ ඩඩ්ලි රාජපක්ෂ මැතිතුමාත් පවුලේ සමගිය සහෝදරත්වය ඔප් නංවමින් අවශ්‍ය විවේකී පරිසරය සකසා දුන්නෝ ය. මෙතුමන්ලාගේ දරු මුණු පුරෝද මේ ඓතිහාසික ගමන් මගේ කොටස් කරුවෝ වූහ.

මේ සියල්ල සිදු වන්නේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා ගේ මූලික පසුතල වටපිටාව සකස් කර දීමෙන් ය. වත් පොහොසත් සියල්ල සිඳී යන පරිදි ඉඩකඩම් වතු පිටි ගව මහිෂාදීන් අහිමි කර ගනිමින් තම දරුවන් ගුණෙන් නැණෙන් පොහොසත් කර දුන්නේ ජාතික අභිමානය දේශානුරාගය සහිතව එඩිතරකම ද , වීරත්වත්වය ද ලබා දෙමින් ය. නිර්ව්‍යාජකම, නිරහංකාරකම, චාම් බව ආත්ම කොට ගත් අපේ කම රැකගත් ඩී ඒ රාජපක්ෂ නම් වූ දේශයේ පීතෘවරයාණන් ය.

1848 දී තවත් එවැනිම ජනතා නැගිටීමක් කෲර ලෙස විනාශ කරන ලදී. ජාතික වීරයින් පමණක් නොව ජාතික නායකයින්ද නැත. වන්ධ්‍යාකරණය කරන ලද දේශපාලන නායකත්වය සහිත දේශයක් ඉතුරු කර තැබී ය.

1948 දී නිදහස පූර්ණ ලබා දෙනවා යැයි නැවතත් රැවටිල්ලකට ශ්‍රී ලංකා ජනතාව ගොදුරු කර ගත්තේ ය. ඒ සමඟ ම බිහිකර ගත් ප්‍රථම ශ්‍රී ලංකා අගමැති වීමේ අවස්ථාව ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට තිබියදීම පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ නිර්මාතෘවරයෙකු වූ එච්.ශ්‍රී නිස්සංක ශ්‍රීමතාණන් විරුද්ධ වෙද්දිත් බණ්ඩාරනායක මැතිතුමාගේ පරිත්‍යාගයෙන් ඩී.එස්.සේනානායක මැතිතුමා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා යැයි විරුදාවලිය ලද්දේ ය.

නැවතත් රැවටිල්ලකට ලක් විය. සුදු අධිරාජ්‍යවාදීන් ගේ සුවච කීකරු ;කාම්ප්‍රදෝරු ධනපති පංතියේ බල ග්‍රහණය සහිත කළු සුද්දන්ගේ ආණ්ඩුවක් බිහි විය. බණ්ඩාරනායක ශ්‍රීමතුන්ටත් ඩී.ඒ.රාජපක්ෂ මැතිදුන්ටත් නැවතත් දේශපාලන රැවටිල්ලකට ලක්ව ඇති බව අත් විඳින්නට හැකි විය.

1956 දී බොහොම ආයාසයෙන් ජනතා පැතුම් ඉටු කරමින් ජනතාවාදී මහ පෙරළියකට බණ්ඩාරනායක ශ්‍රීමතුන් සමඟ ඩී ඒ රාජපක්ෂ මැතිදුන් පාර කැපුවේ ය. වැරදි නිවැරදි කරගනිමින් එතෙක් බටහිරට ගැති විදේශ ප්‍රතිපත්තියට මැද මාවතට ගෙනෙමින් අලුතෙන් බිහි වී බලවත් වී වටේ කඳවුර නියෝජනය කරමින් ශීඝ්‍ර දියුණුවක් ලබා සිටිමින් වූ සමාජවාදී කඳවුර සමඟ ද සම්බන්ධකම් ඇතිකර ගත්තෝ ය. “මැද මාවත” යනු දෙකටම නැති අවස්ථාවාද යැයි අවස්ථාවාදී වරප්‍රසාද ලත් පැළැන්තිය අවමන් කරද්දී නොබැදි පිළිවෙතේ අරුත ක්‍රියාත්මක කරවී ය.

රහසින් පටන්ගත් දේශපාලන කුමන්ත්‍රණය පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මෙන්ම ආණ්ඩුවේ නායකයා ඝාතනය කරමින් ආණ්ඩුව බිඳ වැට්ටවීය.

ජනතාවාදී ආණ්ඩුව බිඳවැටෙන හැටි ඩී ඒ. රාජපක්ෂ මැතිතුමාද අත්දැක්කේ ය. ලෙහෙසියෙන්ම රටක් අර්බුදයකට අරාජික තත්ත්වයකට අවුලකට පත් කළ හැක්කේ වර්ගවාදී කල කෝලාහලවලින් ය. ජනතාව උද්වේගකර බෙදීමකට ලක් කළ හැක්කේ ද වර්ගවාදී හා ආගම්වාදී බේද කිරීමකිනි. ඒ බව දැනගෙන සිටි අධිරාජ්‍යවාදී ඒජන්තවරුන් ගේ ක්‍රියාත්මක වීමෙන් 1958 දී දෙමළ, සිංහල වර්ගවාදී මහා ගැටුමකට ලක් විය. එදා බලවත්ව සිටි සිංහල ජාතිවාදීන් ගේ පෙළඹවීමෙන් දෙමළ ජනතාව අතිශයින් පීඩාවට ලක් විය. දහස් ගණනක් මරු වසඟයට පත් විය.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ නායකත්වයෙන් ප්‍රගතිශීලි මාක්ස්වාදී නායකත්වය ද සමඟ සමඟි පෙරමුණ බිහි විය. නැවතත් ජනහිතවාදී දේශය නිදහස් කර ගැනීමේ පියවර රැසක් ගැණුනි. 1962 මූලධර්මවාදී ක්‍රිස්තියානි නායකත්වයේ ද ආශිර්වාදය ඇතිව හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් විය. කලින් දැනගත් නිසා එය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව සමත් වූවා ය. විත්තිකරුවන් වූ කුමන්ත්‍රණ නායකයින් වැරදිකරුවන් බව ශ්‍රී ලංකාවේ ඉහළ ම අධිකරණය තීන්දු කළේ ය. එහෙත් එංගලන්ත පි‍්‍රමි කවුන්සලයේ මැදිහත් වීමෙන් සියලු චූදිතයන් නිදොස්කොට නිදහස් කළේ ය.

මේ කෙටි ඉතිහාසයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් කුමන්ත්‍රණ නිසා ශ්‍රී ලංකාවේ අනාගතයට කරන නරක බලපෑම ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා ද අත් වින්දේ ය. මේ හැම අවස්ථාවක දී ම කුමන්ත්‍රණකරුවන් අධිරාජ්‍යවාදීන් සහ ඔවුන් ගේ ගැත්තන් කරුණු විකෘති කරමින් ජනතාවට හිතවත් මුහුණුවරක් පෙන්වී ය. සිදු වූ දෙයෙහි බැරෑරුම් බව අත් විඳින්නට ලැබුණේ පසුගාමි මහා ඛේදවාචකයන් සමගින් ය.

මේ ඓතිහාසික පාඩම් තම දරුවන්ට ඉගෙන ගන්නට සැලැස් වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා තමා උගත් පාඩම් හොඳින් ග්‍රහණය කර ගන්නට සැලැස්වී ය. දේශපේ‍්‍රමය ද , ජාතික උන්නතිකාමය ද පාරම්පරිකව උරුමකරගත් ජානමය ගුණ ගරුකකම්ද ඩී.ඒ.රාජපක්ෂයන් විසින් තම දරුවන්ට දායාද කර දුන්නේ ය.

රදලයින් හා ප්‍රදේශ අධිපතින්ට තාන්න මාන්න වරප්‍රසාද මුදලි මුහන්දිරම් කම් දී මේ ශිල්ප ශ්‍රේණි ජනයා පහත් කුලවල යැයි අවමං කොට පන්නා දමා තිබුණි. මේ ජනයාට උඩුකය වැසීමටවත්, ගෞරවණීය ජීවිතයකටවත් අවසර නොවී ය.

මෙසේ පීඩාවට පත් ජනයා තම වියදමින්ම රෙදි හැට්ට, කමිස අන්දවා පෙරහැරෙන් රදල ගම් ප්‍රධානීන්ගේ වලව් ඉදිරිපිටින් ගෙනගොස් රදලයින්ගේ මානය බිඳ පීඩිත ජනතාවගේ අභිමානය ඇති කරවී ය.

ආර්ථිකය ස්වයංපෝෂිත වී මං මාවත් දියුණු වී, දැනුම, බුද්ධිය, අධ්‍යාපනය දියුණු වී, සාර්ථක සාමුහික එක්සත් ජනතාවක් යටත් කර පාගා දැමිය නොහැකි බව එතුමා පසක් කරගෙන ක්‍රියා කළේ ය.

බලවත් අධිරාජ්‍ය පීඩනයටත් දේශීය කුමන්ත්‍රණකරුවන්ටත් ජාති ද්‍රෝහීන්ටත් මූණ දෙමින් නිසි පිළිතුරු දෙමින් ජනතාව සමඟ අභීතව දේශයට මෙන්ම කලාපයටම නායකත්වය දෙමින් තම දරුවන් රට පාලනය කරන හැටි එතුමා එදා අත් දැක්කා සේ ය. සැබෑ මිතුරා සහ සතුරා හඳුනා ගැනීමේ පාඩම් දරුවන්ට හොඳහැටි උගන්වා ඇති බව පෙනේ.

කලාපයේ මහා බලවතා අභ්‍යන්තර දේශපාලන බල තුලනය හෝ වෙන යම් කාරණයක් නිසා අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයට දණ ගසද්දී ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය රකිමින් ආසියාවෙන් ජනතාව සමඟ අභිමානවත් නැගිටීමට තම දරුවන් නායකත්වය දෙන ආකාරය එතුමා කලින් අත් දැක ඇත්තා සේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා