රටට වග කියන මාධ්‍ය සංස්කෘතියක් වෙත පිය නඟමු

රටට වග කියන මාධ්‍ය සංස්කෘතියක් වෙත පිය නඟමු

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය යටතේ ජනමාධ්‍ය සඳහා පහසුකම් සැලසීමේ සංකල්පය යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඉදි කරන ලද මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද (30) දින පෙ.ව. 10.00 ට විවෘත වේ. ඒ වෙනුවෙන් සම්පාදිත ලිපියකි මේ.

 

සංවර්ධනයේ හොඳම සහායකයා මාධ්‍යයයි

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ දී මුහුණ දීමට වන අභියෝගයන් රාශියකි. යුද්ධය නිම වුව ද, ඒ මත සමාජයේ තහවුරු වූ වැරදි දේශපාලන මත, යෝජනා, න්‍යායපත්‍ර තවමත් ක්‍රියාත්මකය. එමෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් දෙස් විදෙස් උපදෙස් මත ක්‍රියාත්මක පුද්ගලයින් හා සංවිධාන තවමත් විවිධ පීඩනයන් රටට එලෙසම එල්ලකරමින් සිටී.

එය අද උතුරේදී එක් ස්වරූපයකි. නැගෙනහිරදී තවත් ස්වරූපයකි. අනෙකුත් ප්‍රදේශවල මෙන්ම එය ජාත්‍යන්තරයේ දී තවත් ආකාරයකි. නමුත් එම අභියෝගයන්ට මුහුණ දෙමින් රට තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් හා ප්‍රතිව්‍යුහගතකරණයන් සිදුකරමින් වත්මන් ආණ්ඩුව මෙම අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට යමින් සිටී.

මාධ්‍ය නිදහස නැතැයි කීම බොරුවක්

මහාචාර්ය ආරියරත්න ඇතුගල

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධනගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද දින විවෘත වන මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මාධ්‍ය ශ්‍රවණාගාරයක්, පර්යේෂණ පුස්තකාලයක්, අධ්‍යයන ශාලා දෙකක්, පරිගණක ඒකකයක්, රජයේ චිත්‍රපට අංශයේ කෞතුකාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් නිෂ්පාදන පහසුකම් සහිත මැදිරියක් ද ඇත.

මේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණු ගැන හා නූතන මාධ්‍ය භාවිතය ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල සමඟ සිදු කළ සාකච්ඡාවකි.

* පසුගිය කාලයේ දී මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ ඉතා වේගවත් ව්‍යාපෘතියට සාපේක්‍ෂව එහි සංවර්ධනය සඳහා ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද?

මාධ්‍යයේ සංවර්ධනයක් ඇති කිරීම ගැන “මහින්ද චින්තන” වැඩපිළිවෙළේ අවධානයක් යොමු කර තිබෙනවා. මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙන්නේ එම අරමුණ ජය ගැනීම සඳහා යි.

මාධ්‍ය සම්මන්ත්‍රණ හා සාකච්ඡා රට තුළ දියුණු විය යුතු යි. ඒ සඳහා භාවිතා කළ හැකි ස්ථානයක් නව මධ්‍යස්ථානයේ ඇති කර තිබෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිත මෙම සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා වරකට මාධ්‍යවේදීන් 350 කට සහභාගී විය හැකියි. ඊට අමතරව මාධ්‍යවේදීන් ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කළ හැකි පරිගණක පහසුකම් සහිත පුස්තකාලයක් ඇති කිරීම සඳහා ප්‍රවේශයක් ගෙන තිබෙනවා.

රජය මාධ්‍යවේදීන් ට සිය වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුත්තක් ආරම්භ කර තිබෙනවා. එම සහන ණය දීමේ වැඩපිළිවෙළ වඩා විධිමත් කිරීමට අවශ්‍ය කෙරෙන ඒකකයක් මෙම මාධ්‍ය සංවර්න මධ්‍යස්්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.

මාධ්‍ය විමර්ශන ඒකකයක් ගැන මෙන්ම සංරක්‍ෂණාගාරයක් සඳහා අවශ්‍යය පහසුකම් ද නව මධ්‍යස්ථානයේ තිබෙනවා. මේ සියල්ලක්ම ඉතා වැදගත් අවශ්‍යතාවයන් ලෙස කාලයක් තිස්සේ පැවතුණා.

* මාධ්‍ය පුහුණු පාසලක් ඇති කිරීම තවත් එවැනි ඉල්ලීමක්. ඒ සඳහා මෙ මධ්‍යස්ථානයේ ඉඩක් වෙන්ව තිබෙනවා ද?

මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ කොටසක් ලෙස මාධ්‍ය පුහුණු පාසලක් ඇති කළ යුතු බව අවධාරණය කිරීමට මම ද දායක වුණා. සන්නිවේදන විද්‍යාර්ථියෙක් ලෙස එහි අවශ්‍යතාවය වර්තමාන යුගය වන විට අපිට බරපතළ විදිහට පෙනෙනවා.

නමුත් පසුකාලීනව එකතු වූ අදහසක් නිසා මේ මොහොත වන විට ක්‍රියාත්මක තත්ත්වයට එම අදහස පැමිණ නැහැ. නමුත් මෙම මධ්‍යස්ථානයේ පුහුණු පාසලක් බිහි කිරීමට අවශ්‍යය සියලුම පහසුකම් තිබෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා එවැනි පාසලක් මෙම මධ්‍යස්්ථානය තුළ ඇති කළ යුතු බව. රජයත් ප්‍රතිපත්තියක් විදිහට එම අදහස පිළිගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පුළුල්වීමත් නව මධ්‍යස්්ථානය ඉදිකිරීමත් සමඟ ඉටු වෙනවා ද?

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා දැනට තිබෙන ආයතනික පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මෙම දෙපාර්තමේන්තුවට අදාළ විශේෂ මාධ්‍ය ඒකකය හා රජයේ ප්‍රකාශන කාර්යාංශය පවත්වාගෙන යන්නේ වෙනත් ස්්ථාන දෙකක. මේ ආයතන පවත්වාගෙන යාම සඳහා එම ගොඩනැඟිලි හිමිකරුවන්ට කුලියක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ ආයතන නව මධ්‍යස්්ථානයේ ස්ථාපිත කිරීමෙන් රජයේ වියදම් ඉතිරියක් වෙන අතරම දෙපාර්තමේන්තුවේ විවිධ අංශ අතර මනා සම්බන්ධීකරණයක් ද ඇති වෙනවා.

මෙම ගොඩනැගිල්ල ඉදි වූයේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මාධ්‍යයේ සංවර්ධනය සඳහා මෙවැනි අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම රාජ්‍ය නායකයාගේ සුවිශේෂතාවයක් ලෙස මා දකිනවා.

* නූතන මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වඩා එය දුර්වල කිරීමට හේතුවන බව ඔබ පවසන්නේ කුමන පදනමක් මත ද?

අද ඊමේල් එකකට පුළුවන් රටක ලොකු වෙනසක් කරන්න. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මේ තත්ත්වය තේරුම්ගත යුතුයි. එහෙම නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙත ගමන් කිරීම සඳහා ගන්නා උත්සාහයෙන් සිදුවන්නේ එය නැති කර ගැනීම යි.

මෙය බරපතළ කාරණයක් රටක සංස්කෘතික සමාජ සංවර්ධනය, අධ්‍යාත්මික අවශ්‍යතා හා දැනුම සම්පාදනය කිරීම යන සංකල්පනාවන්ට ඉහළින් මාධ්‍ය ප්‍රවෘත්ති මානසිකත්වය ඇති කර තිබෙනවා. මේ තත්ත්වය සමාජ විරෝධී මතවාද ගොඩනැඟීමට බලපානවා. මාධ්‍ය එයින් වළක්වාගත යුතුයි. සමාජ විරෝධී ක්‍රියා සඳහා නොව සමාජ සංවර්ධනය සඳහා මාධ්‍ය යොදාගත යුතුයි. පසුගිය කාලයේ දී මාධ්‍යයට එරෙහි චෝදනාවක් ලෙස මතු වූයේ මෙම අව භාවිතය ගැනයි. ඒ ගැන මාධ්‍යකරුවන් දැනුම්වත් විය යුතුයි.

* රජයට එරෙහිව එල්ල වන මානව හිමිකම් චෝදනා අතර මාධ්‍ය නිදහස නොමැතිවීම ද දක්නට ලැබෙනවා. මේ ගැන ඔබට කීමට ඇත්තේ කුමක් ද?

ප සුගිය කාලය තුළදී ආසියාවේ මාධ්‍ය නිදහස උපරිමව ක්‍රියාත්මක වන රටවල් අතරින් එකක් බවට ලංකාව පත්ව තිබෙනවා. ලංකාවේ මාධ්‍යයට සිදුවන හිරිහැර කිරීම් අවම තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර සමීක්‍ෂණ මඟින් පෙනෙනවා.

එහෙත් සුළු පිරිසක් ලංකාවේ මාධ්‍ය නිදහසක් නැති බව පෙන්වන්න උත්සාහ කරනවා. මේවා සිදුවන්නේ බටහිර රටවල මුදල් වලින්. ලෝකයේ නැඟී එන රටවල් මාධ්‍ය භාවිතා කරමින් සිය පාලනයට යටත් කර ගැනීමත් බටහිර රටවල උපක්‍රමයක්. ඒ සඳහා උදව් කරන ලංකාවේ මාධ්‍යකරුවන් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් තිබෙනවා.

* පෞද්ගලික මාධ්‍යය ද වක්‍රව රජයේ ප්‍රචාරණය සඳහා යොදා ගන්නවාය යන අදහස ඔබ පිළිගන්නවා ද?

පෞද්ගලික මාධ්‍යයේ ප්‍රධාන අරමුණ ලාභ ඉපැයීම යි. ඔවුන් ලාභය අවම වෙනවා නම් දිගින් දිගටම ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මෙම අදහස පිළිගන්න බැහැ. එහෙත් රජයේ ප්‍රචාරාත්මක කාර්යයන් ප්‍රේක්ෂකයාට හෝ ග්‍රාහකයාට රසවත් එසේ නැතහොත් ප්‍රතිඵලදායක නම් එය ගෙනයාමට පෞද්ගලික මාධ්‍යයට සිදු වෙනවා.

පෞද්ගලික මාධ්‍යයටත් රජයේ තොරතුරු අවශ්‍යයයි. සංවර්ධන ප්‍රවෘත්ති, දේශපාලනික සිදුවීම් යනාදී වශයෙන් රජය හා සම්බන්ධ වූ ප්‍රවෘත්ති රාශියකට ඉඩක් වෙන්ව තිබෙනවා. රජය විශාල සංවර්ධන කටයුත්තක නිරතව සිටිනවා.

පෞද්ගලික මාධ්‍යයන් මේවා තම න්‍යාය පත්‍රයට කැඳවා ගත යුතු වෙනවා. ඒවා රටේ සිදුවන්නේ නැති සේ සලකා කටයුතු කරන්න බැහැ. මෙය රජයට උදව් කිරීමක් ලෙස සැලකිය නොහැකියි. එයට හොඳම උදාහරණයක් ලෙස රජය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට මුදවා ගැනීමේ අරමුණින් ගත් ක්‍රියාමාර්ග සඳහා ප්‍රචාරයක් ලබා දීමට පෞද්ගලික මාධ්‍යය දායකවීම දැක්විය හැකියි. ජාතික වැදගත්කමක් සහිත ප්‍රවෘත්තියක් උලුප්පා දැක්වීම රජයට ප්‍රචාරයක් ලබාදීම හෝ රජයේ ග්‍රහණයට මාධ්‍ය ගැනීමක් නෙවෙයි. මෙය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි.

ශ්‍රී ලංකාව රටවල් දෙකක් ලෙස බෙදා වෙන්කර පාලනය කිරීමට බොහෝ ජාත්‍යන්තර දේශපාලන විශේෂඥයින් සැලසුම් සකස් කළේය. එය පරාජය කිරීමත් සමඟ ස්වාධීන රටක් ලෙස අප ආරම්භ කළ ගමන් මගට නැවතත් බාධා එල්ල කිරීම පිළිබඳවත් අප පුදුම වියයුතු නැත.

නිදහසට පෙරත් නිදහසට පසුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් සිදුවූ බලපෑම හා පීඩනය විවිධාකාරයෙන් එල්ල වූ අතර එය වරින් වර විවිධ මුහුණුවරින් හෝ එළියට ඒම අප සමාජය හඳුනාගෙන ඇත. දේ්ශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මෙන්ම විවිධ සම්මුතීන් මඟින් සිදුවන මේ බලපෑම්වලට තනි රටක් ලෙස අප මුහුණ දෙන ආකාරය ප්‍රශංසනීයය.

ශ්‍රී ලංකාව පසුගිය වසර පහක පමණ කාලය තුළ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙනුත් දේ්ශපාලන වශයෙනුත් ස්්ථාවර වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටී. මෙයට ප්‍රධාන හේතුව වසර 30 ක පමණ කාලයක් ක්‍රියාත්මක වූ යුද්ධය අවසන් වීමත් රට තුළ ගොඩනැඟුණු ස්ථාවර දේ්ශපාලන පරිසරයත්ය. ප්‍රතිඵල සමාජගතවීම වේගවත්ව සිදුවිය. සමාජ සංවර්ධනයේ විවිධ පැතිකඩයන් කෙරේ අවධානය යොමු කෙරුණි. පසුව එය ඒ තුළින් “මහින්ද චින්තන ඉදිරි දැක්ම” නමින් මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ නිසාම ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන “ආශ්චර්ය” නමින් හැඳින්වීමට විය. එය සැබෑය. මෑත ඉතිහාසය තුළ යුද්්ධයෙන් වැඩිම පීඩා විඳි රට ශ්‍රී ලංකාව වුවත් අද එය සියලු ජාතීන්ගේ යහපතට හරවාගෙන අභ්‍යන්තර ගැටුම්, කැරළි කොළහාල නොමැති ස්ථාවර දේශපාලනයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව අනෙකුත් රාජ්‍යයන් අතරේ ඉදිරියට යන්නට පටන්ගැනීම ආරම්භ වූයේ අපි කවුරුවත් නිසා නොව ජනාධිපතිතුමන්ගේ නායකත්වය නිසාවෙනි.

ආර්ථික ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙමින් වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග, වාරි ව්‍යාපෘති, විදුලි යෝජනාක්‍රම, සන්නිවේදන, තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර බොහොමයක ශීඝ්‍ර දියුණුවක් ඇතිවිය. එය අද උතුරේ සිට දකුණ දක්වා විහිදුවමින් ක්‍රියාත්මක වීම විශේෂ තත්ත්වයකි.

රට තුළ රැකියා අවස්ථා පුළුල් කර, රැකියා විරහිතභාවය අඩුකර, තරුණ අසහනය තුරන් කිරීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඉටුකිරීම මෙන්ම, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මත කටයුතු කරමින්, නිරෝගී, සෞඛ්‍ය සම්පන්න දියුණු බුද්්ධිමත් ජාතියක් ලෙස ඉදිරියට ගමන් කිරීම ද විශාල අභියෝගයකි.

ස්වාධීන රටක් ලෙස අප මෙම බරපතල පීඩනයෙන් මිදී ස්වාධීන ගමනක් යෑමට නම්, අපට එරෙහිව සිටින බලවේග අප සමාජය තේරුම්ගත යුතුය. එහෙත් මෙම කරුණු සියල්ල ප්‍රවෘත්ති වටිනාකම් වලට සීමාවන සමාජ වටපිටාවක් අද අප රට තුළ ස්ථාපිත වෙමින් පැවතීම කනගාටුවට කරුණකි. ඉරාකයට පහරදීම, ලිබියාවට පහරදීම, ඔසාමාට පහරදීම, ඇෆ්ගනිස්ථානයට පහරදීම මෙන්ම හෙට ගොදුරු කරගන්නා රටවලට පහර දෙන්නේද ජාත්‍යන්තර මාධ්‍ය මඟින් ලෝකය මෝහනය කරමිනි. අසත්‍ය සත්‍ය කරමින් හා අයුක්තිය යුක්තිය කරමිනි. එවන් පසුබිමක ස්වාධීන රාජ්‍යයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය හා වගකීම කෙරේ මාධ්‍යයේ බලපෑම කෙසේ විය යුතු දැයි අප කල්පනා කළ යුතුය.

වර්තමාන රජය සන්නිවේදන තාක්ෂණයේ දියුණුව රටපුරා ව්‍යාප්ත කිරීමේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන් ආරම්භ කළේ මීට වසර කිහිපයක සිටය. රට තුළ සන්නිවේදන තාක්ෂණය මෙසේ වේගයෙන් ගලා ඒමත් සමඟ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුළුල් ලෙස ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගනිමින් ස්ථාපිත විය. අද පුද්ගලයින් සියයකට දුරකථන 105 ක් දක්වා එනම් 105% ක් වර්ධනය වී ඇත. මැනවින් සන්නිවේදනයේ දියුණුව මේ තුළින් පෙන්නුම් කරයි. අද ලෝකය එකිනෙකා යාකෙරෙන සන්නිවේදන දැලක් අප හිසමත එළා ඇත. මෙම සමස්ත මාධ්‍ය අප සමාජයට ඔරොත්තු නොදෙන තරම් තොරතුරු ප්‍රවාහයක් දිනපතා මුදා හරින අතර, ඉන් සමාජයට යහපත් වන්නේ කුමක් ද අයහපත් වන්නේ කුමක් ද යන්න පිළිබඳව තෝරාගැනීමකින් තොරව සිදුවන බැවින් සමාජය අද බරපතළ අර්බූදයකට ගමන් කිරීමක් පෙන්නුම් කරමින් සිටී.

පුවත්පත් වල ප්‍රධාන ප්‍රවෘත්තීන් වැඩිහරියක් පළවන්නේ රටේ සිදුවන යම් ගැටලු, කළකෝලාහල, කුමන හෝ අයහපත් කනගාටුදායක එසේත් නොවන්නේ නම්, කුමන හෝ ගැටුම්කාරී සිද්ධියක් හුවා දැක්වීමය. අද එය පුවත්පතකට සීමා නොවන අතර, උදාවන හිමිදිරියේ සිට දිනයේ වැඩිවේලාවක් විද්‍යුත් මාධ්‍ය තුළ කතාවන්නේ ද එම කෝණයෙනි. මෙය සමාජයේ බහුතරයකට කිසිසේත් ගැළපෙන්නක් නොවේ. සමාජය බලාපොරොත්තු වන තත්ත්වයන් ද නොවේ. මෙම තොරතුරු එක් කොටසක් ගැටුම් ලෙස හඳුන්වයි. තවත් කොටසක් එය දේශපාලන පළිගැනීම් ලෙස බෙදා වෙන් කරයි. තවත් කොටසක් මානව හිමිකම් කඩවීමක් ලෙස ජාත්‍යන්තරයට වාර්තා සකස් කරයි. සිවිල් සමාජය ඉලක්ක කරගනිමින් සිදුවන මෙම තොරතුරු විකිණීමේ ව්‍යාපාරය තුළ ඒ ඒ ආයතනවල ලාභයට යම් දායකත්වයක් ලැබුන ද සමස්ත සමාජයට සිදුවන්නේ ඉන් බරපතළ හානියකි.

ජනතාවට ප්‍රබල බලපෑමක් එල්ලකරන සන්නිවේදන මාධ්‍යයන් දෙක වනුයේ රූපවාහිනිය හා ගුවන් විදුලියයි. රූපවාහිනිය තුළ විකාශය කරන ප්‍රවෘත්ති හා වැඩසටහන්වල අන්තර්ගතය එය නරඹන ප්‍රේක්ෂකයා ත්‍රාසය භීතියට පත්කරනු විනා සවිඥානික පුරවැසියෙකු බවට පත්කරන්නක් නොවන බව නම් පැහැදිලිය. එකකට එකක් රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති මඟින් මිනිස් මනස අවුල් කරන බව ඒවා නැරඹීමේ දී පැහැදිලි වේ.

ප්‍රවෘත්ති විකාශනයේ දී ජාතික මතවාදයන් එයට නියෝජනය කළ නොහැකිද? ජනතාව දැනුවත් කළ නොහැකිද? සමාජයේ සබුද්ධිකයෙකු ලෙස සිතීමට ජනතාවට පෙළඹීමක් ඇති කළ නොහැකිද? ඒ පිළිබඳව මාධ්‍යවේදීන් කල්පනාකර ඇත්ද?

ඕනෑම තොරතුරක් විකුණා ජීවත්වීමේ මාධ්‍ය අපිට හැඳින්විය හැක්කේ කුණු මාධ්‍ය ලෙසිනි. මෙලෙස කුණු වූ මාධ්‍ය තුළින් සමාජයට යහපත් සමාජයකට පෙන්වන මඟ කොතරම් නිවැරදිද? ජනතාවට තෝරා බේරා නැරඹීම හෝ සවන්දීමට වැඩසටහන් තිබේද? යන්න සොයා බැලිය යුතුය.

මාධ්‍යයන්ට රටක් පිළිබඳව ජනතාවක් පිළිබඳව වගකීම ඇත්තේ ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමට යැයි අපි විශ්වාස කරමු. එම විශ්වාසය මත රජය ද, කටයුතු කරයි. ඒ නිසා සමාජය තුළ ක්‍රියාත්මක වීමට මාධ්‍යයන්ට ඉඩ ලබාදීමට රජය කටයුතු කරයි.

මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට අවසර ලබාදීම රජයේ වගකීමයි. එනම් එහි උරුමකරුවෝ රටේ ජනතාවයි. ජනතා දේපළක් පරිහරණය කිරීමේ දී ජනතාවට වග වීමට එම මාධ්‍ය ආයතන බැඳී සිටිය යුතු යැයි සිතේ.

එම කාර්ය භාරයේ වැදගත්කම හඳුනාගත් රජය “මහින්ද චින්තනය” තුළ ඊට හිමි අවස්්ථාව මතුකර ඇත. ඒ මත කටයුතු කරමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක නිමයුම්කරුවන් වී සිටී. ඊට අමතරව විවිධ මාධ්‍ය සංවිධාන හා ඊට අනුබද්ධ අංශ විසින් ආචාර ධර්ම පද්ධති, උපදේ්ශන, මඟපෙන්වීම්, විවිධ නීති රෙගුලාසි ඉදිරිපත් කරමින් සිටී. ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල වැඩකොටසක් රජය ඉටුකොට ඇත.

ජනමාධ්‍යයන්ට නීති රීති වලට යටවීමට හෝ බලපෑමට ලක්වීමට අවශ්‍යතාවයක් අද දවසේ මතුව නැත. නමුත් ජාතික ගැටලුවකදී, අභියෝගයක දී රටක සංවර්ධන කාර්යභාරයේ දී මාධ්‍යය ද, වගකීම තේරුම්ගත යුත්තේ කෙසේ ද? මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය කියා වෙන් වෙන්ව කටයුතු කළ හැකි ද? මේ පිළිබඳව අද දවසේ පුළුල් සංවාදයක් ඇතිවීම වැදගත් කරුණකි. එවැනි සංවාදයක් ගොඩනැඟීමට ඇතැම් ආයතන හා සංවිධාන කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. ඒ සඳහා සියලුදෙනාට ආරාධනා කරන්නෙමු.

ලෝකයේ විවිධ රටවල විවිධ සමාජයන්වලට වැරදි ලෙස සිදුවූ මාධ්‍ය භාවිතයන් නිසා එම සමාජයන්ට අත්වූ ඉරණම් දකුණු ඉන්දියාව, අපි‍්‍රකානු, දකුණු ඇමෙරිකානු රටවල මැනවින් පෙන්නුම් කරයි.

මෙම ප්‍රබල සන්නිවේදන අවකාශය තුළ, දූපතක් තුළ වෙසෙන කෝටි දෙකක් වූ ජනතාව කැමතිවුව ද, අකමැති වුව ද, ගොදුරු බවට පත්ව සිටී. ඇස, කන, දෘශ්‍ය ශ්‍රව්‍ය මාධ්‍ය තුළ පැමිණෙන රූපමය හා ශ්‍රව්‍යමය ඇසුරුම තුළ “ඒඩ්ස්” වෛරසයටත් වඩා භයානක ඒවා මොළ කුහරයට ඇතුළු කරයි. මෙය ජාත්‍යන්තර තත්ත්වයයි. කනගාටුවට කරුණ වන්නේ රටේ අභ්‍යන්තර ජනමාධ්‍ය හැසිරවීම ද අද මෙම තත්ත්වයට පත්වෙමින් පැවතීම ද යන්න ගැටලුවකි.

රටක සංස්කෘතිය, ගුණධර්ම, ආරක්ෂාකර ගනිමින් මානව සංවර්ධනය ඇතිකළ යුතුය. ඒ සඳහා මාධ්‍යයන්ට විශාල කාර්යය භාරයක් හිමිවේ.

නමුත් අද ක්‍රියාත්මක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් කොතෙක් එම කාර්යය ඉටුවේදැයි, අප සොයා බැලිය යුතුය.

මංකොල්ල, අපරාධ, දූෂණ, වංචා, අක්‍රමිකතා, හිංසන, පැහැර ගැනීම්, තළු මරමින් “බ්‍රේකින් නිවුස්” “නිවුස් ඇලර්ට්” වල සිට සති අන්ත පුවත් විශේෂාංගයක් දක්වා ප්‍රචාරය කර හරී. මෙමගින් සමාජ සංවර්ධනයට සිදුවන යහපත කෙබඳුදැයි අප කල්පනා කළ යුතුය. මෙම තොරතුරු ලබාදෙන ආයතනවලට හා නියෝජිතයින්ට තිබේද ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආතතන ද ඇතැම්විට දේශීය අධිපති මූල්‍ය හා දේ්ශපාලනික බලකේන්ද්‍රයට හසුව පවතී.

බලය මූලික කරගත් දේ්ශපාලන ප්‍රවාහය තුළ කටයුතු කළ ඔවුන්, දේශීය ආර්ථිකයේ විශාල පංගුකාරයින් ද වේ. ජනතාවට රටට මඟ කියන මාධ්‍යයන් අද මඟ වැරදී අතරමංව කටයුතු කරන බව පෙනෙන්නේ තරඟය නිසාවෙනි.

ඒ නමුත් විනාශ වන්නේ මාධ්‍ය පමණක් නොවේ. ඒ මත මෝහනය වී සිටින බහුතර ජනතාවයි. සැමියාට බිරිඳ ද දරුවාට දෙමව්පියන් ද අහිමි වේ.

රැක ගත යුතු, පැවතිය යුතු, වටිනාකම්, ගුණාංග, පමණක් නොව අවසානයේ මනුස්සකම ද අහිමි මිනිසුන් පිරිසක් ඉතිරි වේ. සමහර ටෙලි නාට්‍යවල ගීත තුළ, ලිපි තුළ ගැබ්ව ඇත්තේ ද සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය, ජනමාධ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව සියලු දෙනා මීට වඩා සැළකිල්ලක් දැක්විය යුතුය. ඒ සඳහා ආයතන විශාල ප්‍රමාණයක් පිහිටුවා ඇත.

නිලධාරීන් සිටී. නමුත් එයින් පැහැදිලි වන්නේ දෛනික පැවැත්ම සඳහා වූ කටයුතු පමණක් ද සිදුවන දේ මඟින් පැහැදිළිය. උගතුන්, බුද්ධිමතුන්, පර්යේෂකයින්, සන්නිවේදන විශාරදයින් සිය කාර්ය භාර්ය්‍ය වගන්තියට පමණක් සීමා කර කටයුතු නොකළ යුතු සීමාව ඉක්මවා යායුතු අවස්්ථාව අද උදාවී ඇත. ඒ සඳහා හොඳ තෝතැන්නක් අද ස්්ථාපිත වෙමින් පවතී.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා