පැරැණි චාරිත‍්‍රවිධි රකිමින් පෙරහර මංගල්‍යය පවත්වනවා

පැරැණි චාරිත‍්‍රවිධි රකිමින් පෙරහර මංගල්‍යය පවත්වනවා

ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පත්වීමෙන් පසු සංවිධානය කරනු ලබන පස්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙයයි. ත‍්‍රස්තවාදයෙන් සම්පූර්ණයෙන් රට මුදා ගෙන ඇති මේ මොහොතේ පෙරහර සංවිධානය වඩාත් සුවිශේෂී වී ඇත. පෞරාණික චාරිත‍්‍ර විධි ගරු කරමින් වඩා විචිත‍්‍රවත්ව පෙරහර සංවිධානය කෙරෙන ආකාරයත් ඒ සඳහා පවතින අභියෝගත් පිළිබඳ ව දියවඩන නිලමේතුමන් හා කළ සාකච්ඡාවකි මේ.

මේ ආකාරයක් මංගල්‍යයක් ලෝකයේ කිසිදු රටක පවත්වන්නේ නැහැ. පුරා දින දහයක් කුඹල් හා රන්දෝලි ලෙස පෙරහර රාති‍්‍රයේ වීදි සංචාරය කරනවා. ඉන් අනතුරුව දවල් පෙරහර පැවැත්වෙනවා. පෙරහර නරඹන්නන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිනපතා පැමිණෙනවා. මේ නිසාම දළදා මැදුරේ සතර මංගල්‍යයන් අතරින් ඇසළ පෙරහර මංගල්‍යයට කාගෙත් වැඩි අවධානයක් යොමු වෙනවා.

ඇසළ පෙරහර මංගල්‍යය සංවිධානය කිරීමේදී නැකැත් වේලාවන් පිළිබඳව මෙන්ම පෞරාණික චාරිත‍්‍ර සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කරනවා නේද ?

ඇත්තටම දළදා සමිඳුන් උදෙසාත් සිව් මහා දෙවිවරුන් වෙනුවෙන් පූජෝපහාරයක් ලෙස පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයේ සිට අවසානය දක්වා සියලු කටයුතු නැකැත් වේලා වන්ට අනුව සිදු කරනු ලබන්නේ ඉන් සුබ ප‍්‍රතිපල ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ශ‍්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල පෙරහර පවත්වන දින වකවානු තීරණය කිරීම සඳහා මුලින් නැකැත් පත‍්‍රයක් සකස් කරනු ලබනවා. එම නැකැත් පත‍්‍රයට අනුව නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන දේවාල වල ශුභ මොහොතට කප් සිටුවා පෙරහර මංගල්‍යය ආරම්භ කරනවා.

කප් සිටුවීමෙන් පසු මෙම සිව් මහා දේවාලයන්හීදී දෙවියන්ගේ රන් ආයුධය පුරා පස් දිනක්කප වටා පෙරහෙරින් වඩමවනු ලබනවා. එය දේවාල අභ්‍යන්තර පෙරහර ලෙස හඳුන්වනවා. මෙම චාරිත‍්‍ර සඳහා ශ‍්‍රී දළදා මාලිගාව සම්බන්ධ වන්නේ නැහැ. කප් සිටුවා දින පහකට පසු කුඹල් පෙරහර ඇරඹෙනවා.

ඉන් දින පහකට පසු රන්දෝලි පෙරහර පැවැත්වෙනවා. සෑම දිනකම පෙරහර වීදි සංචාරය අරඹන්නේ නැකැත් වේලාවට අනුවයි. මේ ආකාරයට පෙරහර හා බැඳුණු පෞරාණික චාරිත‍්‍ර විධි රාශියක් පවතිනවා. ඒ සියල්ල ආරක්ෂා කර ගනිමින් පෙරහර මංගල්‍යය පවත්වා අවසන් කිරීම අපගේ වගකීමයි. ඒ සඳහා මා නිරතුරුව කැප වෙනවා.

ඔබ දියවඩන නිලමේ ධූරයට පත්වීමෙන් පසු සංවිධානය කරනු ලබන පස් වන දළදා පෙරහර මෙයයි. පෙරහර සංවිධානයේදී දියවඩන නිලමේ ලෙස පැවරෙන වගකීමත් පෙරහරේ විචිත‍්‍රත්වය වැඩි කරලීම පිණිස ඔබ ගෙන ඇති පියවරත් සම්බන්ධව යමක් ප‍්‍රකාශ කළොත්.

ශ‍්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු ලෙසත් ශ‍්‍රී දළදා මැදුරේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙසත් පෙරහර සංවිධානය කිරීමේ සුවිශාල කාර්යභාරයක් මා වෙත පැවරෙනවා. මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා ගරු කරමින් පෞරාණික චාරිත‍්‍ර සුරැකෙන සේ වඩා විචිත‍්‍රවත්ව පෙරහර පැවැත්වීම මා වෙත පැවරෙන වගකීමයි. පෙරහරේ ගමන් කරන පන්දම්කරුවාගේ සිට සධාතුක කරඬුව දක්වා වූ සියල්ල පිළිබඳ මා සොයා බැලිය යුතු වෙනවා. ගතවූ කාලය තුළ මා සෑම අවස්ථාවකම පෙරහරට විශාල සංඛ්‍යාවක් අලි ඇතුන් එකතු කිරීමට පියවර ගත්තා.

පෙරහරට සම්බන්ධ වන කලා ශිල්පීන්ට අලුතින් ඇඳුම් සකස් කර දුන්නා. මෙයට අමතරව පෙරහරට එක්වන සෑම නර්තන ශිල්පියෙකුම පෞද්ගලික මට්ටමින් මා පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ නර්තන හැකියාවන් පිළිබඳ තක්සේරුවක් කරනවා. කලකට ඉහත නටන්න බැරි අයත් පෙරහරට එකතු වෙලා බොරුවට අත පය එහෙ මෙහෙ කරලා සල්ලි හොයා ගත්තා. දක්ෂ ශිල්පීන් පෙරහරට එකතු වෙන්නේ සල්ලි ලබා ගන්න නෙවෙයි. ඔවුන් දැඩි කැපවීමෙන් ඉගෙන ගත් ශිල්ප මහජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරන්නේ දළදා වහන්සේට කරන්නා වූ පූජාවක් ලෙස සලකලයි. අද මම පෙරහර තුළ ප‍්‍රමිතියක් ඇති කර තිබෙනවා. දළදා පෙරහරේ ගමන් කරන සියලුම කලා ශිල්පින් නැටුමට, වැයුමට දක්ෂ අයයි. මා මෙම ප‍්‍රකාශය කරන්නේ දැඩි වගකීමෙන් යුතුවයි.

පෙරහර තුළ අලි ඇතුන්ට සුවිශාල ස්ථානයක් හිමි වන අතර ජනතාවද පෙරහරේ ගුණ දොස් විග‍්‍රහ කරන්නේ බොහෝ විට පෙරහරට එක්වූ අලි ඇතුන් සංඛ්‍යාව අනුවයි. අද වන විට පෙරහර සඳහා හීලෑ අලි ඇතුන් සොයා ගැනීමද බරපතල ගැටලුවක් නේද?

අද වන විට මුළු ලංකාවෙම ජීවත් වෙන්නේ හීලෑ අලි ඇතුන් 120 ක් පමණයි. මේ අතරිනුත් 90 % ක් පමණම අලි වයස අවුරුදු 60 ට වැඩි අයයි. පෙරහරේ සධාතුක කරඬුව හා දේව අභරණ වැඩම කරවනු ලබන්නේ දළ ඇතුන් මතිනුයි. අද වන විට ලංකාවේ හීලෑ දළ ඇතුන් සිටින්නේ විසි දෙනයි. මේ අතරිනුත් කරඬුව වැඩම වීමට හැකි පරිනත තත්ත්වයේ දළ ඇතුන් අපට ඉතිරි වෙලා ඉන්නේ හත් දෙනයි. අද වල් අලි ගහනය වැඩි වෙලා. මෙයට දස වසරකට පමණ පෙර කළ සංගණනයේදී 2000 ක් වූ මෙරට වල් අලි සංඛ්‍යාව අද 5000 කට ඉහළ අගයක් දක්වා වැඩි වෙලා.

සඳකඩ පහනේ ඇතා ඉන්නවා. පැරණි රජ දවස රජුගේ චතුරාංග සේනාවේ ඉදිරියෙන්ම ගියේ අලි ඇතුන්. රජුට කුරුවේ නමින් වෙනම කාර්යාංශයක් පැවතුණා. සෑම රජ කෙනෙකුටම මඟුල් ඇතෙක් හිටියා. සුද්දෝ එදා මේ රටට ඇවිත් අලි දහස් ගණන්වෙඩි තියලා මැරුවා. එහෙම කරපු අය අද අලි රැක ගන්න රාජ්‍ය නොවන සංවිධාන වලට ඩොලර් එවනවා.

මේ අය කරන්නේ අලි රකින්න නොවෙයි. බුද්ධාගම හා බැඳී ඇති මෙරට සංස්කෘතිය ඒ සමග එදා සිට බැඳී සිටි අලියා අපෙන් ඈත් කරන්නයි මේ අය හදන්නේ. අශ්ව රේස්, ගොං පොර ආදියේදී සිදු වන සත්ව හිංසාව පිළිබඳ කටක් නොහරින මේ ව්‍යාජ පරිසරවේදීන්ට පෙනෙන්නේ පෙරහරේ යන අලි විතරයි. මේ පිළිබඳ රජය අවධානය යොමු කර දැන් සිටම පින්නවලින් හෝ අලි ඇතුන් කිහිප දෙනකු ආගමික ස්ථාන වලටවත් ලබාදීමට කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් අනාගතයේ පෙරහර කරන්න වන්නේ අලි ඇතුන් නැතුව තමයි.

මහනුවර ඇසළ පෙරහර සඳහා ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය කෙබඳුද?

මෙම පෙරහර ජාතික උත්සවයක් ලෙස ගැසට් කර තිබෙනවා. ආරක්ෂක කටයුතු මෙන්ම පෙරහර නැරඹීමට එන ජනතාවගේ පොදු පහසුකම් සියල්ල සපුරාලීම රජය මගින් සිදු කරනවා. මෙහිදී ප‍්‍රවාහනය, ජලය, විදුලිය හා සනීපාරක්ෂක කටයුතු ප‍්‍රධානයි. පෙරහර සංවිධානය කිරීම ඇතුළු කාර්යයන් අප කර ගත යුතු වෙනවා. මෙවර පෙරහර සඳහා රුපියල් ලක්ෂ 300 ක් පමණ වැය වෙතැයි අප ගණන් බලා තිබෙනවා.

පෙරහර තුළ දක්නට ලැබෙන්නේ උඩරට සම්ප‍්‍රදායට අයත් නර්තන අංග පමණයි. මෙයට විශේෂ හේතුවක් තිබෙනවද?

සිංහල අවසන් රාජධානිය වුණේ සෙංකඩගලයි. දළදා වහන්සේ කන්ද උඩරටට වැඩවීමෙන් පසු පෙරහර සංවිධානය කෙරුණේ උඩරට ප‍්‍රදේශයේ කලා ශිල්පීන්ගේ සහභාගිත්වය ඇතිවයි. මේ නිසා පරපුරෙන් පරපුරට එම ශිල්පීන් පෙරහරට සහ සම්බන්ධව සිටිනවා. පන්තේරු නෛඅඩි වෙස්නැටුම් හා ජන නැටුම් සියල්ල උඩරට සම්ප‍්‍රදායන්ට අනුව පෙරහරට එක්ව තිබෙනවා.

පෙරහරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම සිදු කෙරෙන්නේ කොයි ආකාරයටද?

විහාර දේවාල සතුවත් පෞද්ගලික දානපතින් සතුවත් අලි ඇතුන් සිටිනවා. දැනට ලංකාවේ විශාලතම හීලෑ අලි පංතිය තිබෙන්නේ දළදා මාලිගාවටයි.

මහනුවර ඇසළ මංගල්‍යය පවත්වද්දි වෙනත් ප‍්‍රදේශ වලත් දේවාල කේන්ද්‍ර කර ගනිමින් පෙරහර පැවැත්වෙනවා. බොහෝ විට සිදු කෙරෙන්නේ අලි හුවමාරු කර ගැනීමයි. පෙරහර දිනට සහභාගි වෙන්නට සමහරු අලි ඇතුන් කිලෝමීටර 100 කට වැඩි දුරක් පයින්ම එනවා. ඇත් ගොව්වෝ ;පරහරට මාසයක් පමණ තියලා මේ ගමන ආරම්භ කරනවා.

ලන්තෑරුම් අරන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ මේ අය පැමිණෙන්නේ. මෙය ඔබ දකින පෙරහරේ නොපෙනෙන පැත්තක්. කොප්පරා සකස් කිරීම, අලි ඇඳුම් මැසීම, පන්දම් සැකසීම පෙරහරට මාස ගණනාවකට කලින් ආරම්භ කරන්නේ. පෙරහර සඳහා දින 11 ක් සම්බන්ධ වෙන අලියෙකුට රුපියල් ලක්ෂයක් පමණ වැය වෙනවා. අලි 80 ක් පෙරහරේ ගියොත් එතනම ලක්ෂ 80 ක්.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් සමග අද යුද බිය තුරන්ව ගිහින්. ජනතාව වෙතින් බිය සැක තුරන්ව යමින් තිබෙනවා. පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ වැඩිවීමක් මෙම පසුබිම තුළ අපේක්ෂා කළ හැකියි නේද ?.

වසර 30 කට පසු අද ජනතාවට ත‍්‍රස්තවාදයෙන් තොර රටක නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජනපතිතුමන්ටත් ආරක්ෂක ලේකම් තුමන්ටත් ති‍්‍රවිධ හමුදාපතිවරු පොලිස්පති ඇතුළු සියලු රණවිරුවන්ටත් මේ වෙනුවෙන් අපි ප‍්‍රණාමය පුද කළ යුතුයි. තිස් වසරක් පුරා පැවති යුද බිය පහව යෑමෙන් පසු පවත්වන පළමු පෙරහර මෙයයි. පසුගිය කාලයේ අපි පෙරහර සංවිධානයේදී විශාල ලෙස අවදානම් වලට මුහුණ දුන්නේ. දළදා වහන්සේගේ හාස්කම් නිසාම පෙරහරට විශාල හානි කරන්න කිසිවකුටත් නොහැකි වුණා. ආරක්ෂක අංශ මෙහිදී සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. එල්. ටී. ටී. ඊ. ගුවන්යානා ප‍්‍රහාර එල්ල වෙයිද කියන බියක් අපට තිබුණා.

පෙරහර සමයේ 8000 ක පමණ පොලිස් හා හමුදා නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කිරීමට අපට සිදු වුණා. පෙරහර මාර්ග කෙටි කළා. කලින් තීරණය කර තිබූ මාර්ග හදිසියේ වෙනස් කළා. පෙරහර මාර්ගය දෙපස ආරක්ෂක වැටවල් ඉදි කළා. අද යුද බිය තුරන්ව ඇති නිසා දේශීය ජනතාවගේ පමණක් නොව විදේශීය ජනතාවගේද වඩා වැඩි සහභාගිත්වයක් පෙරහර නැරඹීමට තියේවි. ත‍්‍රස්ත බිය තිබියදීත් පසුගිය දළදා ප‍්‍රදර්ශනය නැරඹීමට සුවිශාල ජනතාවක් පැමිණෙනු බැවින් මෙවර ඇසළ පෙරහර දැක බලා ගැනීමට පෙර නොවූ විරූ ජනතාවක් ඒවි යැයි අප කල්පනා කළා. ඒ අනුව පෙර වසර වලට සාපේක්ෂව පෙර හර මාර්ගය දිගු කිරීමක්ද මෙවර සිදු කර තිබෙනවා.

පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට ඔබ විශේෂ පණිවුඩයක් දෙනවද?

මේක ආගමික හා සංස්කෘතික උත්සවයක් මිස සැණකෙළියක් නෙවෙයි. සමහරුන්ට මේක පැටලෙනවා. මෙය තේරුම් ගෙන විනීත ඇඳුම් පැළඳුම් වලින් සැරසී එන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යුද බිය තුරන් වූවා යැයි කියා රටේ ආරක්ෂාව ලිහිල් කරන්න එකපාරටම බැහැ. ඒ නිසා මෙවරත් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් පෙරහර සමයේ කි‍්‍රයාත්මකයි. අත්‍යවශ්‍යම දේ හැර බඩු භාණ්ඩ විශාල ලෙස ගෙන නොඑමින් ආරක්ෂක සෝදිසි කිරීම් වලට සහාය වන ලෙසත් නගරයේ පවිත‍්‍රතාව රැක ගැනීම උදෙසා දායකත්වය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටින්න කැමතියි.

අවසන් රන්දෝලි මහ පෙරහර පසුදින දවල් පෙරහර පැවැත්වීමෙන්පසු ඔබ ඇතුළු පෙරහරට සම්බන්ධ වූ සෙසු නිලමේවරු කුඩා විසිතුරු පෙරහරකින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිතුමන්ට පෙරහර සංදේශයක් බාර දෙනවා නේද?

පෙරහර නිල වශයෙන්අවසන්වෙන්නේ එම සංදේශය රාජ්‍ය නායකයාට බාරදීමෙන් පසුයි. එකල රටේ රජුට පෙරහර පෞරාණික චාරිත‍්‍ර ගරු කරමින් සාර්ථකව පැවැත්වූ බව නිලමේවරු සැල කර සිටිනවා. අදද එම චාරිත‍්‍රය නොනැසී පවතිනවා. විධායක ජනාධිපතිවරයාට වර්තමානයේ අදාල සංදේශය බාර දෙනවා. ඉදිරියේදී පෙරහර කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට පවතින අඩු පාඩු හා අවශ්‍යතා පිළිබඳවද මෙම සංදේශය මගින් ජනපතිතුමන්ගේ අවධානයට යොමු කරනවා.

විහාර දේවාල වල ඉඩම් ප‍්‍රශ්න වලට විසඳුම් දීම දිවයිනේ ප‍්‍රධාන දේවාල සියල්ල ගැසට් කිරීම ආදි ඉල්ලීම් අප කලක පටන් ඉටු කරන ලෙස පෙරහර සංදේශය මගින් ජනපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒවා ඉටු වුණේ නැහැ. එහෙත් වත්මන් ජනපතිතුමන් පසුගිය වර අප පෙරහර සංදේශය මගින් කළ ඉල්ලීම් සියල්ලට විසඳුම් ලබා දෙමින් සිටිනවා. ත‍්‍රස්තවාදය රටින් මුලිනුපුටා දමා අද එතුමා රට සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිනවා. එතුමාට කරන ගෞරවයක් හා ස්තුතියක් ලෙස මෙවර පෙරහර සංදේශයෙන් කිසිදු ඉල්ලීමක් එතුමාගෙන් නොඉල්ලන්නට අපි තීරණය කළා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා