වසර 50ක් නර්තනයෙන් පෙරහරට දායක වූ රංජිත් බණ්ඩාර

වසර 50ක් නර්තනයෙන් පෙරහරට දායක වූ රංජිත් බණ්ඩාර

ළයේ මහා කලා මංගල්‍යය ලෙසින් කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගන්නා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට එක්වරක් හෝ සහභාගි වී රැඟුම් දැක්වීම ඕනෑම උඩරට නර්තන ශිල්පියෙකුගේ අපේක්ෂාවයි දළදා සමිඳුන් උදෙසාත් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දෙවිවරුන් වෙනුවෙනුත් කරන්නා වූ මෙම මහා පූජෝපහාරය වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමේ අවස්ථාව පෙරහරට සම්බන්ධ වීම මගින් කලා ශිල්පියකුට හිමිවේ. මෙයට අමතරව දක්ෂතාවලින් පිරිපුන් ප‍්‍රවීණ ශිල්පීන් හා නර්තන ඉදිරිපත් කර තමන්ගේ කුසලතාවන් වර්ධනය කර ගැනීමේ අවකාශයද මෙමඟින් කලා ශිල්පියකුට හිමිවේ. මේ නිසාවෙන් මහනුවර ඇසළ පෙරහරේ රැඟුම් දැක්වීම ඕනෑම නර්තන ශිල්පියකු සලකන්නේ තම ජීවිතයේ ලබන භාග්‍යයක් ලෙසිනි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට වයස අවුරුදු 12 ක තරම් කුඩා වයසේදී එක්ව පුරා අඩ සියවසක පමණ කාලයක් එහි රැඟුම් දක්වන්නට යම් කලාකරුවකුට අවකාශ සැලසෙන්නේ නම් ඔහු ඇත්තෙන්ම භාග්‍යවන්තයෙකි. එවන් වූ වාසනා ගුණයෙන් හෙබි කලාකරුවකු වන රංජිත් බණ්ඩාර අද තම ජීවිතයේ 62 වන ජන්ම දිනයද සපුරා ඇත. ඔහු අදද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට එක්ව රැඟුම් දක්වන්නේ හිරිමල් යොවුන්වියේ තරුණයකු මෙනි.

නැටුම් කලාවට ඇති උනන්දුව කැපවීම නිසාම උඩරට නර්තනයේ කෙළ පැමිණියකු වන රංජිත් බණ්ඩාර මහනුවර ඇසළ පෙරහරේ දක්ෂතම උඩරට නැටුම් ශිල්පියාට හිමි ජනපති සම්මාන 25 ක් දිනා ඇත. මෙරට බලයේ සිටි සෑම ජනපතිවරයකුම අතින්ම හෙතෙම සම්මාන ලබාගෙන තිබේ.

පන්තේරු නැටුම් ඉගෙන ගන්න තාත්තා මාව මේ රටේ පිළිගත් නර්තන ශිල්පියකු වූ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ වෙත වයස අවුරුදු 10 දී බාර දුන්නා. පසුව නෛඅඩි නැටුම් ඉගෙන ගත්තා. උඩරට නැටුම් ශිල්පියකු ලෙස මම වෙස් බැන්දේ රුහුණු කතරගම මහ දේවාලයේ කිරිවෙහෙර අභියසදීයි.

තිත්තවෙල ගුණයා හා උක්කුවා ගුරුන්නාන්සේලාගේ මඟපෙන්වීම මත පන්තේරු නැටුම් ශිල්පියකු ලෙස මම 1957 වසරේදී මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වුණා. 1959 වසරේදී මහා අලි කුලප්පුවක් පෙරහරේ ඇතිවුණා. එතකොට අපි දළදා මාලිගාවේ පෙරහරේ නර්තන ඉදිරිපත් කරමින් සිටියේ. එකපාරටම මිනිස්සු කලබල වෙලා දුවන්න පටන් ගත්තා. පන්දම්, පන්තේරු බිම දාලා පෙරහරේ ගිය අයත් දුවන්න ගත්තා.

අපේ ගුරුන්නාන්සේලා වූ නිත්තවෙල ගුණයා, උක්කුවා ඇතුළු උඩරට වෙස් නැටුම් ශිල්පින් ඒ වෙලාවේ කොච්චර කලබලයක් ඇතිවුණත් දියවඩන නිලමේතුමාව දාලා ගියේ නැහැ. ඔවුන් එතුමාව වටකරගෙන හිටියා. මම සෙනඟ අස්සෙන් රිංගගෙන මාලිගාවට ගියා. ඒ කාලේ දැන් වගේ ආරක්ෂක රැකවල් නැති නිසා අපට ඕනෑම පැත්තකින් යන්න පුළුවන්කම තිබුණා.

ඒකාලේ පන්තේරු නැටුම් ශිල්පියකු ලෙස පෙරහරට සම්බන්ධ වුණාම මට ශත 50 ක් ලැබුණා. වෙස් නැටුම් ශිල්පියකුට ලැබුණේ 1.50 ක් පමණයි. බනිස් ගෙඩියක් කාලා ප්ලේටියක් බිව්වම වැයවෙන්නේ ශත 11 යි. තෝසේ එකක් ශත 02 යි. මේ නිසා මට ශත 50 ක් ලැබුනාම ඒක ඉහටත් උඩින් වටිනා ගානක් වුණා.

ඇත්තටම මම දක්ෂ නැට්ටුවෙක් වුණේ පෙරහරේ නටලයි. දැන් අවුරුදු 50 ක් මම එකදිගට පෙරහරේ නටනවා. පෙරහර පැවැත්වෙන දින 11 තුළ සාමාන්‍යයෙන් අපි නර්තන ඉදිරිපත් කරමින් කිලෝමීටර් 25 ක් පමණ ගමන් කරනවා. අද මට අවුරුදු 62 ක් වෙනවා. පෙරහරේ කොච්චර දුර ගියත් මට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒක ඇත්තටම හාස්කමක් කියලා මම හිතනවා. රංජිත් බණ්ඩාර කලා ශිල්පියාගේ අඩිපාරේ යමින් ඔහුගේ මුණුපුරු මිතුන් දුලංජන බණ්ඩාර අද වෙස් නැටුම් ශිල්පියකු ලෙස මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධව සිටියි. වයස අවුරුදු 16 ක් වන දුලංජන වෙස් බැඳ ඇත්තේ මෙයට දෙවසරකට පෙරය. ගතවූ අඩ සියවසක කාලය තුළ රංජිත් බණ්ඩාර මහතා මහනුවර ඇසළ පෙරහර එක්ව කිලෝමීටර් 1250 ක පමණ දුරක් ගමන්ගෙන ඇත. එම ගමන තවත් දිගුවේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

පෙරහරේ අලි ගමන් කරන්නේ බර අඩි තබා හෙමිහිටයි. නර්තන ශිල්පීන්ද ඒ ආකාරයට යායුතු නිසා උඩරට නර්තන ශිල්පීන් පෙරහරේ රැඟුම් දක්වන්නේ ගජගා වන්නමට අනුවයි. පෙරහරේදී සධාතුක කරඬුවට පිටුපා කිසිම නැට්ටුවෙක් නටන්නේ නැහැ. වෙස් ශිල්පින් කරඬුව තනිකර කොයි වෙලාවකවත් ඉදිරියට යන්නේ නැහැ. මේවා පෙරහර සම්ප‍්‍රදායන් ලෙස අදටත් සුරැකී තිබෙනවා.

ම අද මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වන්නේ විෂ්ණු දේවාලය නියෝජනය කරමිනුයි. විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්ක මහතාට ඉදිරියෙන් මගේ වෙස් නැටුම් කණ්ඩායම ගමන් කරනවා. සාමාන්‍යයෙන් පෙරහරේ වෙස් නැටුම් ශිල්පීන් නර්තන ඉදිරිපත් කරන්නේ කරඬුවට ඉදිරියෙන් හා නිලමේතුමන්ට ඉදිරියෙන් ගමන් කරමිනුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා