අපි සූදානම්

අපි සූදානම්

We are ready

ගොවීන්ට සහ අලින්ට වෙන්කළ මහ වනය මැදින් වැටී ඇති - පළින් පළ කැඩී ගිය තාර පාර ඔස්සේ සිංහල දෙමළ ඇත්තෝ වසරක් පාසා කතරගම ගියහ. ඊට වැඩිමනත්ම බෞදධයෝ තිස්ස වෙහෙර වැඳ වැඩිහිටි කන්ද තරණයකොට කිරින්ද මුහුදු වෙරළේ ඇති විහාර මහා දේවිගේ පිළිරුවද බලා වන්දනා ගමන සම්පූර්ණ කර ගත්හ. මෙම වන්දනා ගමනේදී හම්බන්තොට නගරය පසු කරන වන්දනා නඩ තමන්ගේ දකුණු පසින් දිස්වන මහා සාගරය දෙස බැලුවේ අමුත්තක් දකින්නට නොවේ.

හම්බන්තොට මුහුද දකින හැම පැයකම ඔවුහු ඈත රළ ගෙඩි යටකර ගෙන නැව් ගමන් කරනු දකින්නට ඇත. එහෙත් ඔවුහු තමන්ගේ වම් පැත්තේ කරදිය පිරුණ මහා ජලාශයක් හෝ එම ජලාශයේ නැංගුරම් ලා තිබෙන නැවක් හෝ ගතවූ ජීවිත කාලය තුළ නොදුටහ. දැක ගන්නට සිතුවේද නැත. එවැනි සිහින මවන්නට තරම් අපේ මිනිසුන් බොළඳ වූයේ ද නැත. කාලය ගෙවී ගියේ ය. ආණ්ඩු ආවේ ය. ආණ්ඩු ගියේ ය.

රාජ්‍ය නායකවරු හොඳින් හෝ නරකින් රට පාලනය කළහ. සමහර නායකයෝ විස්මිත දේ නොකළා නොවේ. එහෙත් මුළු රටම නොව ලෝකයම විස්මිත කරවන දෑ 2005 න් පසු සිදු වන්නට විය. එහි අමුතු විස්මිත ස්වරූපයකට වඩා කැපවීම අන්තර්ගත විය. මවුබිම වෙනුවෙන් ඍජු තීන්දු ගැනීමට තරම් ඍජු පටිපන්න නායකයෝ රටට බිහි වූහ. නායකයා හම්බන්තොටින් බිහිවූණත් ඔහු රටේම නායකයා විය.

2005 වනවිට වසර විසි පහක් තිස්සේ රට වෙලාගත් ත්‍රස්තවාදය සමඟ නිමක් නැති අරගලයකට අත තැබූ රාජ්‍ය නායකයාට වෙනත් යමක් ගැන හිතන්නටවත් වේලාවක් සොයා ගැනීම අපහසුය. ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ යුද ජයග්‍රහණ පමණි.ඔහුට කළ යුතුව තිබුණේ ප්‍රභාකරන් රටපුරා යවා සිටි මරාගෙන මැරෙන කොටින් මර්දනය කිරීම පමණි. ජනතාවට අවශ්‍ය වූයේ තුන්වේලම කෙසේ වෙතත් එක වේලක්වත් පිරිමසාගෙන නිවීහැනහිල්ලේ ජීවත්වීම පමණි. වැඩපොළට යන සැමියාට පාසලට යන දූලා පුතාලාට නිරුපද්‍රිතව ගෙදර එන්නට පරිසරය නිර්මාණය කිරීම පමණි.

එය අකුරටම ඉටු විය. රාජ්‍ය නායකයාට රණවිරු පුතුන්ට, පොලීසියට සහ සියල්ල මෙහෙයවූ ආරක්ෂක ලේකම්ට ජනතාව හිස නමා ප්‍රණාමය පුද කරති. ත්‍රස්තවාදය සමඟ පොරබැදූ නායකයා රට සංවර්ධනය කරා මෙහෙයවන්නට අත්තිවාරම දැමුවේද යුද්ධය කරන අතරතුරය. එක් පැත්තකින් අධිවේගී මාර්ග වලට පාරවල් කැපුණි. ගොවිතැන බතට අවශ්‍ය සියලු සහන එකින් එක කැපුවා නොව ලබා දුන්නේ ය.

ඡන්දවලට බයේ නතර කර තිබූ නොරොච්චෝලේ ඉහළ කොත්මලේ විදුලි බලාගාර රටට විදුලිය දෙන්නට ආලෝකමත් කළේ ය. හැම පාරක්ම අලුත් විය. ගමේ පාරට කොන්ක්‍රීට් වැටුණි. දකුණට සංවර්ධන අරුණළු වැටෙන්නටත් කලින් නැඟෙනහිර නවෝදයෙන් උතුරු වසන්තයෙන් නැගෙනහිර සහ උතුර බැබලුණේ ය. ඒ සියල්ලටම වඩා රටේ ජනතාව අපේක්ෂා නොකළ දැවැන්ත ව්‍යාපෘතියක් හම්බන්තොටින් ඇරඹුණි.

කතරගම යන අය අද මුලින්ම නතර වන්නේ හම්බන්තොට ය. ඒ මත්තල ගුවන් තොටුපල බලන්නට ය. හම්බන්තොට වරාය බලන්නට ය. හෙට සුබ නැකතින් කරදියෙන් වරාය පතුල වැසී මහා සාගරයක් නිර්මාණය වන්නේ ය. හෙටත් ලක්ෂ ගණනින් ජනතාව වරාය තුළ එක්රොක් වන්නේ රාජ්‍ය නායකයා සමඟ කරදියෙන් දෙපතුල තෙත් කර ගන්නටය.

නැව් එන්නට කළින් වරාය පතුලේ සිට කිසිදාක නොලැබූ අත්දැකීමක් ලබන්නට ජනතාව පින්කර ඇත්තාහ. පිටපාරෙන් ගිය සියලුම නැව් හෙට වතුරෙන් පිරෙන වරායට එන්නේ ඉන්ධන ලබා ගන්නටය. වතුර ලබා ගන්නටය. වරායට එන නැව්වල නාවිකයෝද හම්බන්තොට නගරයේ සංචාරය කරනු ඇත. ඔවුන්ද අලුත් අත්දැකීමක් ලබනු ඇත.

කරදිය මංගල්‍යයට අත් උදව් දුන් සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. වරාය අධිකාරිය මුලටම එයි. මේ මහා විස්කම ගොඩබිමේදී නිර්මාණය කරන්නට හවුල් වූ චීන රජය අපට හැමදාමත් අතහිත දුන්නේ පැරැණි මිත්‍රත්ත්වය යළි යළිත් තහවුරු කරමිනි. හෙට දවසේ සිට සති ගණනක් කරදිය පිරෙන වරායේ ප්‍රථම නැව නැංගුරම් දමන්නේ නොවැම්බරයේදී ය. ඒ සමගම ලෝකය හම්බන්තොට හරහා ශ්‍රී ලංකාව සමඟ සුහදත්වයෙන් බැඳෙනු ඇත.

ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරන පිරිස්ද නැත්තේ නොවේ. ඒ පටු අවස්ථාවාදී දේශපාලනයක නියැලී සිටින පක්ෂයටත් රටටත් ජනතාවටත් එපා වූ කොටසකි. රට විනාශය කරා යන බව ඔවුහු කියති. එසේ කියනවා මිස හේතු සාධක නැත. තවත් පක්ෂයක් සුපුරුදු පරිදි හැමදේම නරකක්ම දකී. වරාය ඔවුන්ට නොපෙනේ. පාරවල් වල ගමන් නොකරති. විවිධ චෝදනා නිසා අත්අඩංගුවට පත්වූවකු නිදහස් කර ගන්නට පෙළපාලි යති. සණ්ඩු කරති. පොලීසියට පහර දෙති. ඒ ඔවුන්ගේ ජන්ම ගතියයි. වැඩක් කරන්නේ ද නැත. වැඩ කරන අයට සහය දෙන්නේ ද නැත. ඉව වැරැදුණු සුනඛයන් මෙන් ඛ්ැරුන හැරුන අතේ දුවති.

විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කරන ජනතාව ආණ්ඩුව සමඟ සිටිති. හම්බන්තොට වරාය බලන්නට ලක්ෂ ගණනින් යන්නේ දේශපාලන භේදයෙන් තොරවය. ඒ නිසා රට කුලප්පු කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද හෙට ජනතාව සමඟ හම්බන්තොට ගොස් කරදියෙන් දෙපා දෝවනය කරගන්නේ නම් මොළය පෑදෙනු ඇත. ඔවුන් පිළිගැනීමට රාජ්‍ය නායකයා සූදානම්ය. වරාය අධිකාරිය සූදානම්ය.

“අපි සූදානම් ‘ We are ready’

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා