නවසීලන්තය පරදවා ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

නවසීලන්තය පරදවා ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු 3 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය. ඉන්දියාව දැවැන්ත පරාජයකට ඇද දැමූ නවසීලන්ත පිල ඊයේ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමිකර දෙමිනි.

උපුල් තරංග

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 193ක ඉලක්කයක් කරා ගමන් කිරීමේදී පළමු කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5ක් ලබා සිටියදී දැවී ගියේ මිල්ස් යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි. ඉන්පසු නායක කුමාර සංගක්කාර හා උපුල් තරංග අගනා සබඳතාවක් ගොඩනගාගෙන සිටියදී ලකුණු 48කට සංගක්කාර දැවී ගියේ ස්ටයිරිස්ගේ පන්දුවකට ගප්ටිල් ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ මුළු ලකුණු 96ක් තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළේ උපුල් තරංග විසිනි. අගනා ලකුණු 70ක් අත්කර ගත් තරංග හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට එක්කර ගෙන තිබුණි. තරගයේ දී නොදැවී ලකුණු 36 රැස් කළ තිලාන් සමරවීර 41 වන ඕවරයේ දී එල්ල කළ හතරේ පහරත් සමඟ කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකා පිල ජයග්‍රාහි ඉලක්කය සපුරාගනු ලැබිණි.

පන්දු යැවීමේදී නවසීලන්ත පිලේ කයිල් මිල්ස් ලකුණු 41 කට කඩුලු 4ක් දවාගනු ලැබීය. සවුත්‍රි, මැකලම් හා ස්ටයිරිස් කඩුලු එක බැගින් දවාගනු ලැබීය.කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔවුහු ඕවර 48.1 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 192 ක් ලබා ගත්හ. රඳවා ගත් ලකුණු වේගය 3.98 කි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලබාගත්තේ බී. ජේ. වෙට්ලින්ය. ඒ ලකුණු 55 කි. ඔහු හතරේ පහර 8 ක් එල්ල කළේය. නේතන් මැකලම් 36, ස්කොට් ස්ටයිරිස් 24, රෝස් ටේලර් 16, ටිම් සවුත්‍රි 13 ක් ලෙස ලකුණු රැස් කළහ. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලු 3 ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 කට කඩුලු 3 ක් ද, රංගන හේරත් ලකුණු 35 කට කඩුලු 2 ක් ද, නුවන් කුලසේකර ලකුණු 35 කට කඩුලු 1 ක් ද, අජන්ත මෙන්ඩිස් ලකුණු 42 කට කඩුලු 1 ක් ද දවාගනු ලැබීය.

තරගයේ වීරයා සම්මානය උපුල් තරංගට හිමිවූ අතර 16දා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා