නිල් දියඹ ජයගත් මහ සෙන්පති

නිල් දියඹ ජයගත් මහ සෙන්පති
 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

ඔබ වීරයෙකි රැකගත් හෙළ සයුරු තෙර

 

 

යුතුකම මිනිස්කම හද තුළ ජනිත කර
සුන්කර සතුරු කැල රටකට අහිත කර
හිස මත දරා බළ මුළුවක සියලු බර
ඔබ වීරයෙකි රැකගත් හෙළ සයුරු තෙර

- අමර පී. වීරසිංහ

 

 

ජනාධිපතිතුමා සමඟ නාවික හමුදාපතිවරයා මහ සයුරේ නිරීක්ෂණ චාරිකාවක

කෙනර විකුම් පෑ ඔබමය මල් පොකුර

සතර දෙසින් වට මහ සමුදුරු ගැඹර
විතර නොහිමි බලයෙන් රැකසිට නිතොර
පතුරවමින් ජයගොස රුදු බල නිඳැර
කෙනර විකුම් පෑ ඔබමය මල් පොකුර

- රත්න ශ‍්‍රී විජේසිංහ

න්නි මානුෂික මෙහෙයුම මගින් මේ වන විට මුළු ශ‍්‍රී ලංකාවම වේලුපිල්ලේ ප‍්‍රභාකරන් නමැති ජන ඝාතකයාගෙන් මුදා ගැනීමට අපගේ වීරෝදාර රණවිරුවෝ සමත් වී සිටිති. මුළු රටම එක්සේසත් වී ශ‍්‍රී ලංකාවේ මුළු වර්ග සැතපුම 25332 තුළම දේශයේ ආදිපත්‍ය රැඳවීමට අපගේ වීරෝදාර රණවිරුවන් කි‍්‍රයා කළහ.

වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ‍්‍රී ලංකා නාවික හමුදාපති

යුද හමුදාව වන්නි මානුෂික මෙහෙයුම සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටියදී පලා යන කොටි ත‍්‍රස්තවාදීන්ට මහමුහුදෙන් අඟලක් වත් ඉදිරියට යා නොහැකි වනසේ රටවටා මහ මුහුද ආරක්ෂක වළල්ලක් යෙදීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාව කි‍්‍රයා කළේය. විශේෂයෙන් අවසන් සටන අවස්ථාවේදී පුදුමාතලන් යුදමුක්ත කලාපය ඉදිරිපිට වෙල්ලමුල්ලවයික්කාල් මුහුදු ප‍්‍රදේශය දැවැන්ත නාවික වළලු හතරකින් ආවරණය කර තිබු අයුරු එම මුහුදුතීරයේ සංචාරය කළ අපට සියැසින් දැක ගැනීමට ලැබිණි. විශේෂයෙන් කුඩා යාත‍්‍රා බලඝනය සහ ක්ෂණික යාත‍්‍රා බළඝනය පණගන්වා එම ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබිණි.

ප‍්‍රථමයෙන් කුඩා අධිවේගී ඩිංගි බෝට්ටු සමූහයත්, දෙවනුව වෝටර් ජෙට් ප‍්‍රහාරක යාත‍්‍රාද , තෙවනුව අද්විතීය ප‍්‍රහාරක යාත‍්‍රාවන් වූ ඩෝරා ආරක්ෂක වළල්ලත් , ඊට ඉහළින් ජාත්‍යන්තර මුහුදු ප‍්‍රදේශයේ නාවික හමුදාවේ ප‍්‍රහාරක නෞකා සමූහයක් රඳවා තිබෙනු දක්නට ලැබිණි. මෙම මුහුදු ආරක්ෂක වළල්ල හරහා පලායාමට පැමිණි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර දහයක් පමණ වළකා ත‍්‍රස්තවාදීන් සියයට අධික පිරිසක් මරාදමා කොටි බෝට්ටු විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට අපේ නාවික හමුදාවට හැකි විය.

නැඟෙනහිර සහ වන්නි මානුෂික මෙහෙයුම් ආරම්භ කළදා පටන් කොටි ත‍්‍රස්තවාදීන් සතු බර අවි සහිත පාවෙන ආයුධ ගබඩා වූ මහ නැව් දහයක් පමණ සුණු විසුණු කිරීමට අපේ නාවික හමුදාවට හැකි විය. එම නැව් විනාශ නොකළේනම් ඇතැම් විට මෙම යුද්ධය තවත් දිග්ගැසෙනු ඇත. කාලතුවක්කු අවි රැසක් වෙඩි නොවදින යුද ටැංකි , මල්ටිබැරල් අවි, පුපුරණ ද්‍රව්‍ය ටොන් ගණනින් එම නැව්වල තිබිණි. නාවික හමුදාවේ ප‍්‍රහාරක අශ්වයන් වූ ‘’සයුර’’ ‘’සුරනිමළ’’ , ‘’සමුදුර’’ සහ ‘’ශක්ති’’ යන නැව් ජාත්‍යන්තර මුහුදේදී මෙම කොටි අවි නැව් හඹාගොස් විනාශ කළහ.

මේ සියලු නාවික හමුදා ජයග‍්‍රහණයන් සහ මුහුදු කොටින් මැඩලීමේ කටයුතු සැලසුම් කර කි‍්‍රියාත්මක කළ මහ විරුවා වූයේ ශ‍්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි. ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ වසර 38 ක නාවික හමුදා සේවා පළපුරුද්ද තුළින් සියලු කටයුතු අධීක්ෂණය සහ අණදීම සිදු කෙරුණි. නාවික හමුදාවට අවශ්‍ය මෙහෙයුම කඩිනමින් ආරක්ෂක ලේකම්තුමා මගින් ක්ෂණිකව නාවික හමුදාවට ලබා ගැනීමට ඔහු සමත් විය. වසර 58 ක ශ‍්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ සිටි දක්ෂතම ,පළපුරුදු දීර්ඝ සේවා කාලයක අත්දැකීම් බහුල ජයග‍්‍රහණ රැසක් ලබාගත් නාවික හමුදාපතිවරයා වූයේද කරන්නාගොඩ මහතායි.

අවසන් මොහොත දක්වාම නාවික මෙහෙයුම් කලාපයක රාජකාරිය කරමින් සිටියදී ප‍්‍රථම වරට නාවික හමුදාපතිවරයා වූයේද වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි. ඔහු 2005 සැප්තැම්බර් 01 වැනිදා නාවික හමුදා පදවියට පත් කරන තුරුම ඔහු සේවය කළේ නැඟෙනහිර පළාතේ නාවික ආඥාපතිවරයා ලෙස ය. සාමාන්‍යයෙන් නාවික හමුදාපති ධුරයට පත් සියලුම දෙනා තෝරා ගත්තේ නාවික හමුදා මුලස්ථානයේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරියාව සිටි අයෙකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරන්නාගොඩ මහතාගේ දක්ෂතාවයන් හැකියාවන් අවබෝධකරගෙන කරන්නාගොඩ මහතා එම තනතුරට පත් කළේ ඔහු සැබෑම දක්ෂයකු වූ නිසාම ය.

සටන් විරාම සමයේදී කරන්නාගොඩ මහතා නැඟෙනහිර නාවික ආඥාපතිවරයාව සිටි සමයේදී ඔහුගේ අණදීම යටතේ කොටි ත‍්‍රස්තවාදී්නගේ ආයුධ නැව් දෙකක් පහරදී ගිල්වා දැමීමට සමත් වූ අතර එම සමයේදී එම සිද්ධි ඇතැම් අයට ප‍්‍රශ්නයක්ව තිබිණි. එම ප‍්‍රහාර සටන් විරාම කඩකිරීමක් කළ බව එදා කොටි සංවිධානය ජාත්‍යන්තරයට දන්වා සිටියේය. එහෙත් ආනන්ද – නාලන්දා බොදු විදුහල්වලින් අධ්‍යාපනය හදාරා ඇති දරුවන් තුළ හදවතේ ජනිත වන ජාතිකත්වය කුමන බලවේගයකටත් යටපත් කළ නොහැකි අතර තමන්ගේ රැකියාවේ ඉදිරි පැවැත්ම කෙසේ වෙතත් රටට විනයක් කළ පොදු සතුරා විනාශ කිරීමේ අටියෙන් කරන්නාගොඩ මහතා එදා එම තීන්දුව ගෙන සටන් විරාම සමයේදී ම කොටි නැව් දෙක විනාශ කළේ ය.

කොළඹ ආනන්දයෙන් සිප් කිරි බී යුදහමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගොඩබිමින් ත‍්‍රස්තවාදීන් මෙල්ල කර රට නිදහස් කර ගැනීමට දායක වූවාසේම එම යුගයේම යුද හමුදාපතිවරයාට වඩා ආනන්දයේ වසර දෙකකින් පමණ පහළ පන්තියක ඉගෙනුම කළ වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපතිවරයා ලෙසින් දස්කම් පා මිලේච්ඡ ජන ඝාතක ප‍්‍රභාකරන් ගේ මුහුදු කොටි බලපෑම් ලොප් කර වීමට සමත් විය. දෙදෙනාම එකම අරමුණකින් සටන් කර අවසානයේ ජයග‍්‍රහණය ලබා ගත්හ.

සටන් විරාම සමයේ දී ති‍්‍රකුණාමලය නගරයේ බස්නැවතුම අසල බුදුපිළිමය ස්ථාපිත කළ අවස්ථාවේ දී ඇති වු ජාතිවාදී ගිනිපුළිගු යටපත් කර ප‍්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා එදා ති‍්‍රකුණාමලයේ ති‍්‍රවිධ හමුදා ආඥාපතිවරයා ලෙස පත් කළේද නැඟෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා ය. සියලු පාර්ශවයන් සමඟ අවබෝධය සහ සුහදත්වය වර්ධනය කර ප‍්‍රදේශය සන්සුන් කිරීමට ඔහු කටයුතු කළේ ය. දක්ෂතා රැසකින් හෙබි අවසන් සටන ජයගැනීමට උරදුන් වත්මන් නාවික හමුදාපතිවරයා කළුතර දිස්ති‍්‍රක්කයේ සුප‍්‍රසිද්ධ කරන්නාගොඩ පරම්පරාවෙන් පැවත එන්නෙක් වන අතර ඔහුගේ පියා වූයේ දොන් සයිමන් කරන්නාගොඩ මහතාය. මව වුයේ නම්බුකාරවසම් නීලිස් කොරලෙන්චිගේ දෝන ජයවතී ගුණසේකර මහත්මියයි. 1952. 11. 22 වැනිදා උපන් වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පිහිනුම් , ජල කී‍්‍රඩා සහ ටෙනිස් හා ගෝල්ෆ් ක‍්‍රීඩකයකුද විය.

1978. 5. 18 වැනි දින ශ‍්‍රීමතී අසෝකා කරන්නාගොඩ මහත්මිය සමග විවාහ වූ අතර එම මහත්මිය නාවික හමුදා සේවා වනිතා සංවිධානයේ සභාපතිනිය වේ. නාවික හමුදාවේ විකුම් රැසක් පෑ කරන්නාගොඩ මහතා 1971 අගෝස්තු 01 දා නාවික හමුදා සේවයට එක්ව උතුරු නාවික ආඥාපතිවරයා ලෙසත් , උතුරුමැද නාවික ආඥාපතිවරයා ලෙසත් , නැඟෙනහිර නාවික ආඥාපතිවරයා ලෙසත් , සහ බටහිර නාවික ආඥාපතිවරයා ලෙසත් සේවය කළේය. ඒ මහතා මෙම තනතුරු වල හත් වතාවක් කටයුතු කර නාවික හමුදාවේ වාර්තාවක් තබා තිබේ.

නාවික හමුදා මුලස්ථානයේ ප‍්‍රථම අධ්‍යක්ෂක ජනරාල් (මෙහෙයුම්) තනතුරට පත් ඒ මහතා මෙහෙයුම්, ව්‍යාපෘති සහ සැලසුම් අධ්‍යක්ෂකවරයා ලෙසත් , නාවික පුද්ගල සහ පුහුණු අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර තිබේ. ප‍්‍රධාන ප‍්‍රහාරක නෞකා රැසක අණදෙන නිලධාරියා ලෙස අත් දැකීම් රැසක් ඇති ඒ මහතා නාවික විශේෂඥයකු වේ. ඔහුගේ මේ පළපුරුද්ද තුළින් කොටින්ගේ මහ ආයුධ නැව් වැනසීමට සැලසුම් කි‍්‍රයාත්මක කිරිමට හැකි විය. අවසන් වරට ශ‍්‍රී ලංකා නාවික “වික‍්‍රම’’ නැවේ අණදෙන නිලධරයා ලෙස සේවය කර තිබේ.

මොහුගේ දක්ෂතාවය නිසාම දෙවරක් ‘’රණශූර’’ පදක්කමෙන් පුදලත් අතර නොකැලැල් 38 වසරක නාවික හමුදා සේවය අගයන ජනාධිපති තුමා විසින් ඉහළම සම්මානයක් වන ‘’විශිෂ්ට සේවා විභූෂණ’’ සම්මානය ඒ මහතාට පිරිනැමීය.

ඊට අමතරව කරන්නාගොඩ මහතා ‘’උත්තම සේවා’’ පදක්කමත් ‘’දීර්ඝ සේවා’’ පදක්කමත් ‘’ ශ‍්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා’’ පදක්කමත් ලබා ඇති අතර ‘’50 වැනි නිදහස් සමරු’’ පදක්කමත් , ‘’උතුරු නැඟෙනහිර කි‍්‍රයාන්විත’’ පදක්කමත් , ජනාධිපති පදවි ප‍්‍රාප්ති පදක්කමත් ලබා තිබේ. ඊට අමතරව ඒ මහතා ‘’ පුර්ණ භූමි’’ පදක්කමත් , Qඅරිවිරැස’’ කි‍්‍රයාන්විත මෙහෙයුම් පදක්කමද ලබා තිබේ.

අපේ නාවික හමුදාපතිවරයා ‘’ව්‍යාපාර පරිපාලන විද්‍යාව ‘’ සහ ‘’ආරක්ෂක යුධෝපාය අධ්‍යාපනය’’ යන විෂයයන් වලින් පශ්චාත් උපාධි දෙකක් හිමි කරගෙන තිබේ. පාකිස්තානයේදී ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරා ඇති එ් මහතා එක්සත් රාජධානියේ දී මාණ්ඩලික පාඨමාලාව හදාරා තිබේ. මේ හැම පාඨමාලාවකින්ම ඒ මහතා විශිෂ්ට සමාර්ථ ලැබීම විශේෂත්වයකි.

එලෙස නාවික හමුදාවේ විශිෂ්ට සුදුසුකම් රැසක් සපුරා ඇති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවටද විශිෂ්ට සේවාවක් කර කොටි ත‍්‍රස්තවාදය මැඩලීමේ මහ මෙහෙයට දායක වීම තුළින් කළ සේවාව මෙරට සමස්ත ජනතාවද අගය කළ යුතුවේ. ඒ මහතා ට අවසන් සටනේදී උදව් උපකාර කළ සහෝදර නිලධාරීන්ටද නාවික රණවිරුවනටද ප‍්‍රණාමය පුදකළ යුතු අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවාව මේ රටේ ආරක්ෂාවට සැමදා අත්‍යවශ්‍යවේ.