නිල් අහසේ අබිමන රැකි මහ සෙන්පති

නිල් අහසේ අබිමන රැකි මහ සෙන්පති

 

ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක

ගුවන් පතිය ඔබ කළ මහ මෙහෙවරට

අරන් ගුරුළු වෙස නැග ගුවනට
ගොසින් රුපුන් වැනසූ හීසර
ගුවන් පතිය ඔබ කළ මහ
රුවන් වැසි වසී මගෙ හෙළ
යසට
ලෙසට
මෙහෙවරට
දිවයිනට

- රත්න ශ‍්‍රී විජේසිංහ

අමිලයි කළ මෙහෙය දිනූ බිම රැකගන්ට

අහසින් ගොඩින් මුහුදින් එන
දැන් නැහැ කිසි ඉඩක් මගෙ රට
නිසි මඟ කියා දී කොටි රැළ
අමිලයි කළ මෙහෙය දිනූ බිම
සතුරන්ට
ගිලගන්ට
වනසන්ට
රැකගන්ට

- අමර පී. වීරසිංහ

ශ‍්‍රී ලංකා භූමිය දෙකඩ කිරීමට උත්සාහ කළ ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ මානුෂික මෙහෙයුම ආරම්භ වී තෙවසරක් ඉක්ම යමින් තිබේ.

ප‍්‍රභාකරන් දශක තුනකට වැඩි කාලයක් වැපිරූ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෙවුණු වසර තුනක කාලය තුළදී රණවිරුවෝ සමත් වූහ. එවන් සුවිශාල භාරධූර කාර්යයකට උරදුන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරුවන්ට නායකත්වය දෙමින් පෙර ගමනට ශක්තිය දුන් එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෑත යුගයේ බිහි වූ මහා සෙන්පතීන් අතර ඉදිරියෙන් සිටියි.

ගුවන් හමුදා කඳවුර තම නිවාස කරගත්මේ අපූරු යුග පුරුෂයා කුඩාකළ තම ඥාති සමූහයා ලෙස ඇසුරු කෙළේ ද ගුවන් විරුවන් ය.

වෙල්ලාරච්චිගේ දොන් රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක නම් වූ ඔහු 1956 වසරේ පෙබරවාරි 28 දා මෙලොව එළිය දුටුවේය.

එවකට ඔහුගේ පියා ගුවන් හමුදා නියමු නිලධාරියෙකි. ගුවන් නියමු නිලධාරී ඩබ්ලිව්. ඩී.එච්.එස්.ඩබ්ලිව්. ගුණතිලක මහතාට දාව, උපන් මේ කුළුදුල් දරුවාගේ මෑණියන් මේරියන් ජොසෙනා ගුණතිලක මහත්මියයි.

මේ දෙදෙනාගේ වැඩිමල් දරුවා ලෙස ගම්පහදී උපන් ‘රොෂාන්’ කුඩා අවධියේ හැදී වැඩුණේ කටුනායක ගුවන් කඳවුරු භූමියේ ය.

ඊට හේතු වූයේ ඔහුගේ පියා එහි සේවය කිරීමයි. රොෂාන්ගෙන් පසු එම පවුලට දාව පුතෙකු හා දියණියන් දෙදෙනකුද බිහිවිය.

රොෂාන් මුලින්ම කටුනායක කඳවුරු පාසලේ ඉගෙනුම ලැබූ අතර පසුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත්ව ඉන්පසු ඔහුගේ දිවි ගෙවුණේ විදුහල් නේවාසිකාගාරයේය. පාසල් දිවිය පොත පතට පමණක් සීමා නොකළ රොෂාන් කී‍්‍රඩා කටයුතු වෙනුවෙන්ද කාලය කැපකරන්නට පෙළඹුණේය. රගර්, බාස්කට්බෝල්, මළල කී‍්‍රඩා හා පිහිනීම ඇතුළු කී‍්‍රඩා ඉසව් නියෝජනය කරමින් කී‍්‍රඩා කළ ඔහු පාසල් කාලය තුළදී ඒ වෙනුවෙන් ජයග‍්‍රාහී තිළිණ ද දිනා ගත්තේය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු නිවාඩු කාලය ගතකෙළේ ති‍්‍රකුණාමලයේය. ගම්මුන් හා ඉතා සුහදශීලී වූ රොෂාන් පරිසර ලෝලියකු විය. ඒ අතරරේ ගැමියන් සමඟ එක්ව කුඹුරු අක්කර දහයක ප‍්‍රමාණයක ඇස්වැද්දීමට රොෂාන් එක්වී කටයුතු කෙළේ දැඩි කැමැත්තෙනි. 1975 වන විට පාසල් දිවියට ආයුබෝවන් කී ඔහු බි‍්‍රතාන්‍ය සිවිල් ගුවන් සේවයට එක්විය. එහි වසර 1 1/2ක පමණ කාලයක් සේවය කළ ඔහු ඉන් ඉවත්විය.

1978 ජනවාරි 13 දා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව දියතලාව හා චීනවරාය පුහුණු පාසල්වලින් පුහුණුව අවසන් කරමින් 1979 අගෝස්තුවේදී අධිකාරී තනතුරට පත්විය. ඒ වන විට රොෂාන් ගේ පියා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති තනතුරට පත්ව සිටියේ ය. 1976 හමුදාපති තනතුරට පත් ඔහු 1981 දක්වා එම තනතුරේ කටයුතු කෙළේය.

ගුවන් හමුදාවට එක් වූ මේ පිය පුතු දෙදෙනාටම අධිකාරියට පත්වීමෙන් පසු පියසර ලාංඡනය පැළඳුවේ සර් ජෝන් කොතලාවල මහතා වීම විශේෂ සිදුවීමක් විය. පියා ගුවන් හමුදාවට එක්වී වසර ගණනාවකට පසු රණවිරුවකු ලෙස පියාගේ අඩිපාරේ ගමන් කළ ‘රොෂාන්’ ට ද පසු කාලයේදී පියාට ලාංඡන පැළදූ අය අතින්ම ලාංඡන ලබා ගැනීමට ලැබීම දෛවෝපගත සිදුවීම් පෙළක ආරම්භය බවට පත්වුණේය.

ගුවන් හමුදාවට එක්වූ රොෂාන් 1987 සිට කි‍්‍රයාන්විත රාජකාරියට එක්විය. ඒ අනුව ගුවන් මෙහෙයුම්වල යෙදෙමින් රටේ එවක පැවැති වාතාවරණය මත ශ‍්‍රී ලංකාව තුළ සාමය ස්ථාපිත කිරීමේ කටයුත්තට උරදුන්නේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවට ගිය ගුණතිලක මහතා එහිදී කණිෂ්ඨ මාණ්ඩලික සේවා පුහුණුව ලැබීය. මාස තුනක පුහුණුවකින් පසු 1984 දී නැවත සිංගප්පූරුවට ගොස් බෙල් 212 මගින් සති තුනක නියමු පුහුණුව ලබාගනිමින් ආපසු පැමිණියේය. 1986 දී නැවතත් හෙළිකාප්ටර් නියමු පුහුණුව සඳහා ඇමරිකාවට ගිය ඔහු සති දෙකක කාලයක් එහි පුහුණුව ලැබුවේය.

ඒ අතර1988 පෙබරවාරියේදී තාවකාලික බළගණ නායක නිලයට උසස් වූ ඔහු 1989 ගුවන් නියමුවකු ලෙස කටයුතුකළ අතර 1990දී අංක 03 හමුද්‍රීය බලගනයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීම් ලැබීය. 1991 දී අංක 04 හෙළිකොප්ටර් පක්ෂාංගයේ අණදෙන්නා බවට පත්විය. 1992 පෙබරවාරි 24 දා බලගන නායක නිලයට උසස්වීම් ලැබූ ගුණතිලක මහතා 1994 ජනවාරියේ තාවකාලික වින්ග් කමාන්ඩර් ලෙස පත්විය. එම වසරේදීම මාණ්ඩලික පුහුණුව සඳහා ඔහු ඇමරිකාව බලා පිටත්විය.

පුහුණුව අවසන් කැර පැමිණි රොෂාන් 1995 දී වින්ග් කමාන්ඩර් නිලයට උසස්වීම් ලැබූ අතර ගුවන් හමුදා උතුරු ආඥාපති ලෙස හා අනුරාධපුර කඳවුරු අණදෙන්නා ලෙස පත්වීම් ලැබීය. ඊළඟට ඔහු 1998 වසරේ දී ගුවන් නැගෙනහිර ආඥාපති හා චීන වරාය අණදෙන නිලධාරීවරයා විය.

ඒ අතර 2000 ජනවාරියේ දී ගෘප් කපිතාන් නිලයට උසස්වූ ගුණතිලක මහතා 2001 දී වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ බවට පත්විය. පසුව ඔහු උසස් ආරක්ෂක විද්‍යා පුහුණුව සඳහා වසරකට පකිස්ථානය බලා පිටත්විය. 2002 දී ශ‍්‍රී ලංකාවට පැමිණි ගුණතිලක මහතා කටුනායක ගුවන් කඳවුරේ අණ දෙන්නා බවට පත්වූ අතර 2003 දී මෙහෙයුම් අධ්‍යක්ෂ වරයා ලෙස කොළඹට පත්ව ආවේය.

ඒ අතර 2005 ජනවාරි 01 වැනිදා ගුවන් කොමදෝරු නිලයට උසස්වීම් ලැබූ ඔහු එම ඔක්තෝබරයේ උප මාණ්ඩලික ප‍්‍රධානී ලෙස පත්විය. ඒවනතෙක් එවැනි තනතුරක් ගුවන් හමුදාව තුළ නොතිබුණ අතර මේ නව තනතුරේ පළමු ප‍්‍රධානියා වූයේ රොෂාන්ය. පසුව ඔහු 2006 දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්විය. එම වසරේදීම එයාර් මාර්ෂල් නිලයට පත්වෙමින් එම ජූලි 12 දා ගුවන් හමුදාපතිවරයා බවට පත් වූයේය. ඔහු ඒ ආ මාවත හෙළි පෙහෙළි වූයේ කුඩාකළ පැවැති සිහිනයක් නිසා නම් නොව ඔහු කුඩා කළ පියාගේ නිල ඇඳුම දැක සිතා සිටියේ ගුවන් නියමුවකු වීමට ය.

පියා මෙන්ම හිතවතුන් අතර ද ඔහු වඩාත් කැමැත්තක් දැක්වූ පුද්ගලයන් සියලු දෙනා ගුවන් හමුදා සෙබළුන්ය. මේ පසුබිමේ දිවි ගෙවූ රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදා සේවයට එක්වන්නට පියාගෙන් අවසර පතන විට ඔහු ඊට එකවරම කැමැත්ත දුන්නේය.

එහෙත් ඔහුගේ මළනුවන් වූ ශිරන්ත නොයෙල් හැරල්ඩ් ගුණතිලක ගුවන් හමුදාවට එක්වීමට ලකලෑස්තිවන විට පියා ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළද ඔහුගේ බලවත් කැමැත්තට ඉඩදුන්නේය. 1958 උපත ලද “ශිරන්ත ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අතර 1995 අගෝස්තු 29 දා ඔහු ගමන් ගත් ගුවන් යානයට කොටින්ගේ මිසයිල ප‍්‍රහාර එල්ලවීමෙන් ජීවිතක්ෂයට පත්විය. ඊට පෙරදින ඔහුගේ ලඟම යහළුවා වූ ගුවන් නියමුලෙස කටයුතු කළ හිතවතා ගමන්ගත් යානයට කොටි පහරදී බිම හෙලීම නිසා එය පිළිබඳ පරීක්ෂා කිරීමට ශිරන්ත ඇතුළු 44 දෙනෙකුගේ කණ්ඩායම ඇව්රෝ යානයකින් පළාලි බලා පිටත් විය. එහෙත් අච්චුවේලිහිදී කොටි මිසයිල ප‍්‍රහාරයෙන් එය බිම පතිත වූයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්කරමිනි.

මේ රණවිරු පවුලේ තෙවැනි රණවිරුවා සිය ජීවිතය එසේ පිදුවේය. එහෙත් රොෂාන් ගුණතිලක මහතාගේ තෙවන පරම්පරාවෙන්ද නැවත රණවිරුවෙකු බිහිවීමේ මූලාරම්භය ඇරඹී තිබීම දැයේ පිනකි. ඒ වෙනුවෙන් ඉකුත් දිනකදී ගුණතිලක මහතාගේ එකම පුතු ගුවන් හමුදාවට බැඳීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන තරුණයන් අතර සිටිනු දැක ගන්නට ලැබිණි. රොෂාන් ගුණතිලක මහතා රණවිරුවකු ලෙස ආ ගමන් මාර්ගයට අත්වැලක් වූ ඔහුගේ බිරිය නෙළුන් ගුණතිලක රොෂාන්ට මුණ ගැසුනේ 1983 දීය. ඔහුගේ මිතුරා වූ රොජර් වීරසිංහගේ (ගුවන් නිලධාරියකු වූ ඔහු මේ වන විට ජීවතුන් අතර නැත)

විවාහය පැවැති කුරුණෑගල රොජර්ගේ නිවසේදී ඔහුගේ මනාලියගේ දෙවැනි මනාලිය ලෙස නෙළුන් සිටියාය. ඒ හමුව 1986 දී රොෂාන් නෙළුන් විවාහය දක්වා ආදරණීය ගමනකට මුලාරම්භය විය. රොෂාන් ගුණතිලක මහතාට සිය රාජකාරි කටයුතු වෙනුවෙන් නිදහස උපරිම අයුරින් ලබාදීමට නෙළුන් උපකාර විය.

2006 දී ගුවන් හමුදාපති වූ ගුණතිලක මහතාට ඒ සමඟම ඇරඹි නැගෙනහිර මානුෂික මෙහෙයුමට උරදීමට සිදුවිය. ශ‍්‍රී ලංකා ගුවන ආරක්ෂාකර ගනිමින් රටේ ඒකීය බව ආරක්ෂාකර ගැනීමේ මානුෂික මෙහෙයුමේ පෙරගමන් කරුවා වූ ගුවන් හමුදාවට නායකත්වය ලබාදුන් ගුණතිලක මහතා සිය මෙහෙවර අපූරුවට නිම කෙළේය.

ඒ අතර ඔහුගේ බිරිය ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස ගුවන් සෙබළ පවුල්වල ශුභ සාධනයට උරදෙමින් රණවිරුවාට ශක්තියක් වූවාය.

දැයේ ආරක්ෂාව, වෙනුවෙන් ත‍්‍රස්තවාදය මුළිනුපුටා දැමීමේ මෙහෙවරට උරදුන් රොෂාන් ගුණතිලක නම් වූ අභීත නායකයාණනි,, ඔබට දැයේ ප‍්‍රණාමය පුදකරමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා