ලක් දෙරණ එක් සේසත් කළ මහ රජාණෙනි...

ලක් දෙරණ එක් සේසත් කළ මහ රජාණෙනි...
 

චිරං ජයතු - ජීවතු මහ නරනිඳුනී!

 
පැතුම් සේම ලක් අම්මා පැතූලෙසිනි
වරම් දුන් දනට යුතුකම් සපුරමිනි
උපන් මව් දෙරණ රැකදුන් අනුහසිනි
චිරං ජයතු - ජීවතු මහ නරනිඳුනී!

- රත්න ශ‍්‍රී විජේසිංහ

 

මැතිඳුණි ඔබයි ලක් අම්මගෙ එකම පුතා

මහ වීරයන් ලෙස කොටි ගැන කියපු කතා
ලොකු බොරුවක්ය පර සතුරන් තිබුණු ගොතා
හෙළි කළ ඒ බොරුව පැහැදිලි ලෙසට ඉතා
මැතිඳුණි ඔබයි ලක් අම්මගෙ එකම පුතා

- අමර පී. වීරසිංහ

 

 

අපටත් රජෙක්
 

සිවුමහ බඹුන් දුන් විවරණෙන්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරෙන්
මේ දෙරණ එක්සේසත් කෙළේ

- සුනිල් ආර්. ගමගේ

සර හතළිස්පහක පාර්ලිමේන්තු අත්දැකීම් තුළින් මෙය ලියන අපි රාජපක්ෂලා කීප දෙනකුම දැක ඇත්තෙමු. කතා බහ කර ඇත්තෙමු. මුලින්ම අපට මුණ ගැසෙන්නේ ඩී.ඒ. රාජපක්ෂය. ඔහු අප දකින්නේ කතානායක පුටුවේ සිටියදී ය. ඒ නිසාම අපි ඔහු සමඟ කතා කරන්නට බියවීමු. එහෙත් පසුව අප දැනගත්තේ ඔහු අනුන් සමඟ කතා කරන්නට දැඩි කැමැත්තක් දක්වන බවයි. විශේෂයෙන් පත්තරකාරයන් සමඟය. ඒ ප‍්‍රසිද්ධියක් ගන්නට නම් නොවේ.

පාර්ලිමේන්තුව තුළ තවත් රාජපක්ෂලා සිටියහ. නිතරම සිනාමුසුව සිටින ජෝර්ජ් රාජපක්ෂ එක් අයෙකි. පෙරළිකාර ලක්ෂ්මන් රාජපක්ෂ තවත් සිත් ඇදගත් චරිතයකි. බැසිල් රාජපක්ෂ ද ගැඹුරු යමක් කරන්නට කැමැති දේශපාලන චරිතයකි. ගිරුවාපත්තුවෙන් දේශපාලනයට පිවිස රාජපක්ෂලා ජනතා සේවයට කැපවුණ සුවිශේෂ චරිත බව පමණක් කිව යුතුය.

1970 දී තවත් රාජපක්ෂ කෙනෙකු අපිට පරණ පාර්ලිමේන්තුවේදී මුණ ගැසෙයි.

“ගරු මහින්ද රාජපක්ෂ” යනුවෙන් කතානායක නම අඬගසද්දී දඟකාර වියේ ඉලන්දාරියකු පාර්ලිමේන්තුවේ නැගී සිටී. ඔහු නැගී සිටින්නේ එසේ මෙසේ කටයුත්තකට නොවේ. ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ රාජාසන කතාවට ස්තුති යෝජනාව ඉදිරිපත් කරන්නට  හෝ එම යෝජනාව ස්ථිර කරන්නටය. එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තරුණ මහින්ද මෙම කාර්යය සඳහා තෝරා ගත්තේ ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලාබාලම මන්තී‍්‍රවරයා නිසාද නැතහොත් අතීතයේදී රාජපක්ෂලා සම්බන්ධ වූ කාර්ය භාරයට අත ගසන්නට තවත් රාජපක්ෂ කෙනෙකු තෝරා ගතයුතු නිසාද යන්න අපි නොදනිමු.

මහින්ද රාජපක්ෂ මන්තී‍්‍රවරයකු වශයෙන් තැන්පත් චරිතයක් වුවද පාර්ලිමේන්තුව තුළ අසාධාරණයට නැගී සිටින්නට එම තැන්පත් කම බාධාවක් නොවීය.

මන්තී‍්‍රවරයකු සහ ඇමැතිවරයකු වශයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ මහින්ද රාජපක්ෂ චරිතය කිසිවකු විසින් ඉතා ඕනෑකමින් අධ්‍යයනය කෙළේ නම් මන්තී‍්‍ර රාජපක්ෂ සහ ඇමැති රාජපක්ෂ අතර කිසියම් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය නොවන වෙනසක් දකින්නේය. මෙම චරිත දෙකේදීම ඔහු ජනතාව වෙත තව තවත් ළංවූවා මිස ඈත් වූවා නොවේ. මාධ්‍ය මර්දනය මාධ්‍ය නිදහස මාධ්‍යවේදීන් මර්දනය ගැන මහින්ද රාජපක්ෂ මහතාට බොරු චෝදනා නගන වත්මන් විපක්ෂ නායකයාට කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව අප කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ කිසිදිනක මාධ්‍යවේදීන්ගෙන් ඈත් නොවුණ බැවිණි.

ඔබ මට විශ්වාසයි

මහින්ද රාජපක්ෂට අභියෝග තිබුණි. ඒ සියල්ල සිනහවෙන් ජයගත හැකි අභියෝග විය. ඇමතිකම් මාරු කොට කවුරුන් හෝ මහින්දට රිදවන්නට තීරණය කෙළේ නම් ඒ මහින්ද ගැන නොදන්නා කෙනෙකි. එය ඔවුන්ගේ දුර්වල කමකි. ඔහුට දුන්න කම්කරු ඇමැතිකමද එයට අදාළ විෂයයන් ද ඉතා ඉහළ මට්ටමින් ඉටුකළේය. ඒ ගැන නොඉවසූ පාලකයා හෝ පාලිකාව මහින්දට ධීවර ඇමැතිකම දුන්නේ වට්ටන්නටය. එහෙත් ධීවර ඇමැති වැටුණේ නැත. ධීවර ඇමැතිකම කම්කරු ඇමැතිකමටත් වඩා ඉහළින්ම ඉටු කළේය.

මහින්ද රාජපක්ෂ නම් වූ දේශපාලන චරිතයට කැපී පෙනෙන්නට ඇමැතිකමක් අනවශ්‍ය බව කැපී පෙනුනේ 1988 – 89 භීෂණ සමයේදීය. මිනිසුන්ගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වෙද්දී අද මානව හිමිකම් රකින්නට නෝර්වේ යන සොල්හයිම්ගේ මස්සිනාලා එදා බටලන්ද වධකාගාරයේ මරලතෝනිය අසාගෙන සුවසේ කල් ගත කළහ. මානව හිමිකම් ගැන කටක් ඇරියේ නැත.

මානව හිමිකම් රකින්නට මහින්ද වාසු සමග පාරට බසිනවිට අද නෝර්වේ යන අය එදා මුන්ට පිස්සු යයි කියමින් මහින්දලට වාසුලාට සිනාසුනහ. සටනක් කරන්නට භීෂණ තර්ජනය වඩාත් උචිත පසුබිම බව මහින්ද තීරණය කළේය. භීෂණයට මර්දනයට සහ මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව නැගී සිටින්නට හැකියාවක් ඇති කොන්ද පණ ඇති එකම මිනිහා වූයේ මහින්ද රාජපක්ෂය. රණසිංහ පෙ‍්‍ර්මදාස පාලන යුගය අති බිහිසුණුය. ඔහුට එරෙහිව නැගී සිිටින්නට දේශපාලනඥයෝ බිය වූහ. දේශපාලනකමත් අත්හලහ. පෙ‍්‍ර්මදාසට එරෙහිවීම යනු දංගෙඩියට ගෙල දීමය.

ජනාධිපතිතුමා කිලිනොච්චි සංචාරයේ දී

ත‍්‍රස්තවාදයක් එදා නොතිබුණා නොවේ. එක්සත් ජාතික පක්ෂය විසින්ම නිර්මාණය කළ ත‍්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්නට කලින් පෙ‍්‍ර්මදාස ආණ්ඩුවේ භීෂණයට එරෙහිව නැගී සිටිය යුතුයි. අද මහින්ද රාජපක්ෂට එරෙහි පිටරට ගොස් පති‍්‍රකා බෙදන රූපවාහිනී නාලිකාවලට බහුබූත සාකච්චා දෙන අම්මණ්ඩිලා එදා පෙ‍්‍ර්මදාස භීෂණයට එරෙහිව කටක් ඇරියේ නැත. අතක් එසවූයේ නැත.

එහෙත් මහින්ද රාජපක්ෂට මැදමුලනත් බෙලිඅත්ත හන්දියත් කොළඹ ලිප්ටන් වටරවුමත් කොටුව දුම්රිය පොළත් කොම්පඤ්ඤවීදියත් සියල්ලම එක වගේය. සටන දියත් කරන්නට නිසි තැන තෝරා ගැනීමේදී දේශපාලන තර්ජන පොලීසියේ මර්දන මහින්ද රාජපක්ෂ ගණන් ගත්තේ නැත. මහින්ද රාජපක්ෂලා ජනතාව වෙනුවෙන් මහ මඟට වීදියට බසින විට එයට එරෙහිව බැටන් පොල්ලක් ඔසවන්නට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරන්නට පොලීසිය කැමති නැත. එල්ල කළත් සටන් නතර කරන්නට හෝ පසුබසින්නට මහින්දලා කැමති නැත.

රාජ්‍ය භීෂණයට එරෙහිව නැගී සිටින්නට බිය වූ දේශපාලන බියගුල්ලන් සැඟවී සිටිද්දී මහින්ද රාජපක්ෂ එළියට බැස්සේය. ඔහු සමග ප‍්‍රගතිශීලී පිලේ අය එකතුවුයේ මහින්ද පෙරමුණේ නම් බියක් හෝ සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බවයි. කොළඹ සිට කතරගම දක්වා පාද යාත‍්‍රා ගියේ ඒ නිසාය. මහින්ද සිය පිරිස සමඟ පයින්ම පාද යාත‍්‍රා යද්දී තවත් නෝනලා මහත්වරු මෝටර් රථයෙන් ගොස් පාද යාත‍්‍රාවට එක්වූහ. එය අවසන් වූ විට කාර් එකෙන් කොළඹට ආවා මිස පාද යාත‍්‍රාවේ දිගටම නියැලුණේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ ජනතාව සමඟ පයින් ගියේය. එකට නිදා ගත්තේය. ඇත්නම් කෑවේය. නැතිනම් කුසගින්නේ සිටියේය.

පෙ‍්‍ර්මදාස ආණ්ඩුවේ භීෂණයට එරෙහිව මහින්ද නැගී සිටි එකම අවස්ථාව එපමණක් නොවේ ජන ඝෝෂාවක්ද කෙළේය. දකුණු පළාත් සභාවේ මහ ඇමැති තනතුරු ගන්නට පසුබිම හදා දුන්නේද මහින්ද රාජපක්ෂ නම් පෙරළිකාර චරිතයයි. ඔහු එය බන්දේසියක තබා දුන්විට ස්තුතියි නොකියාම ගත්තේය. මහින්ද රාජපක්ෂට ඇත්තේ පුදුම ඉවසීමකි. අභියෝගවලට මුහුණ දීමට ඔහුට ඇත්තේ පුදුමාකාර ආශාවකි. සටනක් නැති තැන මහින්දට නිදිමතය. ඒ නිසා සටන් අලුතින් නිර්මාණය කර ගත්තේ මහින්දට ඇහැරගෙන සිටින්නට නොව අන් අයගේ ඇස් අරවන්නටය.

මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයට ආ මහින්ද රාජපක්ෂ ඇමැතිවරයකු ලෙස අත්දැකීම් ලබා විපක්ෂ නායක තනතුරටද පැමිණියේය. ඒ සියලු තනතුර ගන්නට ඔහු සටන් කළා නොවේ. ඔහු ඒ සඳහා සුදුස්සකු නිසා ඔහුට එම තනතුර නොදී බැරිවිය. අගමැතිකමද එසේමය. 1970 සිට අගමැති පදවිය දක්වා මහින්ද රාජපක්ෂ ආ ගමන ඔහුට අත්දැකීම් සම්භාරයක් ගොනු කරගන්නට ඉඩකඩ සැලසිණි. ඔහුට තනතුරු ලැබුණේ තනතුරෙන් වැජඹෙන්නට නොවේ. කිසියම් සැලසුමකට අනුව තනතුරේ කාර්යභාරය ඉටුකරන්නටය. ඔහු එය අකුරට ඉටු කළේය.

මහින්ද රාජපක්‍ෂ තරම් විරුද්ධ බලවේග වෙනත් කිසිම දේශපාලනඥයකුට නොලැබුණේය. ඒ පිටින් නොවේ ඇතුලෙන්මය. ඔහු ජනාධිපති අපේක්ෂකයා වන්නට නොකළ සටනක් නැත. කවුරු සටනින් ජය ගත්තේද ඔහු ජනාධිපතිවරණ සටනට අවතීර්ණවූයේ හිස් අතින් නොවේ. ඒ සඳහා ඔහුට සංඝරත්නය, පූජ්‍ය පක්ෂය සහ දේශපාලන පක්ෂ රැසක් අත්සන් කොට අනුමත කළ සහතිකයක් තිබුණේය. ඒ මහින්ද චින්තනයයි.

මහින්ද චින්තනය හිස් කොළ මිටියක් නොවේ. ජනතාව වෙනුවෙන් ඔහුට අධික වැඩ කොටසක් ගොනුකර තිබෙුණේ එම ලියැවිල්ල ඇතුලේය. එය කි‍්‍රයාත්මක නොකරන ලියැවිල්ලක් විය හැකියයි ප‍්‍රතිවාදීහු සිතූහ. එහෙත් මහින්ද රාජපක්‍ෂ නම් දේශපාලනඥයා මන්තී‍්‍ර ලෙසත්, විපක්ෂ නායක ලෙසත්, අගමැති ලෙසත් කිසිම දිනෙක ජනතාව රවටා නැත. ජනතාව කෙරෙහි ඔහු තබා ඇත්තේ පළුදු නොවූ විශ්වාසයකි. ජනපති ලෙස එය වඩාත් කැපී පෙනේ.

තමන්ගේම පක්ෂයේ අය කකුලෙන් අදිද්දී, රාජ්‍ය මාධ්‍ය පවා කාගේ හෝ ඕනෑ එපාකම් අනුව කටයුතු කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතා සියලු ක්‍ෂේත‍්‍රවල ජනතාව ඒකරාශී කරගත්හ. ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වටා ගොනුවී සිටි පංච මහා බලවේගය අත්හලේ නැත. කලාකරුවෝද ඔහුට පක්‍ෂව කඳවුරු බැඳ ගත්හ. නිදහස් නිවහල් රටක් නිර්මාණය කරන්නට පණ ඇති මිනිසකු සොයමින් සිටි ජනතාව කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නට හැකි අත්දැකීම් බහුල නායකයකු මුණ ගැසුණේය. ඒ මහින්ද රාජපක්‍ෂයි.

2005 නොවැම්බර් උපන්දිනය දා මහින්ද රාජපක්‍ෂ මහතාට උපන්දින තෑග්ග ලෙස ලැබුණේ විධායක ජනපති පදවියයි. තනතුරේ දිවුරුම් දුන් රාජපක්‍ෂ මහතා එදා සිටම වැඩ ඇරඹුවේය. ඔහුගෙන් ජනතාව කන්නට රස මසවුළු ඉල්ලුවේ නැත. නිදන්නට කළාල, සුසිනිඳු මෙට්ට, කොට්ට ඉල්ලා සිටියේ නැත. වැඩි පඩි ඉල්ලා සටන් කළේ නැත. එකම ඉල්ලුම වූයේ මව්බිම ත‍්‍රස්තවාදයෙන් මුදාදෙන ලෙසය. අනාගත පරපුරට ත‍්‍රස්තවාදයෙන් තොර රටක් ඉල්ලා සිටියහ. මහින්ද රාජපක්‍ෂ ඒ සඳහා නිසි ප‍්‍රවේශයක් ලබාගත්තේය. ත‍්‍රස්තවාදියාට නොතේරුණත් තේරුම් ගත හැකි භාෂාවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදියාට කතා කළේය. සාකච්ඡා මේසයට කතා කළේය. එහෙත් ප‍්‍රභාකරන් සතපහකට ගණන් ගත්තේ නැත.

මේ රටේ පහළවූ මහා බලගතු රාජ්‍ය නායකයන් මෙල්ල කරගත් ප‍්‍රභාකරන්ට මහින්ද රාජපක්‍ෂ ද එක් රාජ්‍ය නායකයකු පමණක් විය. අහිංසක වැසියන් එකදිගට මරා දැම්මේ මහින්ද රාජපක්‍ෂට ත‍්‍රස්තවාදය සහ සාමය එපාකරවන්නට ය. ඔහු සෘජුවම ත‍්‍රස්තවාදියාට කතා කළේය. අහිංසක මිනිසුන් මරන්නේ නැතිව තමා සමඟ මුහුණට මුහුණ සටනට එන ලෙස ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ සියල්ල සැලසුම් කළේය. සාකච්ඡා මේසය ප‍්‍රතික්‍ෂේප කළ ප‍්‍රභාකරන් සමඟ කතාකළයුතු භාෂාව මහින්ද රාජපක්‍ෂ තේරුම් ගත්තේය. මහින්ද රාජපක්‍ෂ සියල්ල ඉවසාගෙන ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කළේය.

අසල්වැසි ඉන්දියාව මුලින්ම දැනුවත් කළ ඔහු අද ශී‍්‍ර ලංකාවේ ඇත්තේ ජනවාර්ගික අර්බුදයක් නිර්මාණය කරන ත‍්‍රස්තවාදය පමණක් බව ලෝකයට කියා සිටියේය.

සියලු පක්ෂ සහ සර්ව ආගමික නායකයන් දැනුවත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සර්වපාක්ෂික සමුළුව කැඳවූයේ දේශපාලන විසඳුමක් පිණිසය

ත‍්‍රස්තවාදියාට පිළිතුරු දිය යුතු ආකාරය මැනවින් තේරුම් කර ගත් මහින්ද රාජපක්‍ෂ ආරක්‍ෂක හමුදාව ශක්තිමත් කළේය. ඔහුට ශක්තියක් වන්නට දක්ෂ ආරක්ෂක ලේකම්වරයකු පත්කරගැනීම ඉතා ඥානවන්ත කි‍්‍රයාව විය. එමෙන්ම ත‍්‍රස්තවාදයට මුහුණ දියයුතු ආකාරය ඉතා පැහැදිලිව අවබෝධ කරගත් හමුදාපතිවරයකු සිටීම ත‍්‍රස්තවාදීන්ට හිසරදයක්ම විය.

මාවිල්ආරුවෙන් මෙහෙයුම දියත්කළේය. කොටියා නැගෙනහිරින් මෙල්ල කළේය. එතැනින් නොනැවතුණු ඔහු නැගෙනහිර නවෝදය බැසිල් රාජපක්‍ෂ මහතාට පැවැරුවේය. නැගෙනහිර මුදාගත් ජනාධිපතිතුමා ඊට පසු උතුර දෙසට හැරුණේය ඔහු ජෝර්දානයට ගියේ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් පුංචි බිම්කඩකට සීමාකර තිබූ අවස්ථාවේදීය. ඔහු මවුබිමට පැමිණියේ ත‍්‍රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස්කර ගැනීමේ පරිසරය සකස්කර තිබූ මොහොතකය. රණවිරුවෝ කොටියාගේ සියලු බලඇණි, බිම්කඩ අල්ලාගෙන හමාරය.

මේ රටේ කිසිම රාජ්‍ය නායකයකුට අතගසා හමාරකරන්නට නොහැකිවූ කාර්ය භාරයක් ඉටු කරන්නට මැදමුලනින් පහළ වූ සිංහයාට හැකි විය. ප‍්‍රභාකරන් කීවේ කිලිනොච්චිය අල්ලා ගැනීම මහින්ද රාජපක්ෂගේ සිහිනයක් බවයි. කිලිනොච්චිය අල්ලා ගත් විට ප‍්‍රභාකරන් කීවේ උපක‍්‍රමයක් ලෙස පසු බසින බවය. එහෙත් ඔහුට මහ මුහුදත් ඉතිරි වූයේ නැත.

මහින්ද රාජපක්ෂ නම් වූ ජනාධිපතිවරයා අභීත ගතිගුණ ලෙස වැඩිම කැපී පෙනුනේ කිසිවකුට අසාධාරණයක් ලෙස හිස නොනැමීමය. අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි ගසන විදේශ හා බටහිර බලවේග හමුවේ මහින්ද රාජපක්ෂ ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියේය.

ඔහුගේ රාජතාන්ති‍්‍රක භාවය ඉෂ්ට වූයේ විදේශ රටවල් සමග ගනුදෙනු කිරීමේදීය. ඔහුගේ පෞරුෂය වඩාත් ඉස්මතු වන්නට වූයේ විදෙස් රටවල රාජ්‍ය නායකයන් මුණ ගැසී ප‍්‍රශ්න සාකච්ඡා කරද්දීය. මහින්ද රාජපක්ෂ මහතාට ගමන් මඟක් තිබුණි. එය ඉතා පැහැදිලි ගමනක් නොවීය. බාධාවල අඩුවක් නොවීය. බාධාවලට අභියෝගවලට වඩාත් ආසා කරන ජනාධිපතිතුමා සියල්ලම තමන්ට ආශිර්වාදයක් කර ගත්තේය.

ත‍්‍රස්ත මර්දනයේදී ඔහුට මුහුණ දෙන්නට වූ විදේශ බලපෑම් එක් අතකින් ඉවසා සිටිය හැකිය. එහෙත් දේශීය කුමන්ත‍්‍රණකරුවන්ගේ කුහක දේශපාලන චරිත වඩාත් ඉස්මතු වනු දක්නට ලැබුණේ ප‍්‍රභාකරන්ට එරෙහි සටනේදීය. මේ රටේ විපක්ෂනායකයා දෙකේ කොළයට පත්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඉස්මතු වූයේ ඔහුගේ සෘජු ප‍්‍රතිපත්තිය සහ විනිවිද භාවය නිසාමය.

යුද්ධය යන කර්කශ වචනය යොදන්නටත් මහින්ද රාජපක්ෂ අකමැති විය. මානුෂීය මෙහෙයුම වඩාත් උචිත වූයේ ජනාධිපතිගේ එකම අරමුණ දෙමළ ජනතාව මුදාගැනීම නිසාය. නැගෙනහිර එය සිදු විය. උතුරේත් එය සිදුවිය. නැගෙනහිර නවෝදය තුළින් නැගෙනහිර ජනතාව අද සුවපත් වී සිටිති. උතුරු වසන්තය දැන් කි‍්‍රයාත්මකයි. උතුරද අද හෙටම සුවපත්වනු ඇත.

මානුෂීය මෙහෙයුමත් රටේ සංවර්ධනයත් සමගාමීව ඉටුකළ එකම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නම ඉතිහාසයට එක්වනු ඇත. එය මකාදමන්නට මොනම බලවේගයකටත්වත් නොහැකි වන්නේ ජනතාව ඔහු සමග එකට සිටින බැවිනි. මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව පැවැත් වූ සියලු මැතිවරණවලින් ලැබූ ජයග‍්‍රහණ තුළින් අප දුටුවේ රටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින බවයි. හෙටත් එය එසේමය.

මහින්ද රාජපක්ෂ නම් මානව හිතවාදී රාජ්‍ය නායකයාගේ රාජ්‍ය තාන්ති‍්‍රක භාවය වඩාත් කැපී පෙනුණේ උතුරේත් නැගෙනහිරත් ආරක්ෂා හමුදා ලත් ජයග‍්‍රහණ විපක්ෂයේ ඇතැම් මෝඩයන් අවතක්සේරුවට ලක් කළ බැවිණි. වත්මන් ජනාධිපතිතුමාගේ අති විශේෂ ලක්ෂණයක් හා ගුණාංගයක් වන්නේ ඔහු කිසි දිනෙක රණවිරුවන් අමතක නොකිරීමය. හැකි සෑම විටකම ඔවුන් වෙත යන්නට ජනාධිපතිතුමා අමතක කළේ නැත.

මෙහිදී තවත් සටහනක් තැබිය යුතුමය. එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ භාරදූර කාර්යය සාර්ථකව කර ගෙන යන්නට මහා ශක්තියක් වූ පුද්ගලයන් රැසක් සිටිති. යුද බිම ගැන මනා අවබෝධයක් ඇති ත‍්‍රස්ත කි‍්‍රයා ගැන හොඳ දැනුමක් ඇති ආරක්ෂක ලේකම්වරයකු සිටීම ජාතියේ වාසනාවකි. ඒ ගෝඨාභය රාජපක්ෂයි. ප‍්‍රභාකරන්ගේ ඉලක්කය වුවද දැයේ වාසනාවට ජීවිත රැකගත් හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙහෙයුම් සියල්ල සැලසුමකට ගෙන ගියේ සිය යුද දක්ෂතා පෙන්නුම් කරමිනි.

ගුවනින් සහ මුහුදින් මෙහෙයුමට දුන් දායකත්වය හැමවිටම ඇගයුමකට ලක් කරන්නේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහ නාවික හමුදාපති රෙයර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ කැපවීම තුළිනි.

එපමණක් නොවේ රටපුරා විසිරී සිටි මරාගෙන මැරෙන කොටි සහ රටපුරා බෙදාදී ඇති බෝම්බ සියල්ල සොයා අපරාධ රැසක් වැළැක්වීමට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාගේ පොලිස් දෙපාර්තමේන්තුවද ලබාදුන්නේ ඉමහත් දායකත්වයකි. සිවිල් ආරක්ෂක බලකායද සිහිපත් කළ යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා