අලුතින් ලියැවෙන ඉතිහාසය

අලුතින් ලියැවෙන ඉතිහාසය

මේ දවස උදා වනතෙක් අපි බලා සිටින්නෙමු. මේ අභිමානනීය දවස උදාවන තෙක් අප පමණක් නොව ශ‍්‍රී ලාංකේය ඉතිහාසයම තිස් වසරක් පුරා බලා සිටියේ ය.

කළු අන්ධකාරය මැද තාරකා පෙළක් දිස්වන්නට පටන් ගත්තේ මින් තෙවසරකට පෙර එක් අභියෝගාත්මක දිනයක දී ය. ඒ තාරකා පෙරහර හෙට වීදි බසිනු නිසැක ය. එය ත‍්‍රස්තවාදයේ කළු අන්ධකාරය නියත වශයෙන් ම අවසාන කරනු ඇත.

පියා අහිමිව බිලිඳුන් හැඬූ යුගය අවසාන වනු ඇත. බිරින්දන් කනවැන්දුම් වූ යුගය අවසාන වනු ඇත. පෙම්වතියන් හුදෙකලා වූ යුගය අවසාන වනු ඇත.

විස්සෝපය පලවා හැර සන්තුෂ්ඨියට දොරගුළු විවර වන මොහොතට තුරු මුදුන්හි මල් පිපෙනු ඇත. සියොතුන් සැහැල්ලුවෙන් ගී ගයනු ඇත. ඒ ගී හඬත් බිලිඳුන්ගේ කිරි සිනා හඬත් ශ‍්‍රී ලාංකේය වාතලයේදී එකට මුසුවනු ඇත.

හිරුගේ නව අරුණැල්ල සමඟින් නව ප‍්‍රාර්ථනාවන්හි රශ්මි කදම්බයන් අපේ ජීවිත මතට පතිතවනු නිසැකය.

තිස් වසරක් පුරා හෙලූ කඳුළු... හෙලූ සුසුම්... ඇසුණු අඳෙ¤නා සහ විලාපයන්... නිමා වී සැහැල්ලුවට එන්නට පාර කියාදෙනු ඇත.

ලේ පිපාසිත පිරිබාහරන් ගේ කාලය අවසාන විය. අපේ මවු බිම ලේවලින් තෙත් කළ ශාපය ආත්මයෙන් ආත්මයට ඔහු පසුපසින් ලුහුබඳිනු ඇත.

ප‍්‍රීතියේ දූපත අ‍ඳෝනාවේ දූපත බවට පත් කළ ඔහු සහ ඔහුගේ ම්ලේච්ඡ සගයන්ට නියමිත ඉරණම ඔවුන්ගේ හිසමතට කඩා පාත්වී ඇත.

රණවිරුවනි... ඔබ අන්ධකාරය මැද පෑයූ තාරකා පෙළය...

හමුදාපතිවරුනි ඔබ තාරකා පෙළ මැද දිලුණු පහන් තාරකාවන් ය.

ආරක්ෂක ලේකම්තුමනි, ඔබ තාරකා පෙළ ඉස්මත්තෙන් පායා ආ සඳු ය.

සේනාධිනායක ජනාධිපතිතුමනි ඔබ අහස් කුස ඒකාලෝක කළ හිරු ය.

ඉතිහාසයේ පිටු තිබෙන්නේ ඔබගේ නම් ලිවීමට ය.

යුද මුක්ත කලාපයේ සිට පලා ආ මිනිසුන්ගේ කර මතින් පැමිණි කුඩා දරුවන්ගේ සතුටු කඳුළුවලින් ඒ නම් පෙළ ඉතිහාසයේ ලියැවෙනු ඇත. ඔවුන්ගේ සිනා මල්වලින් විහිදෙන සිනා සුවඳ ඔබ ගේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.

ඔවුන්ගේ හදවත් සෑම එකක් ම සෙල් ලිපියක් වනු ඇත.

ඒ සෙල් ලිපියේ අභීත සේනාධිනායකයාගේ සිට අභීත රණවිරුවා දක්වා වූ නම් පෙළක් සදා නොමැකෙන සේ සටහන්ව පවතිනු ඇත. අපේ කාලයේ ඉතිහාසය යනු ඒ නම් පෙළයි. ඒ නම්වලට ඉදිරියෙන් ඇති සිද්ධි පෙළයි.

අන්ධකාරය නිමා විය. ආලෝකය පැතිර ගියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා