ත‍්‍රස්තවාදය නැසුමට උපාය උපක‍්‍රම යෙදූ යුව රජාණෙනි...

ත‍්‍රස්තවාදය නැසුමට උපාය උපක‍්‍රම යෙදූ යුව රජාණෙනි...
 

ගැමුණු නරනිඳුට දස මහ සෙනෙවි ලෙස...

 
ගැමුණු නරනිඳුට දස මහ සෙනෙවි
දෙවුණු සවිය මඩිමින් රුදු දසනු
ගෙවුණු සමේ දී ඉටුකළ මහරු
කියනු බැරිය – කියතොත් ඒ ඔබම
ලෙස
දෙස
කිස
මිස

- රත්න ශ‍්‍රී විජේසිංහ

රණවිරුවනට මඟ පෙන්වා...
 

රණවිරුවනට මඟ පෙන්වා
සේවාවක් සලසමින් මේ රටට
සලසන ගෝඨාභය මැතිඳුට
නැමේ කොටින්ගේ ගමනට තබන
අපරිමිත
සෙත
ම’සිත
තිත

- හෙළබස් මිණි අනඳපිය කුඩාතිහි
 

 

 

 

අමිලයි කළ මෙහෙය දිනූ බිම රැකගන්ට
 

අහසින් ගොඩින් මුහුදින් එන
දැන් නැහැ කිසි ඉඩක් මගෙ රට නිසි මඟ කියා දී කොටි රැළ
අමිලයි කළ මෙහෙය දිනූ බිම
සතුරන්ට
ගිලගන්ට
වනසන්ට
රැකගන්ට

- අමර පී. වීරසිංහ

 

ශක තුනක් තිස්සේ රටක් ජනතාවත් වෙළාගනිමින් දැවැන්ත විනාශයක් සිදුකළ එල්.ටී.ටී.ඊ.යේ අවසානය සටහන් කරමින් යළි ඒකීය රටක් ලෙස මවුබිම එක්සේසත් කළ සටනේ නියමුවකු ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන්ම සිටී. සේනාධිනායක ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ලැබුණු නිවැරැදි නායකත්වය යටතේ ත‍්‍රිවිධ හමුදාපති වරුන් හා පොලිස්පතිවරයාට ද ආරක්ෂක ලේකම් ලෙස ඔහු ලබාදුන් නායකත්වය හා සහයෝගය ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම සඳහා මහඟු දායකත්වයක් සැළසීය. එම නිවැරදි හා නිසි මඟපෙන්වීම ඔස්සේ ආරක්ෂක හමුදා මෙම විජයග‍්‍රහණය කරා මෙහෙයවීමට ති‍්‍රවිධ හමුදාපතිවරුන්ටත්, පොලිස්පතිවරයාටත් හැකිවිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දශක දෙකක විශිෂ්ට සේවයකින් පසු ලුතිනන් කර්නල් වරයකු ලෙස විශ‍්‍රාම ලබා වසර කිහිපයක් විදෙස්ගතව සිට යළි මවුබිමට පැමිණියේ සිය සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ අගමැති වරයාගේ ජනාධිපතිවරණ සටනට සහාය දැක්වීම සඳහාය.

ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමා සමඟ

ඒ 2005 අගභාගයයි. ජනාධිපති මැතිවරණයෙන් රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඔහු ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එය කොපමණ නිවැරැදි හා දූරදර්ශී තීරණයක්ද යන වග කි‍්‍රයාවෙන් සනාථ කිරීමට ආරක්ෂක ලේකම්වරයා සමත්ව ඇත. මෙම පත්වීම සිදුවූ ආකාරය පිළිබඳ එක්තරා රහසක් පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙළිදරවු කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්වන අතර අම්පාර ආසනයේ මැතිවරණ ප‍්‍රතිඵළය නිකුත් වනවාත් සමඟ (මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය ස්ථිර වූයේ එම ප‍්‍රතිඵළයත් සමඟය) ප‍්‍රතිඵලයට සවන් දෙමින් සිටි ස්ථානයෙන් තමන් සමඟ පිටතට ආ සිය සොහොයුරා ‘ගෝඨා’ ආරක්ෂක ලේකම්විය යුතු බව පැවසීය යන එකී රහසයි.

රටේ නායකයා ලෙස තම පත්වීම තීරවීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ගත් පළමු තීරණයම ඉතාමත් නිවැරැදි වූවක් විය. ඉන් පසු යුද හමුදාපති වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා පත්විය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත. එම තෝරාගැනීම් දෙක මවුබිමේ අනාගතය වෙනස් කිරීම කෙරෙහි නිශ්චිත හා තීරණාත්මක ලෙස දායක වූ බව පැහැදිළි කාරණයකි. එය විදේශීය මාධ්‍ය පවා එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමේ මාරාන්තික අවිය ලෙස එම සුසංයෝගය හැඳින්වීමෙන් සනාථ වේ.

රණවිරු සුව දුක් විමසමින්...

මේ ආදී වශයෙන් ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ යුද්ධය සඳහා අවශ්‍යම පුද්ගලයන් අවශ්‍ය පුටුවලට පත්කිරීම සිදුවිය. හමුදාපති ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා ද, ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලකද පත් කෙරිණි. ඒ වනවිටත් නාවික හමුදාපතිවරයා වූ වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩම එම ධූරය සඳහා පත්කෙරිණි.

යුද්ධය දිනීම සඳහා අවශ්‍ය පරිදි සෙසු නිලයන්ද තෝරා ගැණිනි. යුද සෙබළුන්ගේ චිත්ත ධෛර්යය විශාල ලෙස ඉහළ නැංවීම කෙරෙහි එම කි‍්‍රයාමාර්ග ප‍්‍රබලව දායක විය. මේ ඇඳෙන්නේ නිසැක වශයෙන්ම ත‍්‍රස්තවාදයෙන් රට මුදාගැනීමේ සැළැස්ම බව රටටම අවබෝධ වන්නට විය.

2006 ජූලි 21 දා එල්.ටී.ටී.ඊ.ය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දමා පිළිකුල් සහගත ලෙස එම ප‍්‍රදේශවල ජනයාගේ ජල අයිතිය අහිමි කිරීමත් සමඟ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එය මුදාගැනීම පිණිස මානුෂීය මෙහෙයුම ඇරැඹිණි. ඊළාම් යුද ඉතිහාසයේ හතරවන ඊළාම් යුද්ධය එම අගෝස්තුවේ දියත් විය.

වසර 20 ක් යුද හමුදා නිලධාරියකු ලෙසත් ඉන් වසර හතක් පමණ කොබ්බෑකඩුව, විමලරත්න වැනි හමුදා සෙනෙවියන් හා එක්ව ත‍්‍රස්තවාදයෙන්

රට මුදාගැනීමේ කි‍්‍රයාන්විතයන්හි විශිෂ්ට මෙහෙවරක් යෙදෙමින් ලැබූ අත්දැකීම්ද සහිතව සිව්වන ඊළාම් යුද්ධය හෙවත් අවසන් සටනට සෘජුව හා එඩිතරව මුහුණ දීමට ආරක්ෂක ලේකම්වරයාට හැකිවිය. සිව්වන ඊළාම් යුද්ධය තමන්ට තීරණාත්මක වන ප‍්‍රමාණය පිළිබඳ තක්සේරුවකින් යුතුව එය ඇරැඹී මාස කිහිපයක් තුළ, 2007 අපෙ‍්‍ර්ල් 26 දා යුද හමුදාපතිවරයා ඝාතනය කිරීම පිණිස මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සිදු කළේය. ජාතියේ වාසනාවකට හමුදාපතිවරයාගේ ජීවිතය රැකිණි.

ඉන් මාස කිහිපයකට පසු, දෙසැම්බර් 01 දා ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් කොළඹ පිත්තල හන්දියේදී සිදුවිය. යළිත් ජාතියේ වාසනාවකට ඔහුට කිසිදු අනතුරක් කිරීමට එල්.ටී.ටී.ඊ. නොහැකි විය.

ආරක්ෂක ලේකම්තුමා ගුවන් හමුදාපතිතුමා සමඟ

මේ සිදුවීම් ඔස්සේ ද සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදුවූ එල්.ටී.ටී.ඊ. යේ අතිශය ම්ලේච්ඡ ප‍්‍රහාරයන් තුළින්ද ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව එක හඩින් මතුවිනි. රටේ ජනතාව එවැනි මතයක් දරණවිට, ආරක්ෂක ලේකම් වරයාගේ ජීවිතය විනාශ කිරීමට නොහැකි වූ තැන ඔහුගේ චරිතය විනාශ කිරීම සඳහා එමඟින් ඔහුගේ මානසිකත්වය බිඳ දැමීම සඳහා එල්.ටී.ටී.ඊ හිතෛශී බලවේග හා කිළිටි මාධ්‍ය භාවිතාවකට හිමිකම් කියන ඇතැම් මාධ්‍ය පෙරට ආවේය.

දෛවයේ සරදමකට ;මන් එල්.ටී.ටී.ඊ.ය අවසානය කරා ළඟා වන මොහොත ආසන්නයේ. යළි ආරක්ෂක ලේකම් වරයාට එරෙහිව කිසිදු පුවතක් පළ නොකරන බවට අධිකරණයේදී එකඟවීමට මේ උදවියට සිදුවිය.

මානුෂීය මෙහෙයුම දියත්වී වසරක් ගතවන තැන 2007 ජූලියේදී එල්.ටී.ටී.ඊ.යේ නැඟෙනහිර අවසන් බල කොටුව වූ තොප්පිගල අත්කර ගැනීමට වීරෝදාර ආරක්ෂක හමුදා සමත්විය.

සේනාධිනායකත්වයෙන් ආරක්ෂක ලේකම් ප‍්‍රධාන ආරක්ෂක ප‍්‍රධානීනුත් බිඳලිය නොහැකියැයි එල්.ටී.ටී.ඊ.ය වහසිබස් දෙඩූ තොප්පිගල මුදාගැනීමට ආරක්ෂක හමුදා මෙහෙයවීමත් සමඟ නැඟෙනහිර කොටි බලය අතුගා දැමිණි. නොයෙක් දෙනා කවර මත පළ කළ ද ත‍්‍රස්තවාදය අතුගා දමා රටට තිරසාර සාමය උදාකර මිස මේ ගමන ආපසු නොහැරෙන බව ආරක්ෂක ලේකම් වරයා එම ජයග‍්‍රාහී මොහොතේ කියා සිටියේය.

එකී අධිෂ්ඨානය ඔස්සේ ආරක්ෂක හමුදා උතුරට යොමුකරමින්, උතුරේ අහිංසක දෙමළ ජනයා එල්.ටී.ටී.ය. ග‍්‍රහණයෙන් මුදාගැනීමේ වන්නි මානුෂීය මෙහෙයුම ඇරැඹිණි. මෙරට යුද ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේ දී ද සුවිශේෂී මං සළකුණු සටහන් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. එල්.ටී.ටී.ඊ,,යට දැවැන්ත පරාජයක් අත්කරදෙමින් පුනරින් ප‍්‍රදේශය දශක දෙකකට පමණ පසු මුදාගැණිනි.

2009 වසර එල්.ටී.ටී.ඊ.යේ අවසානනය සළකුණු වන වසර බව සහතික කරමින් ජනවාරි 2 දා වනවිට එල්.ටී.ටී.ඊ. යේ හදවත වූ කිළිනොච්චිය ද අත්කර ගැණින.

ජනවාරි මාසය තුළ දීම ඒ – 9 මාර්ගයේ බලයද එල්.ටී.ටී.ඊ.යට අහිමි කිරීමට ආරක්ෂක හමුදාවෝ සමත්වූහ. ඊළාම් සිතියම ශීඝ‍්‍රයෙන් මකා දමමින් ත‍්‍රස්තවාදයේ අවසානය කරා වීරෝදාර හමුදා මෙහෙයවීමට ආරක්ෂක ලේකම්වරයා හමුදා ප‍්‍රධානීන් හා එක්ව පියවර ගත්තේය.

එකී ගමනේ සාර්ථකත්වයට බලපෑ ප‍්‍රධාන කාරණයක් වන්නේ කොළඹ වීදුරු කාමරයක සිට තීරණ නොගත් යුද බිමේ යතාර්ථය පසක් කළ පුද්ගලයකු ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ඉහළම පුටුවේ සිටීමයි.

මෙම ගමනේ දී නොයෙක් අපවාද දේශීය හා ජාත්‍යන්තරව ද නැගෙන විට ඔහු ඒවාට පිළිතුරු දුන්නේ අප යන ගමන මේ රටේ ජනයාගෙන් 99%ක් අනුමත කරන බව පවසමිනි. රට එක්සේසත් කිරීම සඳහා යන ගමනේ දී ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකරන කාර්යභාරය හෑල්ලුවට ලක් නොකරන්නැයි ඔහු මෙවැනි උදවියගෙන් නිතර ඉල්ලා සිටියේය.

එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්ට ඔහුගෙන් ලැබුණු නිසි නායකත්වය හා මඟපෙන්වීම ගැන රිදුණු බලවේග ඔහු ද යුද අපරාධ පිළිබඳ අධිකරණයට රැගෙන යා යුතු යැයි හඬ නඟද්දී එකී ඝෝෂාවල් තඹයකට මායිම් නොකරමින් රට වෙනුවෙන් සපුරාලිය යුතු යුතුකම පිළිබඳ ඔහු වෙහෙස විය. මේ ගමනේ දී ආරක්ෂක ලේකම් ලෙස ඔහු කල්පනා කෙළේ යුද ජයග‍්‍රහණ ගැන පමණක් නොවේ.

ඒවා දිනාදීම වෙනුවෙන් දිවිපිදූ අත් පා දන් දුන් සියලු ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳ ඔහු සංවේදී විය. ඔවුන්ගේ දරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් කැපවෙමින් මේ වන විටත් රට පුරා යමින් ඔවුන් මුණ ගැසෙමින් එම රණවිරුවන් කළ කැපවීම කිසිදා අමතක නොකරන බව සනාථ කරමින් ඇත.

‘අපි වෙනුවෙන් අපි’ වැඩපිළිවෙළ නිවහනක් නොමැති රණවිරුවාට හිසට වහළක් තනා දෙන අරමුදලක් දක්වා පුළුල් වන්නේ ද එකී ව්‍යාපෘතිය තුළය. ත‍්‍රස්තවාදයෙන් නිදහස් වූ අලුත් ශ‍්‍රී ලංකාවේ රණවිරුවාට හිමිතැන නිශ්චය කරන්නට ආරක්ෂක ලේකම්වරයාගේ එකී භූමිකාව සමත්වනු නිසැකය.

දෙලක්ෂ පණස්දහසකට ආසන්න අහිංසක සිවිල් වැසියන් ප‍්‍රමාණයක් එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රාණ ඇපයෙන් මුදාගනිමින් මානුෂීය මෙහෙයුමේ විජයග‍්‍රාහී අවසානයද, මේ පැසිස්ට්වාදී කොටි නායක වේලුපිල්ලේ පිරබාහරන් ඇතුළු ත‍්‍රස්තවාදී නඩයේ අවසානය ද සටහන් කරන්නට ආරක්ෂක ලේකම්වරයා ලබාදුන් නිසි නායකත්වය මේ රටේ

ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් සළකුණු වනු ඇත. සේනාධිනායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු වෙත පැවරූ වගකීම ඒ ආකාරයෙන්මත් ලක්මවගේ සුජාත පුත‍්‍රයකු ලෙස මවුබිමට ඉටුකළ යුතු යුතුකමත් බිඳකුදු නොපිරිහෙලා ඉටුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම විජයග‍්‍රාහී මොහොතේදී ජාතියේ ගෞරවය පිරිනැමෙනවා ඇත.


ගෝඨාභය රාජපක්ෂ

ආරක්ෂක ලේකම්


* මාතර, පාලටුවේදී උපත ලැබීය.

* අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.

* උසස් අධ්‍යාපනයෙන් අනතුරුව, 1971. 04. 26 දා කැඩෙට් නිලධාරියකු ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

* 1972. 05. 25 දා දෙවන ලුතිනන් තනතුරට පත් වූ අතර, ලංකා සංඥා බලකාය යටතේ සිංහ රෙජිමේන්තුවට ද රජරට රයිෆල් බලකායට ද සේවය කිරීමෙන් පසු ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත විය.

* පළමුවන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා වශයෙන් 1983 – 1990 අතර කාලයේ යාපනය ප‍්‍රදේශයේ කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදිනි.

* වඩමාරච්චි මුදාගැනීමේ මෙහෙයුම සහ පළමු හා දෙවන ඊළාම් යුද සමය තුළ සිදු වූ ප‍්‍රධාන මෙහෙයුම් කිහිපයට ම මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න යන මහත්වරුන් සමඟ එක්වෙමින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය.

* වසර 20ක සේවා කාලය සම්පූර්ණ කරන විට ලුතිනන් කර්නල්වරයකු ලෙස උසස්වීම් ලැබ සිටියේ ය.

* විශිෂ්ට හමුදා සේවය වෙනුවෙන් රණවික‍්‍රම හා රණශූර පදක්කම් වලින් පිදුම් ලැබූ අතර ජේ. ආර්. ජයවර්ධන, ආර්. පෙ‍්‍ර්මදාස, ඩී. බී. විජේතුංග යන විධායක ජනාධිපතිවරු තිදෙනා යටතේ ම යුද හමුදා නිලධාරියකු ලෙස උසස්වීම් ලැබීම විශේෂත්වයකි.

* 1992 දී යුද හමුදාවෙන් විශ‍්‍රාම ලැබීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කෙළේය.

* කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා රැකියාවක යෙදෙන අතර විදෙස් ගත විය.
අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි ලොයොලා නීති විද්‍යාලයේ පරිගණක අංශයේ විධායක මට්ටමේ රැකියාවක නියැලිණ.

* 2005 ජනාධිපතිවරණ සමය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමත් සමඟ ආරක්ෂක ලේකම් ධූරයට පත් වී එල්. ටී. ටී. ඊ. ය මුළුමනින් පරාජය කර රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදා මෙහෙයවීය.

* 2006 දෙසැම්බර් 01 දා පෙ. ව. 10.30 ට පමණ කොළඹ – කොල්ලුපිටියේ දී එල්. ටී. ටී. ඊ. ය සිදුකළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් දිවිගලවා ගත්තේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා