දිවි දෙවැනි කර සිතූ දූ පුතුනට ශීර්ෂ ප‍්‍රණාමය පුද කරමු

දිවි දෙවැනි කර සිතූ දූ පුතුනට ශීර්ෂ ප‍්‍රණාමය පුද කරමු

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ කිසිදු බිම් අගලක් ශ‍්‍රී ලංකා රජය හැර වෙන කිසිම සංවිධානයකට අයත් නොවේ. ඒකීය රටක් එක කොඩියක් යටතේ රට එක්සේසත් කළ රටක ජීවත්වීමේ භාග්‍ය අපි සතුව ඇත. අප මේ භාග්‍ය ලැබීම සඳහා පින් කළෝ වෙමු. එය අපට ලබා දීම සඳහා ති‍්‍රවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය කළ මෙහෙවර පිළිබඳ අප නිරත්නරයෙන් ඔවුනට තුති පිදිය යුතුය. ඔවුන් සැමදා අපගේ විරුවන් බව මතක් කළ යුතුය.

පුදුමාතලන්, පුදුකුඩුඉරිප්පු, විශ්වමඩු, ධර්මපුරම්, වෙල්ලමුල්ලවයික්කාල් මේ ගම්මාන බොහොමයක නම් ශ‍්‍රී ලක්වැසියන් බොහෝ දෙනෙකු හඳුනා ගත්තේ මෑතකය. ඒ ඉකුත් මාස කිහිපයේදීය. කොටි ත‍්‍රස්තයන්ගේ අණසක යටතේ තිබූ මේ ප‍්‍රදේශ මහත් වූ කැපකිරීමකින් පසු අප රණවිරුවෝ අත්පත් කර ගත්හ.

උතුරු පළාත ගැන කතා බහ කිරීමේදී නිතර භාවිත වූයේ මුලතිව්, කිලිනොච්චි, යාපනය යන නගර කිහිපයේ නම් පමණකි.

කිලිනොච්චි කොටින්ගේ ප‍්‍රධාන නගරය බවත් එහි දෙමළ වැසියන් බොහෝ දෙනකු වාසය කරන බවත් කොටි මාධ්‍ය ජාලය සහ කොටි හිතවාදීන් නිරන්තරයෙන් ලොවට ප‍්‍රසිද්ධ කර තිබුණ කරුණකි. එහෙත් කිලිනොච්චිය මුලතිව් ගැන පමණක් නිරතුරුව කතා බහ උවද කොටි විසින් විශ්වමඩු, පුදුකුඩුඉරිප්පු සහ පුදුමාතලන් යන ප‍්‍රදේශ වල වෙනම පාලනයක් ගෙන යමින් එම ප‍්‍රදේශ ලක් වැසියන්ට මෙන්ම ලෝකයාට සඟවා තැබීමට කටයුතු කළේය.

මේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා වූ ති‍්‍රවිධ හමුදාවේ මෙහෙයුම් අති දුෂ්කරය. එය ලෝකයේ මෙතෙක් සිදු කරන ලද දැවැන්තම මානුෂීය මෙහෙයුම බවට පත් වී තිබුණි. අහිංසක දමිළ වැසියන් කොටින්ගේ ග‍්‍රහණයේ තබා ගැනීමට කොටි උපායශීලීව කි‍්‍රයා කළහ. දමිළ වැසියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් කොටි යුද පළිහක් බවට පත් කර ගත්හ. භූමිය අත්පත් කර ගනිමින් සිවිල් ජනතාවට අනතුරක් නොකර බර අවි භාවිත නොකරමින් මේ ජයග‍්‍රහණය ලබන්නට ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන් කි‍්‍රයා කළ ආකාරය පිළිබඳ අද මුළු මහත් ලෝකයම පුදුම වී සිටිති.

ලෝකයේ අති දක්ෂතම උපායශීලීම විනය ගරුක හමුදාව ශ‍්‍රී ලංකාවේ සිටින බව ඕනෑම රටක පුද්ගලයෙකුට පිළිගැනීමට සිදුවී ඇති කරුණකි. ති‍්‍රවිධ හමුදාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ වැසියන් වශයෙන් අපට මෙහිදී නිහතමානීව සතුටු විය හැකිය.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දමා ගොවි පවුල්වලට ජලය දීම වළක්වා ලීමත් සමග 2006 ආරම්භ කළ මානුෂීය මෙහෙයුම වසර දෙක හමාරකදී කළ මෙහෙය අති විශාල ය. කොටි ග‍්‍රහණයේ සිටි අහිංසක වැසියන් සියලු දෙනාට සැබෑ ලෝකය සැබෑ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය බුක්ති විඳීමට හැකි වී තිබේ.

මාවිල් ආරුව අත්පත් කර ගැනීමෙන් පසු කංචිකුඩිච්චිආරු, වාකරේ, ;ව්රුගල්, පනිච්චන්කර්නි, නරකමුල්ල, තොප්පිගල ඇතුළු නැගෙනහිර පළාතේ කොටි ග‍්‍රහණයේ තිබූ සෑම ප‍්‍රදේශයක්ම හමුදාව විසින් මුදා ගත්හ. මෙහිදී ති‍්‍රවිධ හමුදාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ලබා දුන්නේ විශාල සහයෝගයකි.

ඉන් පසුව මන්නාරම ශිලාවතුර මුදා ගනිමින් උතුරේ මෙහෙයුම ති‍්‍රවිධ හමුදාව විසින් කි‍්‍රයාත්මක කළහ. යෝධ වැව, සහල්බදුන, වෙඩිතලතිව්, මල්ලාවි, තුනුක්කායි, මාන්කුලම්, උලියන්කුලම්, පුනරින්, පරන්තන්, මුලතිව්, කිලිනොච්චි ඇතුළු ප‍්‍රදේශ සියල්ලද හමුදාව විසින් සියතට ගත්හ.

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ කිසිදු බිං අගලක් ශ‍්‍රී ලංකා රජය හැර වෙන කිසිම සංවිධානයකට අයත් නොවෙති. ඒකීය රටක් ඒකීය කොඩියක් එක්සේසත් කළ රටක ජීවත්වීමේ භාග්‍ය අපි සතුව ඇත. අපි මේ භාග්‍ය ලැබීම සඳහා පින් කළේ වෙමු. එය අපට ලබා දීම සඳහා ති‍්‍රවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය කළ මෙහෙවර පිළිබඳ අප නිරත්නරයෙන් ඔවුනට තුති පිදිය යුතුය. ඔවුන් සැමදා අපගේ විරුවන් බව මතක් කළ යුතුය.

ලක්ෂයකට අධික පිරිසක් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ත‍්‍රස්තවාදීන් ඉකුත් තිස් වසරේදී ඝාතනය කර දමා ඇත. ඒ ඉතා අමානුෂික අන්දමින්ය. මෙහිදී ආගමික නායකයන්, දේශපාලනඥයන්, බුද්ධිමතුන්, රාජ්‍ය නායකයන්, කුඩා දරු දැරියන්, ගැබිණි මාතාවරුන් ඇතුළු නොයෙක් පුද්ගලයන් කොටි ත‍්‍රස්තවාදීන් මෙලෙස ඝාතනය කළහ.

එහෙත් අප ති‍්‍රවිධ හමුදාවෝ මහත් වූ කැප කිරීම් සිදු කරමින් අමානුෂිකත්වය කි‍්‍රයාත්මක වූ සෑම අවස්ථාවකම මානුෂිකත්වය කි‍්‍රයාවට නංවමින් ලක්ෂ තුනකට ආසන්න අහිංසක දෙමළ වැසියන් පිරිසගේ ජීවිත බේරා ගත්හ.

මාවිල්ආරුවේ සිට වෙල්ලමුල්ලවයික්කාල් දක්වා හමුදා ජයග‍්‍රහණ ලැබූ සෑම අවස්ථාවකම මෙරට වැසියන් ඉතා සතුටින් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් කමින් විනෝද වෙමින් උත්සවශ‍්‍රීයෙන් රණවිරුවන්ට සිය ආශිර්වාදය පැතූහ. රණවිරුවන් අගය කරන්නට විය. මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ සියලුම නගර වල සියලුම ගම්මානවල සෑම මන්සන්ධියකම ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ පොලිසියේ නිලධාරීන්ගේ විශාල ඡායාරූප සහිත පෝස්ටර්, කටවුට් එල්ලා තිබෙනු දැක ගත හැකිය. එලෙසම බොහෝ නගරවල රණවිරු සිහිවටන ඉදිකර තිබේ. මේ කි‍්‍රයා සියල්ලම ජනතාව විසින් හදවතින් සිදු කරන ලද කි‍්‍රයාවන් බව පසක් කළ යුතුය.

රට එක්සේසත් කිරීම සඳහා රණවිරුවන් රණබිමේ සටන් කිරීමට යන්නේ ඔවුන්ගේ මව්වරුන්ගෙන් බිරින්දෑවරුන්ගෙන් දූ දරුවන්ගෙන් ඈත්වය. මාස ගණනක් සිය ඥාතීන් නොදැක සිටීමට රණවිරුවන්ට සිදු වෙයි. රණවිරුවන්ගේ දූ දරුවන් බිරින්දෑවරු සහ දෙමව්පියන්ද ඒ වෙනුවෙන් කළ කැප කිරීම අප සිහි කළ යුතු ම ය. උතුරුකරේ තමන්ගේ පුතු නොනිදා සටන් කරන මොහොතේ මව්වරුද පුතුට ආශිර්වාද කරමින් නොනිදා සිටිති. බිරින්දෑවරුද එසේ කළා ය. මේ සියල්ල අප සැමදා අප ගේ හදවත් වල තබා ගත යුතු ය. රණවිරුවන්ට ඔවුන්ගේ පවුල්වලට අප සැමදා ණය ගැතිය. රණවිරුවන් නොසිටින්න අපට නිදහස් ශ‍්‍රී ලංකාවක් නොලැබෙන්නේය. මානුෂීය මෙහෙයුම් ආරම්භ කළ මොහොතේ සිට අවසන්වූ මොහොත දක්වා අවස්ථා රැසකදී ලියුම්කරු යුද බිමට ගියෙමි. එහිදී රණවිරුවන් මුහුණ දුන් බොහෝ අත්දැකීම් දැක ගත හැකි විය.

රණවිරුවන් විටක වර්ෂාවට හසුවෙමින් සටන් කළහ. තවත් විටක අක්කර ගණන් විහිදී තිබූ මඩ වගුරු තරණය කළහ. තවත් විටක කලපු හරහා පිහිනා යාමට සිදු විය. දින තුන හතර නිදි වර්ජිතව හැතැක්ම පහ හය ඇවිද ගොස් සතුරාට ප‍්‍රහාර එල්ල කළහ. තම නිල ඇඳුම සපත්තු දෙක දින දහය දොළහ එක දිගට ඇඳගෙන සිටීමට සිදු විය.

තවත් විටෙක සතුරාගේ අඩවියේ සැතපුම් පහ හය කුඩා කණ්ඩායම් වශයෙන් ගොස් මරණය පෙනි පෙනී සතුරාට ප‍්‍රහාර එල්ල කළහ. සතුරු ඉලක්කය ලබා ගැනීම සඳහා දින තුනහතර එකම තැනට වී සිටියේය. නාවික, ගුවන්, යුද හමුදා යන මේ අංශ තුනේ ම වීර සෙබළුන් මේ අත්දැකීම් වින්දේය. ඔවුන් සියලු දෙනා කළ කැප කිරීම් ගැන ලියන්නට වචන නැති තරම්ය. ඔවුන් ගැන ලියා නිම කරන්නේ කෙසේද ? ඒ තරම් වූ මහා ශක්තියක් මහා කැප කිරීමක් අප රණවිරුවන් ජාතියට සිදු කර ඇත. සමහර අවස්ථාවලදී තුවාල ලැබූ රණවිරුවෙකු තවත් රණවිරුවෙකු විසින් සැතපුම් දෙක තුන කරේ තබාගෙන පැමිණෙනු ලියුම්කරු අවස්ථා රැසකදී යුද භූමියේදී දැක තිබේ. එය ඉතා සංවේදී අවස්ථාවකි.

රට රැකීමට, මාතෘ භූමිය ආරක්ෂා කිරීමට තම ජීවිතය පූජා කළ රණවිරුවන් අප මේ මොහොතේ හදවතින් මතක් කළ යුතු ම ය. එලෙස ම යුද්ධය හේතුවෙන් සිය අත් පා අහිමි වූ නොයෙක් ආබාධ වලට ලක් වූ අප රණවිරුවන් ගැන අප මියැදෙන තුරු සොයා බැලිය යුතුය. ඔවුන්ට කර හැකි උපහාරය සෑම මොහොතකම සිදු කළ යුතුය.

ශ‍්‍රී ලංකා වැසියන්ට ඕනෑම දෙයක් ටික කාලයකින් අමතක වන බව ලෝකයාට මතයක් බවට පත් වී තිබේ. අප සැවොම එක්වී ඒ මතය වෙනස් කළ යුතුය. ඒ සඳහා අපට මේ මොහොත වන විට අවස්ථාවක් උදා වී තිබේ.

අප කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් මේ රට ඒකීය කොඩියක් යටතට පත් කළ නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහි කළ මෙරට රණවිරුවන් නිරන්තරයෙන් මතක් කරමින් සෑම මොහොතකම ඔවුන් අප ළඟ සිටින බව අප කි‍්‍රයාවෙන් ලෝකයාට පසක් කරමු.

මේ ජයග‍්‍රහණ පිටු පස සිටි දැවැන්ත පුද්ගලයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු ජනාධිපති ලෙසට නොව රජකු ලෙස අප පිළිගත යුතුය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ති‍්‍රවිධ හමුදාපතිවරු පොලිස්පතිද අප මේ මොහොතේ මතක් කළ යුතුය. ඔවුන්ගේ එක්වීමෙන් මේ රට එක්සේසත් කිරීමට හැකි විය.

රජය විසින් රණවිරුවන් උදෙසා සිදු කරන සෑම වැඩසටහනකට ම සහයෝගය ලබාදෙමින් ඊට දායකත්වය ලබාදීම අප සියලුම වැසියන්ගේ යුතුකමකි. රණවිරුවන්ට උපහාර පිදීම අපගේ දින චර්යාවක් කරගත හැක්කේ නම් ලොවට එය හොඳ ආදර්ශයක් වනු ඇත.


සබැඳි පුවත්