කුමන්ත‍්‍රණකාරි බලවේගවලට නිසි විසැඳුම් දුන් අපේ හමුදාව

කුමන්ත‍්‍රණකාරි බලවේගවලට නිසි විසැඳුම් දුන් අපේ හමුදාව

තුරේ මානුෂීය මෙහෙයුමේ යෙදී සිටි ති‍්‍රවිධ හමුදාව, සද්භාවයෙන් කරගෙන ගිය එම සද්කාර්යය කුමන ආකාරයකින් හෝ අතරමඟ කඩා බිඳ හෙළා කොටි සංවිධානය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කළ දේශීය හා විදේශීය ඊනියා බලවේග රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව බොහෝ ය.

යම් රටක හමුදාවකට එල්ල වන චෝදනාවන් වෙයිද, ඒ හා සසඳන කළ වැඩිම චෝදනා ප‍්‍රමාණයක් එල්ල කරනු ලැබුවේ මෙරට ති‍්‍රවිධ හමුදාවටය. එම අසත්‍ය චෝදනා හරහා ජාත්‍යන්තර වශයෙන් මෙරට ති‍්‍රවිධ හමුදාවට එල්ල වූ අපකීර්තිය මෙතෙකැයි කිව නොහැකි ය. මේ පුංචි රටේ ආරක්‍ෂක අංශවලට අභූත චෝදනා එල්ල කරමින්, ඔවුන්ගේ ආත්ම ගෞරවය විනාශ කළ බලවේග අද කුමක් කියනු ඇතිද යන්න සිතා ගත නොහැකිය.

නැඟෙනහිර ත‍්‍රස්තවාදී බලය අවසන් කර ආරක්‍ෂක හමුදා උතුර ජයග‍්‍රහණය කිරීමට හැරෙන විටම හමුදාවන්ට එරෙහි බලවේග ඔවුන්ගේ මඩ ව්‍යාපාර ආරම්භ කෙළේය. මේ මඩ ව්‍යාපාර පිටුපස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඒකරාශී වූ රාජ්‍ය නොවන සංවිධාන 17 ක් කි‍්‍රයා කළහ. ප‍්‍රථමයෙන්ම සුළු වශයෙන් ආරම්භ වූ එම මඩ ව්‍යාපාරය පසුව ප‍්‍රභාකරන්ගේ පරාජය වෙත ළං වන විට තව තවත් වැඩි වශයෙන් ප‍්‍රචාරය කෙළේ ශී‍්‍ර ලංකා රජය ද අපකීර්තියට ලක්කරමිනි.

මේ සඳහා එම ඊනියා බලවේග රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කළහ. මෙරට මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් මුදලට ගනිමින් උතුරේ මානුෂීය මෙහෙයුම හා සමාන මඩ ව්‍යාපාරයක් ප‍්‍රභාකරන් වෙනුවෙන් ගෙන යාමට මේ බලවේග කි‍්‍රයා කළ ආකාරය ඇත්ත වශයෙන්ම ප‍්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයට හා කෘරත්වයට සමාන වූවක් බව කිව හැකිය.

ගිනි අවිය අත දරාගෙන යුද්ධයකට ගිය අපේ ති‍්‍රවිධ හමුදාවට සිදුවූයේ ත‍්‍රස්තවාදීන් සමඟ යුද්ධ කරනවාට වඩා අහිංසක දෙමළ වැසියන් බේරාගැනීමටය. ප‍්‍රභාකරන් අහිංසක මිනිසුන් ලක්‍ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත්තේ සමූල ඝාතනයක් කිරීමේ අරමුණ ඇතිවය.

එහෙත් ආරක්‍ෂක හමුදාවලට අවශ්‍ය වූයේ, ඔවුන්ගේ අරමුණ වූයේ කිසිදු සිවිල් වැසියකුට කිසිම ආකාරයකින් හෝ හානියක් සිදු නොවී බේරාගැනීමටය.

ප‍්‍රභාකරන් මේ තරම් විශාල පිරිසක් ඝාතනය කිරීමට ඉඩ ඇතැයි යන සැකය ආරක්‍ෂක හමුදාවන් වෙත දමා කෙසේ හෝ වන්නි මෙහෙයුම නවත්වාගෙන සටන් විරාමයක් ලබාගැනීමට ඉහත කී ඊනියා බලවේගවලට අවශ්‍ය වී තිබුණි. මේ නිසා ඔවුහු පක‍්‍රමයක් වශයෙන් කොටි සංවිධානය මගින්ම සාමාන්‍ය වැසියන්ට ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කළහ. කොටි අඩවිවල තිබූ රෝහල්, පාසල් ඇතුළු පොදු ස්ථානවලට ගුවන් හමුදාව, යුද හමුදාව බර අවිවලින් ප‍්‍රහාර එල්ල කරන්නේ යැයි තවත් පැත්තකින් ප‍්‍රචාර ගෙන ගියහ.

එනම් මෙරට හමුදාව දෙමළ වැසියන්ගේ මානුෂීය අයිතිවාසිකම් විනාශ කර දමන්නේ ය යන ප‍්‍රචාරය මෙරට සහ ජාත්‍යන්තර වශයෙන් පුළුල් ලෙස ගෙන ගියහ. එම ප‍්‍රචාරක කටයුතු ගෙන යාම සඳහා කැප වී සිටි දේශීය හා විදේශීය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ද වෙබ් අඩෙවි ඇතුළු ප‍්‍රචාරක ආයතන ගණනාවකි. මේවා ප‍්‍රචාරය කළ පුද්ගලයන් ද, වියදම් කළ පුද්ගලයන් ද, ඊට සහාය වූ පිරිස් ද හමුදා සද්භාවයෙන් කරගෙන ගිය සද්කාර්යය නිවැරැදිව තේරුම් ගෙන සිටියහ. එහෙත් ඒ සත්‍ය විකෘති කර මුදලට මුවා වී එල්. ටී. ටී. ඊ. ය බේරාගැනීමේ අරමුණ මත මොවුන් එම ම්ලේච්ඡ පහත් වැඩපිළිවෙළ කරගෙන ගියහ.

උතුරු මානුෂීය මෙහෙයුම් වසර තුනකට ආසන්න කාලයක් පැවැතිණි. ඒ හා සමාන කාලයක් ති‍්‍රවිධ හමුදාව සහ මෙරට රජය අපකීර්තියට පත් කරන මෙහෙයුම ද සිදුකෙරුණි. ප‍්‍රභාකරන්ගේ සිහින ඊළාම් රාජ්‍යය සැබෑ කර ගැනීමට අවස්ථාව සලසා දී මේ රටේ සිංහල ජාතිය විනාශ කිරීමට ඉඩ සලසා දීමට මේ ඊනියා බලවේග කි‍්‍රයා කළහ.

මොන තරම් බලවේග ඉදිරිපත් වී ති‍්‍රවිධ හමුදාවලට මඩ ගැසීමේ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කළද, මෙරට ති‍්‍රවිධ හමුදාවේ ආත්ම ශක්තිය, චිත්ත ධෛර්ය එක අංශුවකින්වත් අඩු කිරීමට හෝ ඔවුන්ට හැකි වූයේ නැත. කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වන ප‍්‍රහාර, මර උගුල්, බාධක එල්ල වන අපකීර්තිමත් ප‍්‍රහාර මධ්‍යයේ හමුදාව නොසැලී, නොනැවතී තම ඉලක්කය කරා ගියේ දැඩි ඉවසීමකින් යුතුවය.

බඩගින්න, පිපාසය වෙහෙස ඒ සියලු අපහසු අමාරුකම් තිබුණද හමුදා විරුවන්ගේ මුහුණින් සෑම අවස්ථාවකම අපට දක්නට ලැබුණේ ජයග‍්‍රාහි සිනාවේ ලකුණුය. ජයග‍්‍රහණය ලැබීමටත් පෙර ඔවුන්ට ජයග‍්‍රහණය හිමි වී ඇති බවට තේරුම් ගියා සේ ගිනි ජාලා මධ්‍යයේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් සොයා අවසන් කිලෝමීටරය දක්වාම ගමන් කළහ.

ඒ ගමනේ ඉලක්කය, ජයග‍්‍රහණය ලබාගත්තේ ඔවුන්ට මඩ ගැසූ ඊනියා බලවේගවලට නිසි පිළිතුරු ලබා දෙමිනි. මේ රටේ මේ පුංචි හමුදාව ලෝකයේ ප‍්‍රබලම හමුදාව බවට, යුද හමුදාපතිවරයා ලෝකයේ හොඳම, දක්‍ෂතම හමුදාපතිවරයා බවට එක්වෙමිනි.

දැන් මේ ඊනියා බලවේග කියන්නේ කුමක්ද? ඔවුන් ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කළ ම්ලේච්ඡ කොටි නායකයා සමඟ සමස්ත කොටි ත‍්‍රස්තවාදයම මෙරටින් විනාශ වී හමාරය. හමුදාව අතින් ප‍්‍රහාරයට ලක්වූ බවට අමූලික ව්‍යාජ ප‍්‍රචාර ගෙන ගිය බලවේගවලට අද දක්නට ලැබෙන්නේ කුමක්ද? ඒ අහිංසක වැසියන්, ඔවුන් බේරාගත් හමුදාව, ඔවුන්ගේ එක ම ගැළවුම්කරු ඔවුන්ට ජීවිතය ලබා දුන් දෙවියන් සේ හැඳින්වීම නොවෙයිද?

අපේ වීර හමුදාවලට මඩ ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට අද සිදුවී තිබෙන්නේ ඔවුන් කළ අපරාධයට හමුදාවෙන් සමාව ඉල්ලා සිටීමටය.


සබැඳි පුවත්