ඔබ අප අතරට යළි නොඑන බව දනිමු

අතුරුදන් වූ සෙබළ සොයුරනි!

ඔබ අප අතරට යළි නොඑන බව දනිමු

“ඔබ දැන් අප අතර නොමැත. ඔබ එන තුරු ඔබේ දයාබර බිරිය මග බලා සිටියාය. පුංචි දූ දරුවන් පියා එනවා යැයි තවත් කාටදෝ රැවටී අම්මේ තාත්තා එනවා යැයි මව සොයා නිවසට දිව ගියේ දැඩි සතුටිනි. නිම් හිම් නැති ප‍්‍රීතියෙන් ඇය දුව ආවාය. එහෙත් ඒ වෙනත් පුද්ගලයකුය. වයෝවෘද්ධ මව කුස්සියට වී බත් පිඟාන අනමින් එකම කටක් හෝ ගිල ගත නොහැකිව කඳුළු වැඟුරුවේ තම පුතු සිහි වීමෙනි. ඇය දවස ආරම්භ කළේ “අනේ මගේ පුතා අදවත් ඒවිදැයි සිතමිනි. රටේ තොටේ බොහෝ දේ ගැන කාරණා දන්නා පියා සුසුම් හෙළා ළය සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළේය. මේ සියල්ල වසර තිහක් පුරා සිදුවූයේ කා වෙනුවෙන්ද අප අතරින් වෙන්වී එහෙත් නැවත අප අතරට ඒවි යැයි මඟ බලා සිටි හමුදා විරුව ඔබ වෙනුවෙනි.

එනම් යුද බිමේදී අතුරුදන් වූු සහෝදර ඔබ ගැන මේතාක් කල් තොරතුරක් නොතිබුණි. ඔබේ ඥාති හිත මිත‍්‍රාදින් පවා සිත සනසා ගත්තේ ඔබ කොටි ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවෙ සිටින බව සිතා ගෙනය. එහෙත් සම්පූර්ණ උතුරු ප‍්‍රදේශයේම දැන් හමුදාව අතේය. ත‍්‍රස්තවාදින්ගේ යැයි යමක් ඉතිරිවී තිබේ නම් ඒ ඔවුන් සැදු ම්ලේච්ඡ ලෝකේ නටඹුන් පමණි.

ඔබ එහි සිරකරගෙන වධකාගාර වල දුක්වින්දවා ඇති බවට පමණක් සළකුණු ඇත. එහෙත් ඔබ එහි නැත. ඔවුන් නිරන්තර යෙන් දැඩි වධ හිංසාවලට ලක්කළ අපේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සොයුරන් හය දෙනෙක් පමණක් දෛවයේ වාසනාවකට යළි අප අතරට පැමිණියහ.

ඔවුන් වසර හතරකට ආසන්න කාලයක් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදින්ගේ වධකාගාරවල දුක් විඳිමින් සිටියහ. මාස පහක පමණ කාලයක් ඔවුන්ට ආහාරයක් ලෙස ලැබී තිබුණේ කැඳ කෝප්පයක් පමණි. කොටින්ගේ භූගත බංකර් මාලිගා ඉදිකිරීම පමණක් නොවේ ඔවුන්ගේ සියලු ම වැඩකරගෙන තිබුණේ ඒ වීර හමුදා සොයුරන්ගෙන්ය. කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටියදී ත‍්‍රස්තවාදීන් සමඟ මුහුණට මුහුණ ප‍්‍රහාර එල්ල වන අවස්ථාවල ඔවුන් අතට පත්වී සිටි මේ පිරිසට ජීවිතය බේරාගෙන සාමාන්‍ය වැසියන් අතරට යාමට වාසනාව හිමිවිය.

ඒ ඔවුන්ගේ ආරක්ෂාව ට යොදා සිටි කොටි පොලිස්කාරයන්ද ත‍්‍රස්තවාදය අතහැර යුද හමුදාව වෙත බාරවීමට පැනගත් අවස්ථාවේ මේ රණවිරුවන්ටද අපේ හමුදාව සොයා ඒමට අවස්ථාව සැලසී තිබුණි. ඔවුන් කෙසේවත් හමුදාවේ සිටි රණවිරුවන් යැයි ඔවුන් බාර වූ හමුදා නිලධාරීන්ට විශ්වාස කළ හැකි සළකුණු තිබුණේ නැත.

සිංහල වචනද අමතක වී ගොසිනි. වසර ගණනාවක් කොටි වධකාගාරවල දම්වැල් බැඳ දමා ඔවුන්ගෙන් වාල්වැඩම පමණක් ඉවතට ගෙන යළි සිරකර ලැබූ ජීවිතයක ඔවුන් අවසානයේ බලාපොරොත්තුව සිටියේ මරණය මිස මේ ආකාරයෙන් ඒ ම්ලේච්ඡ මහ කොටියා මරා දමා රට බේරා ගන්නා සහෝදර හමුදා භට පිරිසක් පැමිණේවි කියා නොවේ. එහෙත් ඔවුන් සිරවී සිටි කාලයේ රටෙහි සිදුවන්නේ කුමක්ද කියා දැන සිටියේ නැත. ඔවුන්ගේ දයාබර බිරිඳ, දරුවන්, මාපියන් පිළිබඳ තොරතුරු නැත.

අඩු ම වශයෙන් දිනයක් ගෙවා දිනයක් ගතවුවත් ඒ කුමන මාසයද දිනයද මතක නැත. ලෙඩක් දුකක් තිබුණද ඒ රෝගය හැදුන ආකාරයෙන්ම දවසින් දෙකෙන් මාසයෙන් හෝ සුව වී ගියා මිස බෙහෙත් උගුරක් නම් ලැබුණේ නැත. ඒනිසා ම ඔවුන් ජීවිතය ගත කළේ දැඩි කළ කිරීමකින් යුතු වය. මියැදෙන්නට ක‍්‍රමයක් නැතුව තිබුණා මිස එක දිනයක් හෝ ඒ ම්ලේච්ඡ ත‍්‍රස්තයන්ගේ වධකාගාරවල ලැග ජීවත්වීමේ ආසාවක් නම් තිබුණේ නැත. ඔවුන්ට ඉතිරිව තිබූ එක ම දේ හිස් අහස දෙස බලා සුසුම් හෙළීම පමණි.

ඒ පසුගියදා ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ සිට පලා ආ අපේ වීරෝධාර හමුදා සොයුරන්ගේ කතාවෙන් බිඳකි.

වසර තිහක් පුරා උතුරු නැඟෙනහිර ප‍්‍රදේශ පුරා හමුදා මෙහෙයුම් සිය ගණනක් සිදු කෙරිණි. ඒ අතර ඇතැම් අවස්ථාවේ කොටි ත‍්‍රස්තවාදින් කඳවුරු වටකර ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේද කොටින්ගේ කඳවුරු යුද හමුදාව අතින් විනාශවූ අවස්ථා බොහෝය. සප්ත මහා සාගරය පුරා මෙහෙයුම්වල යෙදුන නාවික හමුදා සෙබලුන් නිලධාරින්ද බොහෝය. මේ සියලු මෙහෙයුම්වලදී වරින් වර කොටි ත‍්‍රස්තයන් අපේ හමුදා භට පිරිස් අතරින් කිහිප දෙනා බැගින් විශාල පිරිසක් කොටි අත්අඩංගුවට පත්වූහ. අපට විශේෂයෙන් මතක සිද්ධියක් ඇත.

ඒ අනුව දශකයේ යුද හමුදාවේ මුලතිව් කඳවුර ත‍්‍රස්තවාදින්ගේ ග‍්‍රහණයට හසුවූ අවස්ථාවයි. එවකට කඳවුරේ සිටි ද්‍රවිඩ හමුදා නිලධාරියකුගේ පාවාදීමකින් සිදුවූ ඒ ම්ලේච්ඡ කි‍්‍රයාවන් එම කඳවුරේ සිටි දහසකට වැඩි සොල්දාදුවන් පිරිසක් මිය ගොස් හා අතුරුදන්වී ඇති බවට දැනගැනීමට ලැබුණි.

ඔවුන් කඳවුරු අත්පත් කරගත් ආකාරය ප‍්‍රභාකරන් නැමැති ඒ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදියා අපේ හමුදා සොයුරන්ගේ මළ සිරුරු පාගා දමන ආකාරය ඔවුන්ගේ කොටි සාමාජිකයන්, කාන්තා සාමාජිකාවෝ එම මළ සිරුරුවලට වද හිංසා පැමිණවූ ආකාරය, ප‍්‍රභාකරන් දැඩි සතුටින් යුතුව කඳවුර අත්පත් කරගත් කොටි නායකයන්ට සුබ පැතූ ආකාරය. අපේ සොයුරන්ගේ මෘත දේහ සහ ඔවුන් සතු ආයුධ පෝලිමට ගොඩගසා තිබූ ආකාරය ඇතුළත් වීඩියෝ පට ඔවුන් එකල බෙදාහැර තිබුණි. ඒවා අප දුටුවේ හද කකියන වේදනාවෙනි. ඒ අතර තවත් විශාල පිරිසක් ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින බවට ප‍්‍රචාරය කර තිබුණි.

එපමණක් නොවේ කොටි ත‍්‍රස්තවාදීන් සහ අපේ නාවික හමුදා සොයුරන් අතර මහ මුහුදේ ගැටුම් ඇතිවූ අවස්ථා කිහිපයක්ම ඔවුන් වීඩියෝ ගත කර තිබුණි. ඒ අවස්ථාවලදී ඔවුන් හමුදා භටයින් අත්අඩංගුවට ගෙන තිබුණි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බුද්ධි තොරතුරුවල නියැලුණු නිලධාරීන් ගණනාවක්ද අවස්ථා ගණනාවකදී ද කොටි අත්අඩංගුවට පත්වූහ.

නැගෙනහිරින් රැගෙන ගියද අප විශ්වාස කළේ උතුරේ හෝ නැගෙනහිර කොටි කඳවුරුවල ඔවුන් සිරකරගෙන ඇති බවය. නැගෙනහිර මුදා අවසන් වුණත් එහි වධකාගාරවල අපේ ආරක්ෂක අංශවලට සම්බන්ධ කිසිවකු සිටියේ නැත. උතුර මුදාගෙන අවසන් විය. එහෙත් එහි වධකාගාරවලත් අපේ ආරක්ෂක අංශවලට සම්බන්ධ කිසිවකුත් නැත.

අතුරුදන් බවට තොරතුරු ලැබුණ දින සිට ඔවුන් වෙනුවෙන් අවමගුලක් හෝ හත් දවසේ දානයක් දීමටවත් හැකියාවක් ඔවුන්ගේ මාපිය ඥාතීන්ට ලැබුනේ නැත. කොහේ හෝ ජීවත්ව ඇතැයි යන විශ්වාසය මත ඒ වීර හමුදා රණවිරුවන් කෙසේවත් කොටි ගිනි උණ්ඩයට බිලිවී මිය යන්නට ඇතැයි විශ්වාස කරන්නට තීරණය කරන්නට ඥාතීන් කැමැති වූයේ නැත. මේ ත‍්‍රස්තවාදය නිමාවී නොව කුමන අවස්ථාවක හෝ කොටින්ගෙන් මිදී පලා එනු ඇතැයි විශ්වාස කළහ. මඟ බලා සිටියහ.

එහෙත් ත‍්‍රස්තවාදය නිමාවිය. උතුරේත් නැගෙනහිරත් දැන් ත‍්‍රස්තවාදින් නැත. ඔවුන්ගේ වධකාගාර කුඩුපට්ටම් වී ඇත. එහෙත් ඒ අතුරුදන් වූ වීරෝධාර හමුදා සෙබළුන් ද නොමැත. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දන්නේ උතුරේ ගහකොළ මහපොළව පමණි. ඒ ගහකොළවලට කතා කළ හැකිනම් අපේ ඒ සොයුරන්ට සිදුවූයේ කුමක්දැයි පවසනු ඇත.

ඔවුන් හෙලූ ලේ කඳුළු දහදිය අපේ මාතෘ භූමියේ මහ පොලවට එකතුවී ඇත. තම දූදරුවන් ආදරණීය බිරියන් මවුපියන් සිහිවී ඔවුන් හෙලූ සුසුමන් තවමත් ඒ වාතලය පුරා විහිදී තිබෙනු ඇත. ජීවිතය පරදුවට තබා ත‍්‍රස්තවාදය තුරන් කිරීමට සටන් කළ අපේ රණවිරුවන්ට අතුරුදන්වී ජීවිතක්‍ෂයට පත් ඒ සොයුරු රණවිරුවන්ගේ සුසුම් ආශිර්වාදයක් වී ජයග‍්‍රහණය කරා යන්නට ශක්තියක් වෙන්නට ඇති.

දයාබර හමුදා සොයුර, වීරෝදාර රණවිරුව, ඔබ දැන් මේ මාතෘ භූමියේ ජීවත්වී නැති බව අපි දනිමු. ඔබ එන පෙරමඟ බලා සිටි ඔබේ දයාබර දූදරුවන් මාපියන් තවදුරටත් ඔබ එන මග බලා නොසිටිනු ඇත. ඔවුන්ගේ බලාපොරොත්තු විනාශවූයේ යැයි හඬා වැළපෙනු ඇත. එහෙත් මේ දේශයේ සෑම කෙනෙකුටම සැනසීමට කරුණක් ඇත.

ඒ යළිත් මතු උපදින පරම්පරාවකටවත් ත‍්‍රස්තවාදයක් නොමැති ලෝකයක ඉපදීමට වාසනාව ලැබී ඇති බවයි. ඔබ කළ ජීවිත පරිත්‍යාගයේ ආශිර්වාදයෙන් මේ ජයග‍්‍රහණය අප රටට හිමිවිය. ඔබ වෙන්වී ගියත් මේ රටේ ජනතාවට කිසි දිනෙක ඔබ අමතක නැත. සදාකාලික ඔබට උපහාර දක්වන්නේ හදවතින්ම උපන් ගෞරවනීය සෙනෙහසිනි.


සබැඳි පුවත්