ප‍්‍රවීණ කතුවරුනට ඇරයුම් රණබිමේ ජයගොස ‘රන් අකුරින්’ ලියමු

ප‍්‍රවීණ කතුවරුනට ඇරයුම් රණබිමේ ජයගොස ‘රන් අකුරින්’ ලියමු

ත‍්‍රස්තවාදය නිමාවිය. රටේ ජනතාවට දැන් දැනෙන්නේ අප‍්‍රමාණ වූ නිදහසකි. අප ත‍්‍රස්තවාදය යුද්ධය යන වචන පවා ඉතිහාස පොතට පමණක් සීමා කළ යුතුය.

එහෙත් මේ රටේ සෑම පුද්ගලයකු විසින් ම බුදුන්වහන්සේගේ ධර්මය රැකගන්නා සේ මහත් ගෞරවයෙන් අභිමානයෙන් ආරක්‍ෂා කර ගත යුතු යමක් ඇත. ඒ කුමක්ද? රටේ ස්වෙරී භාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර ගනු වස් ජීවිත පරිත්‍යාගයෙන් ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කර අභිමානණීය ජයග‍්‍රහණයක් ලබා ගත් මෙරට වීරෝදාර රණවිරු සොයුර සොයුරියන් වෙනුවෙන් දක්වන්නා වූ ගෞරවනීය උපහාරයයි.

දශක තුනක පමණ කාලයකදී මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස උතුරු නැඟෙනහිර පැවැති ඊළාම් යුද්ධයට මුහුණ දුන් සෙබළුන් සංඛ්‍යාව දහස් සංඛ්‍යාතය.

තම දරුවන් මවුපියන් සොයුරු සොයුරියන්, ඥාති හිතවතුන් අතහැර දමා මොහොතකට හෝ ඔවුන් අමතක කර මේ රට වෙනුවෙන් කි‍්‍රයාන්විත සේවයට ගොස් ජීවිතය පූජා කළ, ආබාධිතයන් බවට පත් වූ, තවමත් ඒ වෙනුවෙන් කැප වී සිටින වීර හමුදා සොයුරු සොයුරියන් වෙනුවෙන් මේ රටේ ජනතාව කෘතගුණ සැලකිය යුතුය. උපහාර දැක්විය යුතුය.

තම ආදරණීය සැමියා, පියා, පුතා අහිමි වී තවමත් සුසුම් හෙළන මව්වරු, බිරින්ඳෑවරුන් කොපමණ සිටීද කිව නොහැකිය. කාලයත් සමඟ ඔවුන් පවා සමාජයට අමතකව ගොස් ඇත.

ති‍්‍රවිධ හමුදාපතිවරු ප‍්‍රමුඛ සමස්ත හමුදා භට පිරිස්ම ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වූයේ එය මේ ආකාරයෙන් ජයග‍්‍රාහී ලෙස අවසන් කළ යුතු බවට වූ අධිෂ්ඨානයෙනි. නිශ්චිතවම පැහැදිලි තත්ත්වයක් මතය. එසේම ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා සහ ති‍්‍රවිධ හමුදාපතිවරු වරින් වර ප‍්‍රතිඥා දුන්නේ ඔවුන්ගේ පාලන කාලවලදී ත‍්‍රස්තවාදය විනාශ කර දමන බවට ස්ථිර පොරොන්දුවක් මතය.

සත්‍යයකි. ඒ ප‍්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ විය. වසර ගණනාවක් බලා සිටි ඒ නිදහස මහජනතාවට හිමිවිය. ඒ සඳහා බොහෝ කල් ගතවුණේ ද නැත.

දරුවටද ඉපදී බහ තෝරන වයස ඉක්මවීමටත් පෙර ත‍්‍රස්තවාදීන් සතුව තිබූ වර්ග කිලෝමීටර් පහළොස්දහසක භූමියක් නිදහස් කර ගනිමින් ත‍්‍රස්තවාදය නිමා වූයේ මෙරට ජනතාව පිළිබඳ සමස්ත ලෝකයාම පුදුමයට පත් කරවමිනි.

යුද්ධය බිහිසුණු ය. කටුක ය. තරුණ ජීවිතයක් ඒ වෙනුවෙන් කැප කරන්නේ රට වෙනුවෙන් ම උපන් ආදරය නිසාය. ගිනි අවිය අත දරාගෙන කි‍්‍රයාන්විත රාජකාරියට ඇතුළුවන හමුදා සෙබළාට වැස්ස, අව්ව, බඩගින්න, වෙහෙස නොදැනේ. කෑළි කැපිය හැකි මහා ඝණ අඳුරු කැළැවේ පියවරෙන් පියවර තබමින් සෙමින් සෙමින් සතුරා සොයා ඉදිරියට ඇදෙන සොල්දාදුවන් පිළිබඳ මෙරට ජනතාව දන්නේ කුමක්ද? ඒ ඝණ අඳුරේ දැනෙන මහා පාළුව මධ්‍යයේ තම දූ දරුවන්, බිරියන්, මාපියන් සිහිගැන්වී ඔවුන්ගේ හදවතට ශෝකයක් වේදනාවක් දැනෙන්නට ඇත. එවන් අවස්ථාවට නොදැනීම ඔවුන්ගේ දෑසට කඳුළක් නැඟෙන්නට ඇත. එහෙත් ඒ මහා යුද භූමියේ ඔවුන් සනසන්නට කිසිවකු නැත. ඇතැම් විට ඒ වේදනාකාරී හැඟුම් මැදින්ම ඊට සුළු මොහොතකට පසුව හෝ සතුරන් වෙඩි උණ්ඩයට බිළිවී ජීවිතය අහිමි වී යන්නට ඇති. අත්පා අහිමි වී ආබාධිත වන්නට ඇති.

වන්නි මෙහෙයුමේ නිරතවූ හමුදා සොයුරන් කළ කැපවීම අප දෑසින් දුටුවෙමු. ලොව අද සිටින එක ම විනය ගරුක, අධිෂ්ඨානශීලී නිර්භීත හමුදාවන් සිටින එකම රට බවට අද ලොව පුරා ප‍්‍රචාරය වී තිබෙන්නේ මේ පුංචි රටයි. ඒ නම්බුව අප හට ලබා දුන්නේ වීර හමුදා සොයුරු සොයුරියන් ය. මෙවැනි හමුදාවක් යළි මෙලොව බිහිවෙන්නේ නැත. අප ඔවුන් වෙනුවෙන් දැක්විය යුතු ඉහළම උපහාරය නම් අද ඔවුන් කළ ඒ කැපවීම තවත් වසර සිය ගණනක් ඈත දුරට පැවතී යාමට අවශ්‍ය පරිසරය සකසා දීමය.

අද මේ රටෙහි ප‍්‍රවීණ ගත්කතුවරයන් බොහෝ සිටිති. මේ ඓතිහාසික සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ ඉදිරි පරම්පරාවන් දැනුවත් කිරීම සඳහා ඔවුන්ට කළ හැකි බොහෝ දේ තිබේ. තවත් සතියකින් දෙකකින් හෝ ඊටත් වැඩි හෝ අඩු කාලයකින් අපේ රටට මේ නිදහස කීර්තිය ලබා දුන් අතිගරු ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්ගේ නාමය ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවී හමාරය. එහෙත් ඒ බව ග‍්‍රන්ථාරූඪ විය යුතුය. ලෝකයේ දරුණුම ගරිල්ලා කණ්ඩායමක් විනාශ කළ මෙරට හමුදාවන්ට විදේශ රටවල තිබෙන්නේ විශාල පිළිගැනීමකි.

මීට වසර පහළොවකට පමණ පෙර සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන්, සොල්දාදුවන් විශාල පිරිසක් උතුරු නැඟෙනහිර කි‍්‍රයාන්විතයේදී මිය ගියහ. නැඟෙනහිර සහ වන්නි මෙහෙයුම්වලදී තවත් විශාල පිරිසක් මිය ගියහ. මේ සෑම රණවිරුවකුම දෑතට ගිනි අවිය ගෙන කි‍්‍රයාන්විත රාජකාරියට පා තැබුවේ එකම අරමුණක් සඳහාය. ඒ ත‍්‍රස්තවාදය විනාශ කර මේ මාතෘ භූමිය ආරක්‍ෂා කර ගනු පිණිසය.

එපමණක් නොවේ. ත‍්‍රස්තවාදීන් දැවැන්ත මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කර හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ ඊළමෙ අරමුණ වෙනුවෙනි.

අති විශාල ආයුධ තොගයක් එක්රැස් කර ගනිමින් මෙරට සිංහල ජාතිය විනාශ කර ඊළමක් සඳහා ඔවුන් කළ සැලසුම වීර හමුදාවන්ගේ කැපවීමෙන් සිහිනයක් බවට පත් වූයේ ප‍්‍රභාකරන්ගේ අවසානයත් සමඟය.

යුද හමුදාපතිතුමා ගොඩබිමෙන් ත‍්‍රස්තවාදී බලමුළු විනාශ කරමින් බළ සේනාංක මෙහෙයවද්දී නාවික හමුදාපතිතුමා මහා සාගරය හරහා ඔවුන් ශක්තිමත් වීමට දැරූ සියලු උත්සාහයන් විනාශ කළේය.

ගුවන් හමුදාපතිතුමාගේ උපදෙස් මත ගුවන් නියමු රණවිරුවෝ කොටින් සියලු සැමටත් ගුවනේ සිට ප‍්‍රහාර එල්ල කරමින් යුද හමුදාවටත් නාවික හමුදාවටත් අති විශාල සහායක් ලබා දුන්නේය. පොලිසිය ඒ අතර දකුණේ ආරක්‍ෂාව තර කරමින් කටයුතු කළේ පොලිස්පතිතුමාගේ උපදෙස් මතය.

මේ සියලු අංශවල එකතුවෙන් ලබා ගත් විජයග‍්‍රහණය ඉතිහාසයට එක්කිරීම සඳහා බොහෝ දේ කළ හැකිය. එදා රජ දවස සිට රටේ නිදහස ලබාගන්නා තෙක් රට ආරක්‍ෂා කර ගැනීමට කැපවූ වීරයන් සටන් කළේ ත‍්‍රස්තවාදයක් සමඟ නොවේ.

විවිධ වූ රාජ්‍යයන් සමඟ ය. එහෙත් මෙරට හමුදාවන් සටන් කළේ දරුණු ත‍්‍රස්තවාදයත් සමඟය. රට දෙකඩ කර සිංහල ජනතාව විනාශ කිරීමට උත්සාහ කළ ගරිල්ලා කණ්ඩායමක් සමඟය. මෙරට ඉතිහාසයේ එවැන්නක් සිදුවූ ප‍්‍රථම අවස්ථාව එය වෙයි. ඒ ඔවුන්ගෙන් රට බේරාගැනීමට කැපවූ රාජ්‍ය නායකයන්, හමුදාව ඔවුන් විඳි දුක් ගැහැට සියල්ලම ග‍්‍රන්ථාරූඪ කර ඉදිරි පරම්පරාවන් දැනුවත් කිරීම ඒ මගින් ඔවුන්ගේ ගෞරවය ඊට කැපවූ පිරිසට ලබාදීමට සැලැස්වීම අප මේ ව්‍යසනයෙන් බේරාගත් ඒ වීර හමුදාවන්ට කරන ලොකුම උපහාරයයි.


සබැඳි පුවත්