මිනිස්කමට නිගා කරන සිදුවීම්වලට මාධ්‍ය‍යෙන් ඉඩ එපා

මිනිස්කමට නිගා කරන සිදුවීම්වලට මාධ්‍ය‍යෙන් ඉඩ එපා

මහනුවර පූජාපිටියේ දොඹගම්මන ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරවාසී

මහනුවර මේධංකර හිමි

බුද්ධ දේශනාවට අනුව සෑම සත්ත්වයෙකුටම ලැබිය හැකි උපරිම සැපය නැතහොත් ජයග්‍රහණය වන්නේ නිර්වාණාවබෝධයයි. එෙහත් මේ ජීවිතයේ දී නිවන අවබෝධ කර ගත හැකිද යන්න බොහෝ දෙනකුට මතුවන ගැටලුවක්. මහනුවර පූජාපිටියේ දොඹගම්මන ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරවාසී මහනුවර මේධංකර හිමියන් සමඟ කරන මේ සාකච්ඡාව නිර්වාණාවබෝධය පිණිස මාර්ගය සකස් කරගත යුතු ආකාරය පිළිබඳවයි.

l බුදු දහමට අනුව ලොව උතුම්ම සැපත ලෙස සැලකෙන නිර්වාණාවබෝධය පිළිබඳ හැඳින්වීමක් කළහොත්?

නිර්වාණය කියන්නේ දැවැන්ත පද්ධතියක්. මනුෂ්‍යයෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා මේ ඕනෑම කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය වන්නේ නිවනයි. බුදුරජාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මය දේශනා කළා. එය අපි හඳුන්වන්නේ අභිධර්මය ලෙසයි. අභිධර්මය කියන්නේ ධර්මයේ පරතෙරට යාම. ඒ වගේම විනයේ පරතෙරට යාම අපි අභිවිනය ලෙස හඳුන්වනවා. නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ මේ අභිධර්මය හා අභිවිනය ප්‍රගුණ කිරීමයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පුද්ගලයෙකුට ඒකාන්තයෙන්ම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. නමුත් ඕනෑම කාර්යයක්, අරමුණක් සඵල කරගන්නවා වගේ මේ සඳහාත් කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. අලසව, කම්මැලිව, නිදිබරව වීර්යයක් ඥානයක් නොමැතිව, අද බැහැ හෙට, ලබන ආත්මේ යනාදී ලෙස කල්දමා සිටියහොත් එය සාර්ථක වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් අධිෂ්ඨානයක්, ඉලක්කයක් ඇතිව ඥානය පාවිච්චි කර මහන්සියෙන්, කැපවීමෙන්, ධෛර්යය ඇතිව අද අදම ඒ සඳහා කැපවුවහොත් මේ ජීවිතේම නිවන අවබෝධ කරගන්න පුළුවන්.

l එෙහත්, වර්තමානයේ මිනිසුන් වැඩිවශයෙන් ලෞකිකත්වය පසුපස හඹා යනවා නේද?

වර්තමානයේ මිනිස්සු ලෞකිකත්වය පසුපස හඹා යාම අමුත්තක් නොවෙයි. අතීතයේ පටන් මිනිස්සු ලෞකිකත්වය පසුපස හඹා ගිය බව ලෝක ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙනවා. ඉන්දුනිම්න, ග්‍රීක, රෝම, මිසර, ඊජිප්තු ශිෂ්ටාචාරවලටත් ඔබ්බෙන් තිබුණු මනුෂ්‍යයාගේ ප්‍රාථමික ඩයිනෝසර් යුගයේ දී පවා මනුෂ්‍යයාට තිබිලා තියෙන්නේ කාමය මුල් කරගත් ජීවිතයක්. බුදුදහම කාමය ලෙස හඳුන්වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු සමඟ ආසාවෙන් තණ්හාවෙන් බැඳිලා ඒවා සමඟ ගලාගෙන යාමයි. ආදි යුගවල මනුෂ්‍යයාගේ ඒ තත්ත්වය පැරැණි ශිෂ්ටාචාරවල විදහාපෑවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිස්සු කාමභෝගී ජීවිත ගත කළා. එදා ගිරග්ග සමජ්ජය දැකලා උපතිස්ස හා කෝලිත පරිබ්‍රාජකවරුන් ගිහිගෙයින් ඈත් වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන් කලකිරුනෙත් කාමභෝගී ජීවිත ගතකිරීම නිසයි. ඒ වගේම යසකුල පුත්‍රයා කියන්නේ, මාලිගා ගණනාවක් සහ කාන්තාවන් ගණනාවක් සමඟ ඉතාම කාමභෝගී ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. මේ අනුව බලනවිට අද පමණක් නොව කාමභෝගී ජීවිතවල ඇලීගැලී සිටි පුද්ගලයන් බුද්ධ කාලයේත් සිටියා.

l මෙවැනි කාමභෝගී ජීවිත ගත කිරීම නිර්වාණාවබෝධයට බාධාවක් නේද?

මෙය එකම කාසියක දෙපැත්ත වගේ. කාමභෝගී ජීවිතයත් සමඟ අනෙක් පැත්තෙන් ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මතු වෙනවා. ඒ වගේම උද්දච්චකම, මානය, නොසන්සුන්කම වැනි ක්ලේශකර ධර්මයනුත් ගොඩනැඟෙනවා. මෙය නිවනට බාධාවක්. ඒ නිසා යම් පුද්ගලයෙක් මේ ජීවිතේ නිවන අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරනවා නම් කාමභෝගී ජීවිතවලින් ඈත් විය යුතුයි.

l කාමභෝගී ජීවිත හැරුණු විට වර්තමානයේ මිනිසුන්ට නිවනට තිබෙන බාධා මොනවාද?

අද අදම නිවන් දැකිය හැකියි යන්න ප්‍රවණතාවක් ලෙස අපේ සමාජයේ තිබෙනවද? නැද්ද? යන්න ප්‍රශ්නයක්. ඒ වගේම ඒ වචනය ප්‍රචාරය කරනවාද යන්නත් ප්‍රශ්නයක්. අපේ හදවතට, ඇටමිදුළුවලට ගමන් කර නොමැති දෙයක් කරා පුද්ගලයෙක් ගැඹුරෙන් සම්බන්ධවේද යන ගැටලුව අපිට මතුවෙනවා.

ඒවාගේම නිර්වාණාවබෝධය පිණිස ජනතාවට තිබෙන මාර්ගෝපදේශයේ අඩුවකුත් අපේ සමාජයේ තිබෙනවා. නිවන කියන අවසාන ඉලක්කයට, ඒකාන්තයෙන්ම යාහැකියි කියන පණිවිඩය ජනතාව අතරට ගෙන යාමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ ජනතාව තුළ උනන්දුවක්, උද්යෝගයක් ඇති කළ යුතුයි. ඒවගේම තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය මේ සිංහල බෞද්ධයන්ට හෝ මේ රටට සීමාවුණු දෙයක් නොවෙයි.

උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන බෞද්ධයන් වගේම අනෙකුත් ඕන ආගමකට අයත් පුද්ගලයෙකුට නිවරැදි ප්‍රතිපදා අනුගමනය කරනවා නම් නිවන් අවබෝධ කර ගන්න පුළුවන්.

l යම් පුද්ගලයකු නිවන් මාර්ගයේ ගමන් කරනවානම් ඒ සඳහා පිළිවෙතින් පෙළගැසිය යුත්තේ කුමන ආකාරයෙන් ද?

විශේෂයෙන් පුද්ගලයන් තුළ මේ සඳහා උනන්දුව සහ කැපවීම අවශ්‍යයි. ඒවගේම අධිෂ්ඨානය වගේම දැක්මක් තිබිය යුතුයි. අද අදම ප්‍රතිඵල ලැබෙනවා කියන ආකල්පය තියෙන්න ඕනෑ. යම් කෙනෙක් ඒ අයුරින් කැපවීමෙන් සෝවාන් සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගඵල ලබන්න පුළුවන්. කන්තා පිරිමි භේදයකින් තොරව මේ තත්ත්වයන්ට ඕනෑම කෙනෙකුට පත්වෙන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. මෙහි නියම ප්‍රතිඵලය ලබාගන්න නම් ගොඩාක් මහන්සි වෙන්න ඕනෑ.

නිවන කියන්නේ මනුෂ්‍යයාට තිබෙන අභියෝගයක් මනුෂ්‍යයා කියන්නේ අනෙකුත් සත්ත්වයන් අතර දියුණු වර්ධනය වුණු මොළයක්, ඥානයක් තිබෙන හදවත දියුණු පුද්ගලයෙක්. ඒ නිසා මිනිසුන්ට ඒ අභියෝගය ජයගන්න පුළුවන්.

l මේ සංසාර ගමන කෙටිකර ගත හැකි මාර්ගයක් තිබුණත් වර්තමාන සමාජයේ මිනිසුන් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවක් පෙනෙන්නේ නැහැ නේද?

මේ දවස්වල අපිට සමාජයෙන් අහන්න ලැබෙන්නේ ඉතා ලජ්ජිත දේවල්. මේ රටේ ආගම් ගණනාවක් තිබෙනවා. නමුත් අපේ රටේ සිදුවන ඇතැම් සිදුවීම් දිහා බලද්දී මෙය මිනිස්සු ජීවත්වන තැනක් ද යන ප්‍රශ්නය එනවා. අද දිනපතා මාධ්‍යවල අපරාධ, දූෂණ, වංචා වැනි නානාප්‍රකාර අපරාධ වාර්තා වෙනවා. අද මාධ්‍යවල මුල්තැනක් ලැබෙන්නේ සන්තෝසයෙන් නිවිලා ඉන්න ජනතාවක් ගැන නොවෙයි. ගිනිගන්න, දැවෙන, තිරිසන්, ප්‍රේත වැනි ජනතාව ගැන තමයි වාර්තා පලවෙන්නේ. නමුත් අපේ සමාජයේ දෙවියන් වැනි මිනිස්සුත් ඉන්නවා.

අද බොහෝ මිනිස්සු තණ්හාවෙන්, ලෝබයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මානයෙන්, කුහකකමින් පිරිලා. හැම ක්ලේශයක්ම උත්සන්න වෙලා. මේ තත්ත්වය අවම කර ගන්න යහපත් සමාජයක් යහපත් මනුෂ්‍යයන් පිරිසක් නිර්මාණය කිරීමට නිවැරැදි මාර්ගෝපදේශයක් ලැබෙන්නේ නැහැ. මේවාට තනි තනිව නොව සියලු දෙනා එකතුව විසඳුම් සෙවිය යුතුයි. අද අපේ මාතෘභූමිය දැවැන්ත කෙලෙස් ගින්නකින් දැවෙනවා. එනිසා මේ තත්ත්වය සමනය කරන්න විශාල පරිශ්‍රමයක් දැරිය යුතුයි. මේ ගින්න නිවන්න තියෙන හොඳම අවිය වන්නේ ධර්මය හා විනයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා