අත පෙරට!

අත පෙරට!

අද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළොස් වන මහා සමුළුව පැවැත් වේ. දේශපාලනික වශයෙන් ඓතිහාසික තත්ත්වයන් කිහිපයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සමුළුව වැදගත් වේ. ඉන් කරුණු දෙකක් අවධාරණය කරන්නට කැමැත්තෙමු. පළමුවැන්න දෙවන නිදහස් අරගලය හෙවත් ත්‍රස්තවාදය පරාජය කිරීම ශ්‍රීලනිප පක්ෂය ප්‍රධාන ආණ්ඩුවක් යටතේ සිදුවීම ය. දෙවැන්න රට ගැන කල්පනා කරන දේශප්‍රේමී සමාජයක් එම ආණ්ඩුව යටතේ ම බිහිවීම ය. මේ සාධක දෙක ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු කරනු ඇත.

1951 දී ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ මේ රටේ ධනපති හා සාම්ප්‍රදායික දේශපාලන බලවේගයට එරෙහිව ය. එහි මූලික අර්ථය වූයේ සාමාන්‍ය පොදු ජනතාව දේශපාලන ප්‍රවාහයක් ලෙස බලගැන්වීම ය. කුමන පසුබිමක් යටතේ වුව නිදහසින් පසු මේ රටේ විකාශය වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් බව අපි දනිමු. එකක් බටහිර ගැති එක්සත් ජාතික පක්ෂය යි. අනෙක වමට බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මේ පක්ෂ දෙකෙන් තොර දේශපාලනයක් අදටත් ශ්‍රී ලංකාවට නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයස අවුරුදු පනස් අටෙකි. ගෙවී ගිය අඩ සියවසකට අධික කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාව ගැන කල්පනා කළේ කෙසේ ද? අනාගතය සැලැසුම් කළේ කෙසේ ද? රටේ මූලික ගැටලු විසැඳීම සඳහා යොදාගත් උපාය මාර්ග කවරේ ද? ඒවා කොතෙක් දුරට සාර්ථක ද? ඒ පිළිබඳ විග්‍රහයක යෙදීමට හොඳ ම කාලය පැමිණ තිබේ. අප ගේ විග්‍රහය සාධාරණව හා අපක්ෂපාතී ව සිදු කරන්නට වෑයම් කරමු.

නිදහසින් පසු රටේ බමුණු කුලය බිඳ දමා පොදු ජනයාට යහපතක් වන ලෙස රටේ ආර්ථිකය අධ්‍යාපනය හා සමාජ පරිසරය ගොඩනඟන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. එහි එක් සන්ධිස්ථානයක් ලෙස 56 පෙරැළිය සඳහන් කළ හැකි ය. යථාර්ථවාදී දේශපාලන විග්‍රහයක යෙදුණහොත් 65 ආණ්ඩුව ශ්‍රීලනිප ප්‍රතිපත්ති යම් තරමකින් හෝ ඉදිරියට ගෙන ගියේ නම් 1971 දී තරුණ කැරැල්ලක් ඇතිවන්නේ නැත. එජාප ආණ්ඩු හැමවිට ම සූරාකෑම වර්ධනය කළේ ය. පොදු ජනයා කෙරෙහි බලපැවැත්වූ පීඩනය වැඩි කළේ ය.

තව ම නිසි විග්‍රහයක් ඉදිරිපත් කර නැති වුව මෙරට ග්‍රාමීය උගත් තරුණ පරම්පරාවට සමාජ ප්‍රාග්ධනය උකහා ගැනීමේ අවස්ථා අහුරා දමන ලද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසිනි. ඔව්හු දේශීය සම්ප්‍රදාය කුණු කූඩයට වීසි කළහ. ගමේ තරුණ පරම්පරාව කොන් කළහ. දේශීය කර්මාන්තකරුවා නො සැලකිල්ලට ලක් කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ අවවර්ධිත ආකල්ප සමස්ත සමාජය පුරා පැතිරයෑම ය. ග්‍රාමීය තරුණ පරම්පරාව හැම අතකින් ම විනාශයට ලක් විය. එහි ප්‍රතිඵල දෙවරක් ම අපට විඳගැනීමට ලැබිණි.

පසුකාලයේ මෙරට ප්‍රධාන ගැටලුව බවට පත්වූයේ බෙදුම්වාදී ත්‍රස්තවාදය යි. එය ප්‍රධාන සමාජ ආර්ථික ගැටලු සමුදායක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන්හි ගනු ලැබූ තීන්දු - තීරණ නිසා මේ ගැටලුව උත්සන්න විය. අවසානය වන විට එය අන්තර්ජාතික ගැටලුවක් බවට පත් ව තිබිණි. එහි භයානක ස්වරූපය වූයේ බටහිර බලවේග විසින් ත්‍රස්තවාදය මෙහෙයැවන තැනට පත් ව තිබීම ය. කොටි ත්‍රස්තවාදය යනු කිසි කලෙකත් විසැඳිය නොහැකි ප්‍රශ්නයක් බවට පත් ව තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නූතන නායකත්වය ගැටලුව විසැඳුවේ ය. අන්තර්ජාතික බලවේග පරාජයට පත්විය. දේශීය බටහිර ගැති බලවේග පරාජයට පත්විය. මේ වනවිට රට නිදහස් ය. දේශප්‍රේමී බලවේගය අන් සියලු බලවේග පරයා නැඟී සිටී. එය පැහැදිලි ලෙස ම ප්‍රබුද්ධ ලක්ෂණයෙකි. මෙතෙක් නිද්‍රාශීලීව සිටි ජනතාව අවදි වී සිටිති. රට ගැන ද ජාතිය ගැන ද හැඟීමකින් යුතු ව නැඟී සිටිති. එය අඩසියවසකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟුණු බලවත් ජනතා බලවේගයක් ලෙස සැලකිය හැකි ය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් දේශපාලන බලවේග පරයා අභීතව නැඟී සිටී. එලෙස නැඟී සිටීමේ පසුබිම ගොඩනැඟෙන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ය. ශ්‍රී‍්‍රලනිප නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට මෙරට දේශපාලන වේදිකාව තුළ පමණක් නොව අන්තර්ජාතික දේශපාලන වේදිකාව තුළ ද කැපී පෙනෙන තත්ත්වයක් පවතී. ලෝකයේ නව ප්‍රවණතාවක් ලෙස නැඟී සිටින බටහිරට එරෙහි නව රැඩිකල් කණ්ඩායම මහින්ද රාජපක්ෂ නම් නායකයා කෙරෙහි වැඩි විශ්වාසයක් තබාගෙන සිටිති.

ශ්‍රීලනිපයට උදා වී ඇත්තේ පෙර නොවූ - විරූ අලුත් ම යුගයෙකි. එක් අතකින් අන්තර්ජාතික පිළිගැනීම උපරිමයෙන් තිබේ. තව අතෙකින් දේශීය වශයෙන් පවතින විපක්ෂ දේශපාලන බලවේග ශ්‍රීලනිපය ඉදිරියේ බොහෝ සෙයින් දුර්මුඛ ය. දැන් පවතින්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ පමණි. මේ කුමන්ත්‍රණ පහව යනු ඇත. ශ්‍රීලනිපයේ අනාගතය බෙහෙවින් ශක්තිමත් ය. අපි ඊට සුබ පතමු!

අත පෙරට ; ශ්‍රීලනිප පෙරට; රට පෙරට.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා