ජනපති නායකත්වය නුදුන්නා නම් යුද්ධය කවදාවත් ජය ගන්න බැහැ

ජනපති නායකත්වය නුදුන්නා නම් යුද්ධය කවදාවත් ජය ගන්න බැහැ

- ඇමැති බන්දුල ගුණවර්ධන

යුද නාවික ගුවන් හමුදාවලට පමණක් යුද්ධයක් ජය ගන්න බැහැ. දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම නායකත්වය නිර්භීතව හමුදාවලට ලබා දුන්නා. දැන් කරන්නේ සංවර්ධන සටනයි. 2015 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිදුළනවා ඒකාන්තයි.

වෙළෙඳ සමුපකාර හා පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසුවේ හෝමාගම දුම්රිය පොළ මාවතේ ශ්‍රී. ල. නි. ප. නව කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුවේ දීය.

හෝමාගම ශ්‍රී. ල. නි. ප. කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ප්‍රධාන සංවිධායක හා වෙළෙඳ සමුපකාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 8 වැනිදා විවෘත කළ අයුරු. ඛනිජ හා ඛනිජ සම්පත් ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, ක්‍රීඩා හා විනෝද කටයුතු ඇමැති ගාමිණි ලොකුගේ මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය – ජිනදාස ගමගේ හෝමාගම විශේෂ

ඇමැතිවරයා මෙසේද පැවසීය. ගත වූ වසර කීපය තුළ ග්‍රාමීය පුනර්ජීවන අරමුදල ගැමිදිරිය ආදිය ඇති කරමින් අප ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කර තිබෙනවා. ගත වූ වසර දෙක තුළදී රටට යමක් ඉතුරු කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම ධුරයට පත් වීමෙන් පසු රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දුන්නා. එයට කලින් විවිධ දේශපාලන නායකයන් විවිධ උපක්‍රම යෙදුවා. ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියාවෙන් හමුදා ගෙනත් ගිවිසුම් ගැහුවත් බැරි වුණා.

හිටපු ජනාධිපතිවරයෙක් කොටින්ට ආයුධ මුදල් දීලා සාකච්ඡා කළා. ඒත් කොටින් අතින්ම ඔහු ඝාතනය වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය නෝර්වේ සාම දූතයන් ගෙනාවත් ප්‍රශ්න විසඳන්න බැරි වුණා.

එවකට පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පත් වුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා පාද යාත්‍රා ජන ඝෝෂා මිනිස් දම්වැල් ආදිය කරමින් සටන ඉදිරියටම ගෙන ගියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වුණු පසුව මේ යුද්ධය අපිම අවසන් කරනවා මිස අපේ දරුවන්ට නොදෙන්න සිතා ගත්තා.

ඕනෑම රටක යුද්ධයක් කරන්ට යුද නාවික ගුවන් හමුදාවලට පමණක් අපහසුයි. එයට නිර්භීත එඩිතර දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම නායකත්වය නිර්භීත ලෙස හමුදාවන්ට ලබා දුන්නා. යුද හමුදාවට අවශ්‍ය සෑම දෙයක් සඳහා මුදල් ලබා දුන්නා.

ඉදිරි මාස කීපය තුළ මැතිවරණ කීපයක් ඒමට ඉඩ තියෙනවා. ප්‍රභාකරන් මලත් එයාගේ ඩොලර් විවිධ දේශපාලන පක්ෂ හරහා ඒ මැතිවරණ වලදී හොල්මන් කරන්න ඉඩ තිබෙනවා. ඒවා කෙසේ වෙතත් කව්රු කැමති වුණත් නැතත් තවත් වසර 20 ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ආණ්ඩු කරනවා.

හෝමාගම ආසනය විශාල ලෙස සංවර්ධනය විය යුතු ආසනයක් ජාතික පාසලක්, ජාතික රෝහලක්, අධිකරණ පද්ධතියක් ආදිය කළ යුතුව තිබෙනවා. ආසනයේ සංවිධායක වශයෙන් ඒවා ආරම්භ කර කැලණි මිටියාවතත් හොඳම දියුණු ආසනය බවට පත් කරනවා.

මම පක්ෂ තුනක අත්දැකීම් ලබා තිබෙනවා. මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැතිකම් ලබා තිබෙනවා. දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මින් පසු සසර වසනා තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතියට කටයුතු කරනවා.

ඛනිජ හා ඛනිජ සම්පත් ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, ක්‍රීඩා හා විනෝද කටයුතු ඇමැති ගාමිණි ලොකුගේ්, බස්නාහිර පළාත් සභා ප්‍රවාහන මහාමාර්ග ඇමැති උපාලි කොඩිකාර, හෝමාගම හිටපු ශ්‍රී. ල. නි. ප. සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් සංවිධායක ගාමිණි තිලකසිරි, බස්නාහිර පළාත සභා මන්ත්‍රී ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුනිල් පෙරුම්බුලි, ඇමැති පුද්ගලික ලේකම් සිරිපාල දේවමුල්ල යන මහත්වරුද කතා කළහ.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, සලෝචන ගමගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන, ඉන්දික කෝරළගේ ඒ. ඩී. කුමාරසිරි, එස්. හපුආරච්චි, ඩික්ෂන් ගාමිණි, කමල් චන්දන, බන්දුල රන්ජන් ඉලේපෙරුම යන මහත්වරුද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා