වැඩ කරන ජනතාවට සවන් දෙන්න රජය සූදානම්

වැඩ කරන ජනතාවට සවන් දෙන්න රජය සූදානම්

කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා ඇමැති, ශ්‍රී . ල. නි. ප. මහ ලේකම්
මෛත්‍රීපාල සිරිසේන

ජාප පොදු අපේක්‍ෂකයා ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් ද ආණ්ඩුව පරාජය කරන බවට එක්සත් ජාතික පෙරමුණ සිදු කරන ප්‍රකාශ යථාර්ථයක්ද සහ තවත් කාලීන දේශපාලන කරුණ කිහිපයක් පිළිබඳ ශ්‍රී. ල. නි. ප. මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

* ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පෙරමුණ විසින් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරිමට තීරණය කර තියෙනවා. මේ ආකාරයේ පොදු අපේක්‍ෂකයකුට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබෙන බවටත් ආරංචි පැතිරෙනවා.

මොන අපේක්‍ෂකයා ආවත් ප්‍රතිඵලය එකයි. ජනාධිපතිවරණයක් තිබ්බොත් එක ම ජයග්‍රාහකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. ඒකේ දෙයක් නැහැ. කවුරු පොදු අපේක්‍ෂකයා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. දිනන්නේ අපි. අද එජාපයේ සමහරු තාවකාලික වින්දනයක් ලබනවා.

නමක් ගමක් එළිකරන්නේ නැති පොදු අපේක්‍ෂකයෙක්ව ඉස්සරහට දමලා ඒත් මේ උත්සාහය අසාර්ථක වෙනවා විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන වශයෙන් අවසානයක් කරා යන ගමන තවදුරටත් ඉක්මන් වෙනවා. ඔය පොදු අපේක්‍ෂක සෙල්ලමේ අවසානය ඕක තමයි.

* ඒත් එජාපය නම් කියන්නේ පොදු අපේක්‍ෂකයා නිසා ආණ්ඩුව හොඳට ම බයවෙලා කියලා?

මම මීට කලිනුත් කියපු විදිහට අද එජාපයේ තියෙන්නේ තාවකාලික වින්දනයක්. ඒ ගොල්ලන්ට තමයි අනාගතය ගැන බය වෙන්න ඕනෑ. ආණ්ඩුවට එහෙම බයක් නැහැ. අපි කිසිම දවසක ජනමතයට බයවෙලා නැහැ. මැතිවරණ කල්දමලා ඡන්දවලින් පැනලා ගිහින් නැහැ. එජාපය තමයි මැතිවරණ කල්දමලා මහජනතාවගේ ඡන්ද බලය උදුරා ගත්තේ.

පසුගිය අවුරුද හතරේ දී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විශාල සේවයක් ඉෂ්ට කළා. යුද්ධය නිමා කිරීම පමණක් ම නෙමෙයි ඒ අතර රටේ සංවර්ධනයටත් රජය ලොකු කාර්යභාරයක් ඉෂ්ට කළා. ඉතින් රට වෙනුවෙන් වැඩ කළ ජනාධිපතිවරයෙක් ඉද්දි හොඳ ඇමැති මණ්ඩලයක් ඉද්දි අපි මැතිවරණවලට බය වෙන්නෙ මොකටද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙමෙයි නිදහස් සන්ධානයට අද වෙද්දී රට පුරා විවිධ ජනවර්ග නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රාශියක් එක්වෙලා තිබෙනවා. මේ සියලු පක්ෂවල සහයෝගය අපිට විශාල ශක්තියක්.

* එක්සත් ජාතික පෙරමුණ නමින් එජාපය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්‍ෂ සන්ධාන ගතවෙලා සිටින්නේ. මේ ගැන සඳහන් කරන එජාප මහ ලේකම්වරයා කියන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත දී නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙදර යවලා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරනවා කියලා?

අද එක්සත් ජාතික පෙරමුණ කියලා අලුත් ඇඳුම් අන්දලා තියෙන්නේ පරණ ඇටසැකිල්ලටමයි. මේ පෙරමුණේ ඉන්නේ එදා ඉඳන් එජාපයත් එක්ක හිටිය රවුෆ් හකීම්, මනෝ ගනේෂන් වගේ අයම තමයි එක්සත් ජාතික පෙරමුණේ ඉන්නේ. ඊට අමතරව අපෙන් ගිහින් අනාථ වෙච්ච මංගල සමරවීර මහත්මයත් ඉන්නවා. පසුගිය පළාත් සභා මැතිවරණවලදීත් තරග කළේ එකට.

ඒ විදිහට තරග කළ එජාපයට උරුම වුණේ පරාජය විතරයි. අන්තිමට තිබුණ දකුණු පළාත් සභා මැතිවරණයේ දී එජාපයට ලැබුණේ සියයට 25 ප්‍රතිශතයක් පමණයි. පසුගිය පළාත් සභා මැතිවරණ සියල්ල එකට ගත්තහ ම ආණ්ඩුවත් එජාපය් අතර වැඩි ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ විසිපහයි. මීට කලින් ශශ්‍රීලනිපයත් මැතිවරණ පරාජය වෙලා තියෙනවා.

ඒත් මේ තරම් ඡන්ද පරතරයක් තිබුණේ නැහැ. 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ, මහත්වරු අතර වැඩි ඡන්ද පරතරය තිබුණේ එක් ලක්‍ෂ අසූදහසයි. ඒ පරතරය තමයි අද ලක්‍ෂ විසිපහ දක්වා වැඩි වෙලා තිබෙන්නේ. මේ සංඛ්‍යාලේඛණ පිළිබඳව මැදහත්ව විද්‍යාත්මකව සලකලා බැලුවොත් මේ මොහොත වෙද්දී ද එජාපය ආණ්ඩුවට වඩා ගව් ගණනක් පිටුපස්සෙන් ඉන්නේ.

පෙරමුණු හැදුවා කියලා එජාපයට මේ අගාධයෙන් ගොඩ එන්න බැහැ. තිස්ස අත්තනායක මහත්මයාට වුණත් මේ තත්ත්වය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවාත් ඒත් ඔහුට ඒ ගැන ඇත්ත තත්ත්වය කියන්න බැහැනේ. ඒ හින්දා තමයි ඉදිරි මහ මැතිවරණයේ දී එජාපයට දිනන්න පුළුවන් කිය කියන්නේ.

* අද වන විට සමාජයේ ප්‍රමුඛ මාතෘකාව බවට පත්වෙලා තියෙන්නේ මුලින් එන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද කියන එක මේ ගැන ඉඟියක් හෝ ලබා දෙන්න බැරිද?

මම ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා සහ කැබිනට් ඇමැතිවරයෙකු පමණයි. ඒ හිනදා මැතිවරණ තියෙන දවස් ගැන හෝ ඊළඟට තියෙන්නේ මොන මැතිවරණයද කියලා මට පැහැදිලි අදහසක් කියන්න අමාරුයි. පොතේ හැටියටනම් ඊළඟට තියෙන්නේ මහ මැතිවරණය. ඒත් ජනාධිපතිතුමාගේ ධූර කාලයේ අවුරුදු හතර සම්පූර්ණ වුණාට පස්සේ එතුමාට බලය තියෙනවා අවශ්‍යනම් ජනාධිපතිවරනයක් කැඳවීමට. අපි බලමුකෝ ඉදිරි සති කිහිපයේ දී මොකද වෙන්නේ කියලා. මං ඕනෑනම් එක අනාවැකියක් කියන්නම්. මොන මැතිවරණයක් තිබ්බත් නිදහස් සන්ධානය අති විශිෂ්ඨ ජයක් ලබනවා.

* ආණ්ඩුවක් විපක්‍ෂයක් මහ මැතිවරණ ජනාධිපතිවරණ ගැන කතා කරනවා. හැබැයි ජනතාව ඉල්ලන්නේ බඩු මිල අඩු කරල සහන ලබාදෙන්න කියලා?

අපිට ජනතාවගේ බලාපොරොත්තු ඉල්ලීම් හොඳට තේරෙනවා. මොකද අපි පොඩි මිනිස්සු නේ. ඡන්දවලින් තමයි මේ තැන්වලට ආවේ. ඒ හින්දා තමයි අපි පසුගියදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක මිල ගණන්වලට පාලන මිලක් ඇති කළේ. ඒ නිසා ජනතාවට යම් කිසි සහනයක් නිශ්චිතව ලැබෙනවා.

විදේශයන්ගෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන තුරු අපිට මේ ප්‍රශ්නවලින් සම්පූර්ණයෙන් ම ගැලවී ඉන්න අමාරුයි. ඒ නිසා තමයි රජය අපි වවමු රට නගමු වගේ වැඩපිළිවෙළ යටතේ දේශීය ආර්ථිකය, කෘෂිකර්මාන්තය තිබෙන අගය ඉහළ දමන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ.

බඩුමිල වැඩියි කියලා මෙච්චර කාලයකට වුණේ තියෙන ආණ්ඩුව පෙරළලා අලුත් කට්ටියකට බලය පැවරීම. හැමදාම තට්ටු මාරුවට මේ දේ වුණේ. මම විශ්වාස කරන විදිහට කෘෂිකර්මාන්තය නැංවීම දේශීය ආර්ථිකය ශක්තිමත් ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නවලින් ගොඩඑන්න පුලුවන්කම ලැබෙන්නේ.

ඒ නිසා මේ ජාතික ප්‍රශ්න විසඳීමට සියලු දෙනා එකට එකතු විය යුතුයි. එහෙම කළොත් අපිට පුළුවන් විදේශයන්ට දත නියවන එක නවත්තලා ස්වයංපෝෂිත ක්‍රමයක් රට ඇතුළේ ස්ථාපිත කිරීමට. මේ මගින් අපිට පුළුවන්කම ලැබෙනවා බඩු මිල ඉහළ යාමේ ප්‍රශ්නය පාලනය කිරීමට.

* අවුරුදු කිහිපයකින් වැඩ කරන ජනතාවට සැලකිය යුතු වැටුප් ඉහළ දැමීමක් සිදුකරන්න රජය අසමත් වෙලා තිබෙනවා. වැඩි වැටුප් ලබාගන්න රජයේ සේවකයන්ට පාරට බහිනකොට වැඩ සිද්ධ වෙලා තිබෙනවා. මේ ඉල්ලීම් කුමන්ත්‍රණ කියලයි ආණ්ඩුව කියන්නේ?

කුමන්ත්‍රණ කරන්නේ වැඩ කරන ජනතාව නෙමෙයි විපක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති, වැඩකරන ජනතාවට සවන් දෙන්න ඉල්ලීම් ඉෂ්ට කරන්න රජය සූදානම්. ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් ලබා දීලා තියෙන්නේ ජනවාරියේ දී පඩි වැඩි කරනවා කියලා.

එතුමාගේ ඒ ප්‍රතිඥාව වෘත්තිය සමිති බහුතරයක් විසින් පිළිඅරගෙන තියෙන්නේ. අද ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ එජාපයටත් ජවිපෙටත් හිතවත් වෘත්තීය සමිති කිහිපයක් පමණයි මං රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවස්ථාවාදී දේශපාලන ඉත්තන්ට රැවටෙන්න එපා කියලා.

මෙච්චර දවස් එජාප ජවිපෙ වෘත්තිය සමිති එකගෙයි කෑවේ. ඒත් අද වෙද්දී එජාපයත් ජවිපෙත් තමන්ගේ වෘත්තිය සමිති ඒකාබද්ධව වැඩ කරන තැනට යොමු කරලා තියෙනවා. මේ වැඩෙන් ම තේරෙනවා මෙතැන සිද්ධ වෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්ය කියලා.

* දීර්ඝ කාලයක සිට ශ්‍රී ල නි ප එක්ක දේශපාලනය කළ ජ්‍යෙෂ්ඨයන් අතහැර අලුතින් ශශ්‍රීලනිපයට ආපු පිරිස්වලට ඉහළ සැලකිලි ලැබෙනවා කියලා ශ්‍රී ලනිපයේ බිම් මට්ටමේ සාමාජිකයන් අතර මතයක් ඇතිවෙලා තියෙනවා.

සජීවී දේශපාලන පක්‍ෂයකට හැමදාම එකතැන ඉන්න බැහැ. අලුත් වෙන්න ඕනෑ. අලුත් සාමාජිකයෝ එකතු වෙන්න ඕනෑත එහෙම නොවුණොත් දේශපාලන පක්‍ෂයට ඉස්සරහට යන්න බැරි වෙනවා. ශශ්‍රී ල නි ප ය බිහිකළේ බණ්ඩාරනායක මැතිතුමා විසින්. එතුමා සමඟ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු පිරිසක් සිටියා. බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ මැතිනිය පක්‍ෂය භාර ගත්තා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය. අද මහින්ද ජනාධිපතිතුමා මං කියන්නෙ පක්‍ෂයකට දෙවන පෙලක් තෙවන පෙළක් තියෙන්න ඕනෑ. ජ්‍යෙෂ්ඨයන්ගෙන් පස්සේ පක්‍ෂයක අනාගතය භාර ගන්න ඉන්නේ මේ අය. ඒ නිසා අලුත් අය පැමිණීම නරක දෙයක් විදිහට මම නම් දකින්නේ නැහැ.

* අපි වවමු රට නඟමු වගේ සංකල්පය ඉදිරිපත් කරමින් දේශීය කෘෂිකර්මය නැංවීමේ වැඩපිළිවෙළ පසුගිය අවුරුදු තුනේ දී ක්‍රියාත්මක වුණා. ඒත් එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම සාර්ථක ප්‍රතිපල පෙන්වා නැහැ.

එහෙම කියන්න බැහැ. රටේ ම ජනතාව අතර අද වෙද්දී කෘෂිකර්මය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවෙලා තිබෙනවා. මෙච්චර කල් කෘෂිකර්මය ගැන එතරම් හොඳ පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් අද එහෙම නෙමෙයි. කෘෂිකර්මයට රාජ්‍ය පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ දැන්.

පසුගිය කාලයේ දී රට පුරා ම වගේ වියලි කාලගුණයක් තිබුණා. ඒ නිසා මේ වැඩපිළිවෙලට යම් යම් ප්‍රශ්න ඇතිවුණා. ඒත් සංකල්පයක් විදිහට රජයේ ප්‍රතිපත්ති සාර්ථක වෙලා තියෙන්නේ.

* ජනාධිපතිතුමා ගේ අවුරුදු හතරක ධූර කාලය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

එතුමා අවුරුදු හතරක් වැනි සුලු කාලයේ දී රට වෙනුවෙන් අති විශිෂ්ඨ සේවයක් ඉෂ්ට කරළා තිබෙනවා. අවුරුදු තිහක යුද්ධය නිමා කිරීම පමණක් වුනත් එතුමා කළ යුග කාර්යට උදාහරණයක්. අවුරුදු තිහක් බලයේ සිටි එක ම ජනාධිපතිවරයකුටවත් මේ දේ කරන්න බැරිවුණා.

මතකනේ ඒ දවස්වල අපි බයේ ගැහි ගැහී බස්වල ගිය හැටි. අපේ ඥාතීයෝ , මිත්‍රයො කොටින්ගේ බෝම්බවලට බිලි වූ හැටි මතකනේ. අද ඒ මරණ බය නැහැ. මේ සඳහා නොබියව දේශපාලන නායකත්වය ලබා දුන්නේ ජනාධිපතිතුමා.

ඒ සමඟ රටේ ආර්ථික සමාජය දියුණුවටත් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කළා. ජන තාව ජනාධිපතිතුමා ගේ මෙහෙවර රටට තවදුරටත් ඕනෑ කියලා තීරණය කරලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයක දී හෝ මහ මැතිවරණයක දී ජනාධිපතිතුමා ගේ දෑත ශක්තිමත් කිරීමට අපි පුල පුලා බලා සිටිනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා