කොටහේනේ රිනවුන් කළුතර බ්ලුස්ටාර් සටන අද

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු අවසන් පූර්ව වටයේ

කොටහේනේ රිනවුන් කළුතර බ්ලුස්ටාර් සටන අද

දොන් බොස්කෝ - ගුවන් හමුදා ගැටුම හෙට

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් චැම්පියන් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරග අද සහ හෙට පැවැත්වේ.

කොළඹ සිටිලීග් ක්‍රීඩා පිටියේදී කොටහේනේ රිනවුන් හා කළුතර බ්ලුස්ටාර් අතර සටන අද පැවැත්වෙන අතර දොන් බොස්කෝ හා ගුවන් හමුදාව අතර තරගය හෙට පැවැත්වීමට නියමිතය. මෙතෙක් පැවැති තරගවලදී අපරාජිත කණ්ඩායම ලෙස රිනවුන් ක්‍රීඩා සමාජය දක්‍ෂතා දක්වා ඇත.

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු කුසලානය සමග (වමේ සිට) ගුවන් හමුදා පිලේ නායක චන්නක ප්‍රනාන්දු, බ්ලුස්ටාර් නායක මනෝ හෙට්ටිගේ, රිනවුන් නායක සතීෂ් කුමාර් හා දොන් බොස්කෝ නායක මංජුල කුමාර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව.

එමෙන්ම තරග 10 කදී ගොල් 36 ක් වාර්තා කර වැඩිම ගෝල් ලැබූ කණ්ඩායම ලෙස ද රිනවුන් ඉදිරියෙන් සිටී. රිනවුන් සමග අද තරගයට මුහුණ දෙන බ්ලුස්ටාර් ක්‍රීඩා සමාජය මූලික වටයේදී එක් තරගයකින් පරාජයට පත් විය.

ඔවුන් ගෝල් 20 ක් ලබා ඇත. රිනවුන් ක්‍රීඩා සමාජය ප්‍රධානතම පාපන්දු තරගාවලියේ අවසන් වටයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. බ්ලුස්ටාර් පිල මෙයට පෙර මේ තරගාවලියේ අනු සූරයන්බවට පත්ව ඇත.

රිනවුන් ක්‍රීඩා සමාජයේ එම්. එන්. එම්. ෆසාල් මෙතෙක් ගෝල් 14 ක් ලබා තරගාවලියේ සුපිරි ක්‍රීඩකයා බවට පත්ව සිටී. දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය හෙට ගුවන් හමුදාව සමග තරගයට පිවිසෙන්නේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු කරමිනි.

ප්‍රධානතම පාපන්දු තරගාවලියට මුල් වරට ක්‍රීඩා කරමින් අවසන් වටය දක්වා පැමිණීම දොන් බොන්කෝ ක්‍රීඩකයන් ලැබු සුවිශාල ජයග්‍රහණයකි. එම පිලේ චතුර ගුණරත්න ගෝල් 9 ක් ලබා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකි.

ගුවන් හමුදා පිල මූලික වටයේ තරග 10 කදී එක් තරගයක් පමණක් පරාජයට පත්වූ අතර ගෝල් 20 ක් ලබා ඇත.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ සියලු කණ්ඩායම් අතුරින් ප්‍රතිවාදීන්ගෙන් අඩුම ගෝල් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගුවන් හමුදාවටය. ගුවන් හමුදාවට එරෙහිව තරග 10 කදී අනෙක් කණ්ඩායම් වාර්තා කර ඇත්තේ ගෝල් 8 ක් පමණි.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ සූරයන්ට රුපියල් ලක්ෂ 7 ක් හා අනු සූරයන්ට රුපියල් ලක්ෂ 5 ක් පිරිනැමේ. එයට අමතරව විවිධ දක්ෂතා දක්වන කණ්ඩායම් වලට හා ක්‍රීඩකයන්ට තිළිණ ප්‍රදානය වේ. අවසන් පූර්ව තරග දෙක ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා